රුවන් වීරෙස්කර අප රටේ වයලීන වාදනය පිළිබඳ විශාරද දැනුමක් හැකියාවක් සහිත වාදකයෙකි. දියවැඩියා රෝගයේ ගොදුරක්ව කෝමා තත්ත්වයේ පසු වූ රුවන්ගේ සැබෑ තත්ත්වයයි මේ. අපි රුවන් දකින්නට ගියෙමු. නමුත් රුවන් අප දෙස බැලුවේවත් සුපුරුදු ලෙස සිනාසුනේවත් නැත. වෙනදා වයලීනය මතදී ඉතාම කඩිසර වෙන රුවන්ගේ අතැඟිලි අද එක මිටට මෙලවී ඇත්තේ සියලු වේදනාවන් එහි කැටිකොට තිබෙන්නාක් මෙනි. තව කොතරම් කාලයක් රුවන් මෙසේ ගිලන් ඇඳකට සීමාවී සිටීද? කිසිවෙකු හඳුනාගන්නට පවා හැකියාවක් නොදක්වන රුවන්ගේ සුපුරුදු සිනාවෙන් තොර වූ මුහුණමත ලියවී ඇති වේදනාත්මක ඉරියව් දෙස බලා අහක බලන්නට නොව මේ අතිදක්ෂ වයලින ශිල්පියාගේ අනාගතය දෙස බලා නැගිට සිටිමින්, ජීවිතයට යළි පා ඔසවන්නට ඔබේ අත දෙන්නට සිතක් පහළ වෙන්නේ නම් එය මහත් පුණ්‍යකර්මයකි. මේ රෝහලෙන් පිටව තම නිවසට ගිය රුවන්ගේ අලුත්ම තත්ත්වය සොයා ගිය අපට හමුවූ නවතම තොරතුරුයි.
රුවන් තවමත් සිටින්නේ කිසිවෙකු හඳුනාගෙන කතාබහ කරන්න පුළුවන් තත්ත්වයක නොවෙයි. නමුත් වෛද්‍යවරුන් පැවසුවේ රුවන් එම තත්ත්වයට පත්වන තුරු සෑහෙන කාලයක් ඉවසා සිටින්නට වෙන බවයි. එකම ඉරියව්වක වැතිර සිටිනවා මිස රුවන්ට තවම ඉඳගෙන සිටින්නටවත් බැහැ. මේ රෝග තත්ත්වය නිසා එයා සෑහෙන්න අඩපණ වුණා. රුවන් අසනීප වුණේ හරියටම අප්‍රේල් මාසෙ දෙවැනිදා. දැන් මාස දෙකක් අවසන්. මුලින්ම රුවන් හුස්ම පවා ගත්තේ යන්ත්‍ර ආධාරයෙන් . මුලින්ම ඔහුව ගෙන ගියේ ජයවර්ධනපුර රෝහලට.
එහිදී ඔහුව දැඩි සත්කාර ඒකකයේ රඳවා තබාගත්තා. එහිදී නම් සැක පහළ කළේ රුවන්ගේ මොළයට කිසියම් විෂබීජයක් ඇතුළුව ඇති බවයි. ඒ නිසා එය තහවුරු කරගන්න රුවන්ගේ සී ටී ස්කෑන් පරීක්ෂණයක් කරන්න ඕන වුණත් එයට බාධාවක්ව පැවතියේ රුවන් හුස්ම ගැනීම සම්බන්ධව උපකරණයක් සමග බැඳී ඉඳීමයි. නමුත් වාසනාවකට වගේ නවලෝක රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රවලින් ඒ පරීක්ෂණය කරවා ගන්න අපට පුළුවන් වුණා. එයින් අනතුරුවයි රුවන් තවත් මාසයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ හතළිස් තුන්වැනි වාට්ටුවට ඇතුළත් කෙරුණේ. එහිදී ඔහුට තනිවම හුස්ම ගැනීමට හැකියාව ලැබෙන තෙක්ම ප්‍රතිකාර ලැබුණා. නමුත් ඒ කාලයේ රුවන්ට ආහාරපාන ලබාදෙන්න හැකියාවක් තිබුණේ නැහැ. එයින් ඔහු ඉතාම කෙසඟ දුර්වල තත්ත්වයකට පත් වුණා. දැනටත් ඝන ආහාර ලබා දෙන්නට හැකියාවක් නැහැ.
රුවන්ගේ තාත්තා තමයි කාලයක්ම ඔහු ළඟ රෝහලේ නැවතී බලාගැනීම් කළේ .එයින් ඔහුත් අසනීප වුණා. අවසානයේ ගෙවීම් කර කෙනෙකු ළඟ තබන්නට යොමු වුණා. අදටත් ඔහු ඉන්නේ බොහෝම දුර්වල තනිවම කිසිවක් කර කියාගත හැකි මට්ටමක කෙනෙක් විදිහට නෙවෙයි.
රුවන්ගේ මව වන ප්‍රේමා වීරසේකර මහත්මිය රුවන්ගේ තොරතුරු අපිට කීවේ මෙහෙමයි.
