මහපොළව මත උපදින සියල්ලන් මියයාම වූ කලී න්‍යායකි. එයට පරිබාහිරව යන්නට ඔබට මට හෝ ධනය, බලය ඇති අයෙකුට හෝ හැකියාවක් නොමැත. එසේ වුවද මියගියද ජීවත් වන්නවුන්ට නම් පෙරකී න්‍යාය අදාළ නොවන්නේ ඔවුන් සදාකාලික අමරණීයයන් වන බැවිනි.සරත් දසනායක නමැති අග්‍රගණ්‍ය සංගීතවේදියාද එකී අමරණීය මිනිසුන්ගේ ගණයේම අයෙකි. ජීවිතයෙන් සමුගෙන 16 වසරක් ගෙවෙන අද දවසේද අමරණීය ගීත ගොන්නක් අතර රැඳි සංගීත ලෝකයේ සරා සඳ ඔහුය.
සිංහල සිනමාව තුළ අද්විතීය මෙහෙවරක් කළ සිනමා සංගීත අධ්යක්ෂ සරත් දසනායක මහතාගේ 16 වැනි ගුණ සමරුම අද (17දා) යෙදෙන්නේ 1999 නොවැම්බර් 17 වැනිදා ඔහුගේ වියෝව සිහි කැඳවමිනි. අද සවස 4.00 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ තරංගනී ශාලාවේදී පැවැත්වෙන සරත් සිරිත හරසර උලෙළ ගුණානුස්මරණයේදී සංගීතවේදී සරත් දසනායක සංගීත චිත්රනයත්, ඔහුගේ ජීවන තොරතුරුත් ඇතුළත් සවිස්තරාත්මක ග්රන්ථයක් එළිදැක්වේ. ඒ සංගීතවේදී සරත් දසනායකයන්ගේ පුත් සංගීතවේදී රංග දසනායකයන්ගේ ඉල්ලීමත මත සිනමා ලේඛක පියසේන වික්‍රම‘ගේ විසින් සම්පාදනය කළ සරත් දසනායක සංගීත මෙහෙවර: සිනමාව - ටෙලිනාට්‍ය - සරල ගී හා ළමා ගී නමිනි. නුගේගොඩ සරසවි ප්‍රකාශයක් ලෙසින් එය එළිදකිනු ඇත.
සරත් දසනායක සමරු දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් සිදුකෙරෙන අතර, සරත් දසනායක සිනමා ගී නිර්මාණ රූපවලියක්ද ප්‍රදර්ශනය කිරීම එහ සුවිශේෂී අංගයකි.
"අද වැනිය එදත්..... කටු කොහොලින් මිදී.. සරත් දසනායක නම් පෙරටුගාමී සංගීතවේදියා සිනමා සංගීත කාර්යයට පිවිසෙන්නේ 1969 දීය. ඉන් අනතුරුව ගෙවෙන හැත්තෑව - අසූව - අනූව දශක තුන පුරාම සිංහල යන විශේෂණ පදයෙන් හඳුන්වන සිංහල චිත්‍රපටයේ එක් සුවිශේෂී දායකත්වයක් දරන්නේ සරත් දසනායකයන්ය. කෙනෙකුට ඔහු මිහිරි ගී තනු නිර්මාණයෙන් සිංහල චිත්‍රපටයේ එක් ආකර්ෂණීය ශක්තියක් උත්පාදනය කළ සංගීතවේදියෙකු වෙයි. තවත් මතයකට අනුව ඔහු සිංහල ජන ගීයෙන් රාගධාරී සංගීතයෙන් සම්මිශ්රිත නව ආරක් බිහිකළ පුරෝගාමියෙකි. ඇතැම්හු සරත් දසනායකයන් ගී නිර්මාණ කන පිනවන, රස නංවන, සුමියුරු ගී නිර්මාණකරුවෙකු ලෙස පමණක් හුවා දක්වන්නට වෙහෙසෙති. ඇතමුන්ට සරත් දසනායක සිනමා සංගීතය පිළිබඳ කිසිදු ඇගයුමක් නොකළේ ඇයිද යන්න පැනයකි" (සරා සඳේ - සරත් දසනායක සංගීත මෙහෙවර පිවිසුම)
විස්මය විත්රපටයට සංගීතය එක්කරමින් චිත්‍රපට සංගීත ක්ෂේත්රය අතික්‍රමණයට පියනැගූ ඔහු ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ ගීතය සනත් නන්දසිරිට ලබාදෙමින්ම තමාගේ නාමයද සිනමා ලෝකයේ තදින් සටහන් කරගත්තේය. එතැන් පටන් චිත්‍රපට 155 කට සංගීතය සැපයූ මේ සොඳුරු සංගීතවේදියා කලකදී චිත්‍රපට අධ්යක්ෂණයටද පැමිණියේය. මිහිඳුම් සිහින, මධු සිහින හා ආත්මා වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ ඔහු හදවිමන් දොරින්, නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ, ඉරහඳ වැඳලා ඇතුළු ගීත රැසක් තම නාමය ඉදිරියේ සටහන් කළේ එදාටත් වඩා අදත්, අදට වඩා හෙටත් සුදිලෙමින් සංගීත අඹරේ දිදුලමිනි.
