'නිල් දියවර ගී අමෝඝය' අනිද්දා(17 වැනිදා) සවස 6.30ට මහරගම යොවුන් රඟහල රසවත් වන වග පන්නිපිටිය ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය අරලිය කණ්ඩායම විසින් පවසා සිටීමත් සමග අපි ඒ පිළිබඳව කතාබස් කරනට කරුණාරත්න දිවුල්ගනේ ගායනවේදියාණන් 'අද' හා සම්බන්ධ කර ගතිමු.
Q මෑතකදී පැවැත්වෙන ප්‍රසංගය පිළිබඳව මුලින්ම සඳහන් කළොත්?
වසර ගණනාවකට පසු 'මේ සිහින හරි පුදුමයි' නමින් අලුත් සංයුක්ත තැටියක් නිකුත් කළා. මේ හා සමගාමීව මේ වසරේ මාර්තු 25 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී 'නිල් දියවර ගී අමෝඝය' නමින් එදා මෙදා තුර මා ගැයූ ගී 25 ක් පමණ ගායනා කරලා මේ සිහින හරි පුදුමයි නම් සංයුක්ත තැටිය නිකුත් කළා. එහි ආපු රසිකයන්ට තෑග්ගක් ලෙසින් තමයි ප්‍රසංගය පැවැත්වුවේ. එයින් පසු රට පුරා ප්‍රසංග පවත්වන ලෙසට ඉල්ලීම් ආවා. දැනට රට පුරා ප්‍රංසග වාර 10 -12 ක් පමණ සැලසුම් කරගෙන තිබෙනවා. එයින් එකක් තමයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අරලිය කණ්ඩායම විසින් සංවිධානය කෙරෙන මේ 17 වැනිදා පස්වරු 6.30 ට මහරගම යොවුන් රඟහලේදී දියත් කෙරෙන 'නිල් දියවර' ගීත ප්‍රසංගය. පන්නිපිටිය ධර්මපාල විදුහල් අරලිය කණ්ඩායම හැමදාම තමන්ගේ පාසල වෙනුවෙන් මහත් කැපකිරීමක් කරන ආදි ශිෂ්‍ය කණ්ඩායමක් විදියට තමයි අපි හඳුනගෙන තිබෙන්නේ.
Q නූතන ගීතය කොතැනද තිබෙන්නේ..?
ගීතය විතරක් නෙවෙයි ඕනෑම කලා මාධ්‍යයක් අලුත් පරපුරකට අයිති වෙන්න ඕන. පරණ පරපුර ඊළඟ පරපුරට බාරදෙන්න ඕන. ඒක තමයි ඕනම ක්ෂේත්රයක ගමන් මාර්ගය. පරණ අපිටම අල්ලගෙන ඉන්න බෑ. අපේ කාලය තුළ හෝ අපිට පෙර හිටි පරමාදර්ශී කලාකරුවන් ඉටුකළ මහා මෙහෙවර හා දුන්නු දේවල් අරගෙන තමයි අපි යහපත් දෙයක් කළා නම් ඒ දේ කළේ. අලුත් පරපුරටත් තමන්ගේ පරපුරේ ඉතිහාසය අධ්‍යයනය කරලා මේ ක්ෂේත්රය කොහොමද පැවතුණේ යන්න විමසා කටයුතු කළ යුතුයි. ඔවුන්ට තමයි මෙය අයිති. තමන් කරන දේවල් සමාජයට කොයිතරම් මෙහෙවරක් වෙනවද? රසික රසවින්දනය කොයිතරම් ඉහළ තලයකට ගෙන යා හැකිද?