බටවලින් ලබාදෙන්නට හැකි දියර ආහාර පමණයි නේද?
ඔව් එයත් ඉතාම අපහසුවෙන්. නමුත් එය අපි පෞද්ගලික රෝහල් සේවා ආයතනයක ආධාරය යටතේ කරගෙන යනවා. ඖෂධ ප්‍රතිකාර විතරක් නෙවෙයි ,අනෙකුත් රෝගී සත්කාරක සේවා වෙනුවෙන් දැඩි ලෙස වියපැහැදම් දරමින්. නමුත් කිසිම අඩුපාඩුවක් නොවෙන්නට මේ දේවල් දැනට කරගෙන යනවා වුණත් එය දිගටම පවත්වාගෙන යන්න ආර්ථිකය එතරම් සවිමත් නැහැ. රුවන් නැවත තමන් ප්‍රගුණ කළ වයලීන වාදනය වෙත කවදා යොමුවේදැයි කියන්නටත් බැහැ
ඇත්තටම රුවන්ගේ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් අතිවිශාල මුදලක් වැයකරන්න තියෙන අමාරුව නිසා බොහෝ කලාකරුවන්ගේ මැදිහත්වීම අනුව රුවන්ව සනීපකර ගැනීම වෙනුවෙන් අතහිත දෙන ආධාර අපට ලැබුණා. එයා වෙනුවෙන් සොයිසා පුර සෙලාන් බැංකුවේ ගිණුම් අංක 079001127410101 , එච්.එම්.පී වීරසේකර නමින් ගිණුමක් විවෘතව පවතිනවා. එයාට සුවවෙන්න උදවුකරන්න කැමති ඕනෑම කෙනෙකුට එයට තමන් හැකි පමණින් දායක වෙන්න එයින් පුළුවන්.
රුවන් බොහෝ කලක් දියවැඩියා රෝගයෙන් පෙලුන කෙනෙක්ද?
එයා දියවැඩියාව වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට පහසුවෙන්න මැෂින් එකක් අරගෙන තිබෙනවා. ඒක අරන් තියෙන්නේ 2013 වසරේ. ඒ කියන්නේ එයා දියවැඩියා රෝගය දැනගත්තාම එයින් මිදෙන ප්‍රතිකාර පිළිබඳවත් වෙහෙසිලා තියෙනවා. රුවන් හරිම කාර්යබහුල වාදකයෙක්. එමෙන්ම එයා වැඩකට අතගැසුවාම එය අවසන් කරන තුරු අනෙක් දේවල් ගැන උනන්දු නොවෙන කෙනෙක්. රුවන් සමහර වෙලාවට උදේ රැයින් ගෙදරින් පිටවෙලා ආපහු එන්නේ සමහර දාට පහුවදා එළිවුණාටත් පස්සේ. ඒ තරම් එයා මේ සංගීත ක්ෂේත්රයට වැඩ කළ කෙනෙක්. හැමවෙලේම මොකක් හරි පටිගත කිරීමකට එයා යනවා. එක්කෝ එයා නිත්‍ය වාදකයෙක් විදිහට කටයුතු කරන මහේෂ් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් වාදක මණ්ඩලයේ වැඩකට යනවා.
මේ නිසා එයා ගෙදර ඉන්න වෙලාවට වඩා වැඩි ගෙයින් බැහැරව ඉන්න වෙලාව. මේ නිසා එයා එයට ප්‍රතිකාර ගත් විදිහ අපි ඒ තරම් දැනගෙන හිටියේ නැහැ. රුවන් අසනීප වුණ අප්‍රේල් මාසෙ දෙවැනිදාට කලින් දවසෙත් එයා පටිගත කිරීමක් වෙනුවෙන් වාදනය කළා. එහෙම ඇවිත් එයාගේ කාමරයේ රූපවාහිනිය නරඹමින් හිටියා. රෑ කෑම කන්න කියල කියන්න මම ගිහාම එයා කිවුවා පොඩ්ඩක් මහන්සියි ක්ලාන්ත ගතියක් වගෙත් දැනෙනවා ටික වෙලාවක් ඉඳලා කෑම කන්නම් කියලා. එයාට මහන්සියි කිවුව නිසා මමත් වද කරන්න ගියේ නැහැ. නමුත් එයා මොකක් හරි හේතුවකින් රෑ කෑම කාලා නැහැ. එයින් එයාගේ ලේවල සීනි මට්ටම පහළ බැහැලා කෝමා තත්ත්වයකට පත්වෙන්න ඇති. ඒ ඇරෙන්න එයා කිසිම රෝගී තත්ත්වයකින් පෙළුනෙ නැහැ. දන්නා තරමින් එයාට අසනීපයක් හැදිලා වද විඳලාත් නැහැ.
දරුවන්ට ඇති සෙනෙහස නිහඬවම දරාගන්න තාත්තලා අතර තවත් එක තාත්තෙක් වුණ රුවන්ගේ තාත්තා අපට කීවෙ මෙවැනි තොරතුරු රැසක්.