හොරණ ප්‍ර‘දේශයේ ඉපිද හැදීවැඩුණු ඔහු සිප් හදාෙළ් සංගීතඥයන්ගේ තිඹිරි ගෙයක් වන්වූ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙනි. පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු ඉන් පිටවන්නේ තම අනාගත සහකාරිය වන සංගීත ගුරුවරියද හඳුනාගනිමිනි.
"සරත් දසනායක සිංහල සිනමා සංගීතයේදී බොහෝ කඩුලු ජයගත්තේය. සිංහල ගීය කනට මිහිර, රසාලිප්ත, මතකයේ නින්නාද වන නව නාද රටාවකට හුරු කරගන්නට තිබිණ. රජයේ කලායතනයෙන් බිහිවූ වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ගුණදාස කපුගේ, නන්දා මාලිනී සහ සුජාතා අත්තනායක පමණක් නොව මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, අබේවර්ධන බාලසූරිය, ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ බඳු විශාල ගායන සම්පත්ද සරත් දසනායක සතුවීම ඔහුගේ මූලාරම්භක යුගයේ විශාල පිටුවහලක් පළකළ බව අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම නව්‍ය වූ මෙන්ම, ප්‍රවීණ වාද්‍ය වෘන්දද ඔහු සතුවිය" (සරා සඳේ- සරත්ද දසනායක සංගීත මෙහෙවර)
සරත් දසනායක නම් වූ දැවැන්ත සංගීත අධ්යක්ෂවරයා විසින් නිරන්තරව අත්විඳි හා ප්‍රකාශ කළ සිත් තැවුලක් වූයේ ඔහුගේ නිර්මාණවලින් අනන්‍යයන් ඇගයෙද්දී එම නිර්මාණවල සංගීතවේදියා ලෙසින් ඔහුට කුඩා හෝ ගෞරවනීය බවක් ඉතිරිව නොතිබීමයි."මේ සියල්ල මධ්‍යයේ ඔහු අත්කරගත් සිනමාලෝලීන්ගේ ජන - ප්‍රසාදය, ඇතැමුන් අවඥාවෙන් බැහැර කරලීමේ හේතුවෙන් අත්විඳි සිත් වේදනාද සරත් දසනායක චින්තාවලියේ ප්‍රකාශිත ඇතැම් කියුම්වලින් මනාව ප්‍රකට වෙයි. හොඳම ගායන ශිල්පියා සහ හොඳම ගේය පද රචනයට සිනමා සම්මාන උලෙළවල සම්මාන පිදුවත්, නාද මාලා - තනු සංගීත සංයෝජනය කරන සංගීතවේදියාට සම්මානයක් පිරිනැමීමක් සිදුනොකිරීම සරත් දසනායක මහත් සිත්තැවුලෙන් සඳහන් කරන්නකි. (එක්ටැම් ගේ මීට නිදසුනකි) සරත් දසනායක පුවත්පත් සාකච්ඡා හා විශේෂාංග අතරද එකදු ඉංග්‍රීසි භාෂා ලේඛකයෙකු අපට හමුනොවීය.