ගීතවල ඇති සාහිත්‍යමය අංශය හා නිර්මාණාත්මක අංශය හා ගායන කුසලතා කැටිකරගත් නිර්මාණ තමයි සමාජය බලාපොරොත්තු වෙන්නෙ. අපේ වගකීමක් තිබෙනවා අලුත් පරපුරේ කලාකරුවන්ට වගකීමක් තිබෙන බවට. මම විශ්වාස කරනවා ඔවුන්ගේ පෙර පරපුර අධ්‍යයනය කරමින් ඒ මත පිහිටා අලුත් දේවල් කරන්න පුළුවන්නම් එය තමයි ඔවුන් කළ යුතු යහපත්ම දේ. අතරින් පතර එවැනි අලුත් පරපුරේ තරුණ නිර්මාණකරුවන් අපේ ඇස ගැටෙනවා. අපි ඔවුන්ව අගය කරනවා. අනාගතය එහෙම අසුභවාදීව හිතන්න හොඳ නෑ. අපිට තියෙන්නෙ අලුත් පරපුරට අපි අත් දුටු දේවල් හා වැරදුණු තැන් කියාදී හොඳ දේවල් කරන්නට ඔවුන්ව දිරිමත් කිරීමයි.
Q මෑතක බිහිවන ගීතවල රත්තරනේ, පණ , ඔයා වැනි වචන බහුලව දකින්න ලැබෙනවා. සහ එවැනි ගීත බොහොමයක් සමාජ ජාල හා වෙබ් අඩවිවල විශාල ප්‍රතිචාර ලබා අගතැන්පත් වෙනවා...මෙලෙසින් පද රචනා වෙනම පරිණාමයකට එන්නෙ කොහොමද?
ඇත්තටම එය රසඥතාවයේ පිරිහීමක්. නිර්මාණකරණයේ තිබෙන සරල හා පහසු බවක් නිසයි මෙය ඇතිවෙන්නේ. සල්ලි තියෙනවනම්, වචන කිහිපයක් කවියක් වගේ ලියාගන්න පුළුවන් නම්, තනුවකුත් යාන්තම් දාගන්න පුළුවන් නම්, ශබ්දාගාරත් තියෙනව නම් එය පටිගත කරලා ප්‍රචාරය කරගන්නත් විවිධ මාධ්‍ය තියෙනවා. එය තමයි ඔබ කියන දේ. නමුත් එය පවතින්න පුළුවන් දෙයක් නෙවෙයි. එය එක්තරා කාලයකදී එක්තරා මොහොතකදි එය ව්‍යසනයක් විදියට එනවා. මං හිතන්නෑ ඒවා ඉතුරු වෙයි කියල.
ඉතිහාසයේ ගමන්මග බැලුවාම හරසුන් දේවල්වලට ඉතිරිවෙන්න ඉඩක් මේ සමාජය ඉතිරිකරල නෑ. හරසුන් දේවල් හුළඟක් ඇවිත් ගහගෙන ගිහින් වටිනා කියන දේවල් අනාගතයට ඉතුරුවේවි කියලයි මං හිතන්නෙ. සමහර ගීත ගත්තාම වචනවල බොහොම ග්‍රාම්‍ය හා හරසුන් වචනයි යොදාගෙන තිබෙන්නෙ. තනු පවා අති සරලයි. කිසිම හැඟීමක් ඇති නොවන චවන නිර්මාණ තමා තිබෙන්නෙ. ඒවා නිර්මාණත් නෙවෙයි. එය අපිට නවත්තන්න පුළුවන්කමක් නෑ. හැම කාලෙකම හොඳ හා නරක නිර්මාණ සමාජය තුළ තිබිල තිබෙනවා. හොඳ දේවල් ඉස්සරහට යයි. නරක දේවල් හුළඟට ගහගෙන යයි.
Q සමහර නාළිකා පවසන කාරණාවක් තමයි අපි ප්රවීණයන්ගේ නිර්මාණ ප්‍රචාරය නොකරනවා නෙවෙයි දැන් ප්‍රවීණයන් හොඳ නිර්මාණ කරන්නෑ කියන එක. මෙය ඇත්තක්ද?