රුවන් වයලීනයට විතරක් නෙවෙයි මුලින්ම බටනලා වාදනයටත් දස්කම් දැක්වුවා. ඒ වගේම නාට්‍යවලටත් එයාගේ හැකියාවක් තිබුණා. රුවන් කියන්නේ අපේ ලොකු පුතා ඊළඟට දියණියක්.ඊළඟට අනෙක් පුතා මංගල. රුවන් වේල්ස් කුමර විදුහලේ ඉගෙන ගන්න කාලේ අවුරුදු අටේදි විතර ඉන්දියාවටත් ගියා බටනළාව වාදනය කරන්න ලෝක ළමා දින සමුළුවකදී. ඊට පස්සේ එයා සෝමසිරි ඉලේසිංහ මහත්මයා යටගේ වයලීනය වයන්න ඉගෙන ගත්තා ,විශාරද මට්ටම දක්වා. රුවන් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා රාජකීය විද්‍යාලයට යන්න වරම් ලැබුවත් ඒ කාලේ අපිට යවන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ වගේම රුවන් යන්නත් කැමති වුණේ නැහැ. එයා ඉගෙන ගන්න දක්ෂයෙක්. මේ නිසා තමයි එයා රුසියාවට ගියේ ආර්ථික විද්‍යා උපාධියක් වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලැබිලා. නමුත් එහිදී එයා වෙස්ටර්න් වයලීන වාදන ශෛලියත් අතින් වියදම් කරගෙන ඉගෙන ගත්තා
අවසානේ රුවන් ලංකාවට ආවේ.
එයා ලංකාවට ආවේ අවුරුදු පහළොවකට පස්සේ එයාට යුක්රේන හා රුසියානු භාෂා ඇතුළුව භාෂා ගණනක්ම හොඳින් කතාකරන්න පුළුවන්. දවසක් රුසියානු තානාපතිතුමා පවා කියලා තියෙනවා රුවන් එයාටත් වඩා හොඳින් රුසියන් භාෂාව කතාකරනවා කියලා. රුවන්ගේ බිරිඳත්, එකම දියණියත් ජීවත්වෙන්නේ යුක්රේනයේ. එහේ පවතින තත්ත්වය අනුව ඔවුන්ට මෙහෙට එන්න පහසුකම් අඩුයි. රුසියානු සංදර්ශනවලටත් රුවන් වයලීනයත් එක්ක සහභාගි වෙලා තියෙනවා.බොල්ෂෝයි රඟහලට අනුබද්ධ ඔනෙක්ස් රාජ්‍ය ඔපෙරා හා මුද්‍රා නාටක රඟහලේ සාමාජිකයෙක් වුණු මගේ පුතා 1996 ඉඳලා 99 දක්වාම එහි ප්‍රවීණ සංගීත සම්පාදකවරයෙකු වශයෙන් සේවය කළා.
රුවන් ලංකාවට ආවේ 2000 වසරේදී රුවන් පුතාගේ දස්කම් නිසා 2005 වසරේ රුහුණු විශ්වවිද්‍යාලය මගින් ගරු සම්මානයකිනුත් පුද ලැබුවා. ඒත් අද මගේ පුතා මේ රෝග තත්ත්වය නිසා සම්පූර්ණයෙන්ම හුදෙකලා වී ඉන්න හැටි දැක්කම හරිම වේදනයි. කලාකරුවන් එකතු වී රුවන්ව සුව කරගන්න අවශ්‍ය මුදල් සොයන්න සංදර්ශනයක් සංවිධානය කර තිබෙනවා. එහෙමවත් පුතා හොඳ වෙනවා නම්?
සැබෑම දක්ෂයෙක් ලෙස රටට සම්පතක් වූ රුවන් නැවත මේ මව්බිම මත දෙපයින් සිටුවන්නට වෙරදරන මේ ආදරණීය අම්මාටත් තාත්තාටත් ඔබේ උපකාරය අවශ්‍යව ඇත්තේ අද වන විට සියල්ලම මුදල් මත තීරණය වන යුගයක් උදාවී ඇති බැවිනි. මහාපරිමාණයෙන් නොවුණත් ඔබේ හෘදයාංගම අතහිත මේ සැබෑ සොඳුරු කලාකරුවාට අවැසි මොහොත උදා වී ඇති බැවින් දෙවතාවක් නොසිතා ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඔහුට උපකාරයක් වන්න. එය කළ හැකි ක්‍රමය අප මෙහි සඳහන් කර තිබේ. එය ඔහුට කරන උපකාරයකටත් වඩා සිංහල සංගීත ක්ෂේත්රයට ඔබ අතින් ඉටුවන මෙහෙවරක් වන බැවින් ඒ සඳහා පෙළ ගැසෙන්නට තවත් කාලය ගත නොකරමු. රුවන් පිළිබඳ සියලුම තොරතුරු ඔහුගේ සොහොයුරු මංගල වීරසේකර මහතා 0776061705 දුරකථනය ඔස්සේ ඇමතීමෙන් ලබාගැනීමට හැකිය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