පුවත්පත් කලාවේදීන් අතර විද්‍යුත් මාධ්‍ය‘වේදීන් අතර මේ මහා සංගීතවේදියා කළ සම්මුඛ සාකච්ඡාවක් නොදුටිමු. නොඇසුවෙමු. අපට වඩා මේ මහා සංගීතවේදියා කොතෙක් නම් සිත් තැවුලට පත්වන්නට ඇත්දැයි සිතා ගැනීම උගහටය. අනෙක ඒකපාර්ශ්වීය හුවාදැක්වීම් තුළ සරත් දසනායක සංගීතවේදියා කිසිදු පාර්ශ්වයකට අයත් නොවූ ස්වාධීන කලාකරුවෙකු ලෙස ක්‍රියාකිරීම ඊට හේතුව වුවද සරත් දසනායක කලාකරුවා නොසෙල්වී සිටියේ ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන් විය හැකිය" (සරා සඳේ - දසනායක සංගීත මෙහෙවර)
ඔහු මිය ගියේය. එහෙත් නම ඉතිරිකොට ගියේ සුමියුරු සංගීතයේ නොවෙනස් නාද රටාවක් පරිද්දෙනි. එසේ වුවද ඒ ආදරය හා සමානව ගෞරවක් ගෞරවනීය වටිනාකමක් මේ මහා සංගීතඥයාට හිමි වූවාද සිතාබැලිය යුතුය. කුමක් හෙයින්ද යත් ජීවත්ව සිටියදී ඔහු නොලද ගෞරවය කාලයක් සමග වැළලී යා හැකි හෙයිනි.
"කලාකරුවා මෙලොව හැර ගොසිනි. ඔහුගේ සංගීත හා ගීත නිර්මාණ සංරක්ෂණයක් තවම සිදුනොවීමේ අභාග්‍යයට හෙට රසික පරපුර මුහුණ දෙනු ඇත. රුපියල් එක් දහස් ගණනක ගී නිර්මාණ කර්තෘභාගයක් පමණක් එක්වරක් පිදු බවටද සඳහනක් රංග පුතණුවෝ හෙළිකරති. මිනිසෙකු වශයෙන් කලාකරුවෙකු වශයෙන් සමාජ සංස්කෘතිය ජීවියෙකු වශයෙන් තමාට ඉටුකළ හැකි උපරිම කාර්යභාරය සිය දේශය හා සංගීත කලා ක්ෂේත්රයට ඉටුකළ දැවැන්ත මිනිසෙකු උදෙසා, සමාජය පෙරළා එතුමන් පුදා ඇත්තේ කවරක්ද?
ගීතයේ - සංගීතයේ - නාද මුසුවේ - සංගීත සංයෝජනයේ පිහාටු මතින් සරත් දසනායක නිම වූ ගී රස අප වටා රැව්පිළිරැවූ දෙනු ඇත.කලාකරුවාණෙනි ඔබේ සිතාරය හඬවනු මැනවි. අවිචාර දේශයක මොහොතකට හෝ තෙතමනක් - තෙත් වූ හදැති දන මන පොබයා! " (සරා සඳේ සරත් දසනායක සංගීත මෙහෙවර)
ඉදින් සහෘද රසිකයන්ට ඉතිරිව ඇත්තේ එපමණකි. ඔබට ආ හැකිය. තරංගනියේ දෙහෝරාවක් ගිමන් හල හැකිය. සමුගත් ඒ අග්‍රගණ්‍ය සංගීතවේදියාගේ නාද රටා යට මද වේලාවක් හෝ ඔබට දැහැන්ගත විය හැක. මේ ඒ ගුණ සුවඳ සැමරුමේ සහෘදයන් වෙත කෙරෙන ආරාධනයද වෙයි. එමෙන්ම වසර ගණනක් පුරා පිදුම් නොලත් සේවය උදෙසා වන පිදීමද වෙයි.