නෑ... ඒක බොරු. සමහර නාළිකා හොඳ නිර්මාණත් ප්‍රචාරය කරනවා. නාළිකා දෙස විමසිල්ලෙන් ඇහුවොත් හොඳ නිර්මාණවලටත් ඉඩකඩ දෙන බව පේනවා. හැබැයි ඒ දෙන ඉඩකඩට වැඩි ඉඩක් අවරගණයේ නිර්මාණවලටත් යොදවනවා. නාළිකා බොහොමයක් වැඩියෙන්ම ඉලක්ක කරන්නේ සමාජයේ සමහර කණ්ඩායම්. ඉස්සර එහෙම නෙවෙයි. ප්රමිතියකටයි නිර්මාණ කළේ. සමාජයට බලපෑමක් කළ හැකි නිර්මාණ තමයි උදේ සිට රෑ වෙනකල් ගුවන් විදුලියෙන් අපට ඇහුණේ. එකල නිවේදක නිවේදක නිවේදිකාවන්ගේ හා වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ වගකීමක් තිබුණා ඔවුන්ගේ ගුවන් කාලය ඉතාම ඉහළ නිර්මාණ තෝරාගෙන සරුසාර ගුවන් කාලයක් බවට පත්කර ගන්නට. එමෙන්ම ඔවුන් ඉහළ රසවින්දනයක් තිබෙන පිරිසක්. දැනුත් අතරින්පතර සමහර නාළිකාවල නිවේදිකාවන් ඉන්නවා එවැනි හැකියාව තිබෙන. නමුත් නාළිකා ප්‍රධානීන්ගේ ප්‍රධාන අරමුණ හා ඔවුන්ට අවනත වෙමින් ඔවුනට රුචි නිර්මාණ තමා ප්‍රචාරය කරන්න වෙලා තියෙන්නෙ.
මට පෙර සිටි අප පරමාදර්ශ කරගත් සියලුම ගායන ශිල්පීන් මේ වනවිට අලුත් නිර්මාණ ගොන්නක් අතේ තියාගෙනයි ඉන්නෙ. ඉස්සර නම් අපි සංයුක්ත තැටියක් කරපු ගමන් ඊළඟ සතියේ ඉඳන් නාළිකාවලින් එය අරන් ගිහින් ප්‍රචාරය කරනවා. දැන් සීඩී නිෂ්පාදනයකුත් නෑ .හැබැයි ගීත නිර්මාණය කරනවා. පැරණි පරපුරේ හැම කෙනා ගාවම ගීත තිහ හතළිහක් තිබෙනවා ගෙදර තියාගෙන. එය අවාසනාවක්. මගේ සංයුක්ත තැටිය එළිදක්වා මාස තුනක් නෑ තාම. රසිකයන් අතරේ සංයුක්ත තැටිය හුවමාරු වෙනවා. නමුත් නාළිකාවල ප්‍රචාරය කළාදැයි යන්න ගැටලුවක්.
Q සමහර නවක ගී පදරචකයන් කියන කාරණාවක් තමයි දැන් මිනිස්සුන්ට සින්දු අහන්න වෙලාවක් නෑ.. ඇහෙනවා විතරයි. ඒ නිසා බර වචන ලියල වැඩක් නෑ, එනිසයි ඔවුන්ට සරල වචන දෙන්නෙ කියලා.
එහෙම කියන එක කරුමයක්. අපි අහන හැම සින්දුවක්ම අපිට ඉස්සෙල්ල ගයපු හැම ගායන ශිල්පියෙක්ම ගැයූ ගීත ධ්වනි පූර්ණ අපේ රසභාව අවුස්සන අපිව ඉන්නා තැනින් ඔසවා තබන නිර්මාණ තමා අපි අහල තියෙන්නෙ. රසිකයො නව පරපුරේ ගීත වැඩිපුර අහනවා කියල දේකුත් නෑ. මගේ මුල් ගීත ගායනා කරපු කාලෙ ඉපදිච්ච නැති දරුවො තමා විශ්වවිද්‍යාලවල ඉන්නෙ. අදටත් විශ්වවිද්‍යාලවලට අපිව ගෙන්නන්නෙ අපේ පැරණි ගීත රසවිඳින්න. අවුරුදු 22-23 ළමයි තමයි ඒවා රසවිඳින්නෙ. කොහොමද අපි කියන්නෙ ඔවුන්ගේ රසවින්දනය පහළට ගිහිල්ලා කියල. අපි කරන්නෝන පුළුවන් තරම් හොඳ නිර්මාණ කිරීම. ඒවට ඕනතරම් ඉඩක් තියෙනවාය යන්නයි මගේ අදහස.