රජය විසින් කළ යුත්තේ කලාව නැංවීමට ප්‍රතිපත්ති සම්පාදනයයි
සම්මානනීය වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම රූපවාහිනී ක්ෂේත්රයේ සුවිශේෂී නිර්මාණවේදියෙකු වන නිමල් ඒකනායක කලකට පසු යළිත් වේදිකාවට පිවිසෙමින් අධ්‍යක්ෂනය කරනු ලබන 'සොක්රටීස්' නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දැක්ම අද (21දා) සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වෙයි. 1990 දී මුලින්ම වේදිකාගත වූ මෙම නාට්‍යයේ පෙළ රචනය හා මුල් නිෂ්පාදනය මහාචාර්ය සුනන්ද මහේන්ද්රගෙනි. එවර පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වූයේද 'සොක්රටීස්'ය. ‘එම නාට්‍ය සම්බන්ධව එහි නව නිෂ්පාදක නිමල් ඒකනායක සමග කළ සංවාදයකි මේ.
Q සොක්රටීස් නාට්‍යය යළි නිර්මාණය කිරීම ගැන මුලින්ම පැවසුවොත්?
සොක්රටීස් නාට්‍යයේ තේමාව වෙන්නෙ සොක්රටීස්ගේ ජීවන චරිතයත්, ඔහු ජීවත්වෙච්ච යුගයේම ජීවත්වෙච්ච ඇරිස්ටොපානිස් කියන ප්‍රහසන නාට්‍යකරුවා විසින් රචනා කළ වලාකුළු කියන නාට්‍යයත් මගින් කියවෙන ඇත්ත. සොක්රටීස් සහ ව්‍යාජ සොක්රටීස් පිළිබඳව තමයි මෙමගින් කතාබස් කෙරෙන්නෙ. සොක්රටීස් ජීවත් වුණේ ක්‍රි.පූ. පස්වැනි සියවසේනෙ. ඔහු හැමවිටම සොයාගියේ සත්‍යය. එනිසාම හැමවිටම පාලක පන්තියෙන් විශාල ප්‍රශ්න එනවා. ආදරය, කලාව, දේශපාලනය සහ ජීවිතය ගැන විවිධ මත ප්‍රකාශ කරනවා.
ඔහු නිර්භයව කියන දේවල්වලට පාලක පන්තිය බයවෙනවා. තරුණ පරපුර සිත් දූෂණය කිරීමේ වරද පටවා ඔහුට විෂ බඳුනක් දී ඝාතනය කරනවා. මරණය ඉදිරිපිටදීත් ඔහු බිය වෙන්නෙ නෑ. මීට වඩා යුක්තිගරුක සමාජයක් ලබාවා, මීට වඩා ඥානවන්ත සමාජයක් ලබාවා, මීට වඩා මිනිස් වාසයක් ලබාවා කියල තමයි මැරෙන්නෙ. එනිසා ඔහුගේ දර්ශනය සර්වකාලීනයි. සොක්රටීස් නාට්‍යය මම යළි අවුරුදු 25කට පසුව කියෙවුවා. එදාට වඩා මෙම පිටපතේ තියෙන බලවත්කම දැනෙන්න පටන් ගත්තා. පසුව මම මගේ මිත්‍රයෙකු වන මහාචාර්ය ආශු මාරසිංහ (දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්) කියපු ගමන් මේ නාට්‍යයට බරපැණ දරන්න එකඟ වුණා. කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලබන්න නෙවෙයි මේක කරන්නෙ.
.jpg)
Q සුනන්ද මහේන්ද්රයන්ගෙම පිටපත ආපහු ගන්න තීරණය කළේ ඇයි?
පිටපතේ වෙනස් කරන්න දෙයක් අපට තිබුණෙ නෑ. ගීත ගායනයේදී පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි නිෂ්පාදනයේදී විශාල වෙනස්කම් කර තිබෙනවා. නමුත් පිටපත එලෙසමයි.
Q මොනවද එම වෙනස්කම්?
රංගනයේදී හා ඇඳුම් පැලඳුම් ආදියේදී වෙනස්කම් මෙන්ම එදා භාවිත කළ නිදහස් රංග රීතිය අපි භාවිත කළත් අපේ ජනකලාවල තිබෙන යම් යම් අංග ලක්ෂණ එකතු වී තිබෙනවා. සම්භාව්‍ය නාට්‍යවල හා ග්‍රීක නාට්‍යවල එන ලක්ෂණත් අපි භාවිත කරනවා. නාට්‍යය ඉල්ලා සිටින රංගය තමයි අපි ලබා දී තිබෙන්නේ. ස්වාභාවික සහ යථාර්ථවාදී රංගයෙන් පියවරක් ඉදිරියට තබා තිබෙනවා.
කලින් නිර්මාණය වූ නාට්‍යයත් මහා ජනප්‍රසාදයක් ලබපු නාට්‍යයක් නෙවෙයි. ඇයි අපේ රටේ ප්‍රේක්ෂකාගාරය ඇතුළෙ මෙවැනි නාට්‍ය ප්‍රතික්ෂේප වෙන්නෙ?
විශේෂයෙන්ම හොඳ නාට්‍ය බලන්න ප්‍රේක්ෂකාගාරයක් නෑ තමයි. නමුත් මූලික වශයෙන් හාස්‍යෝත්පාදක නාට්‍යනෙ තියෙන්නෙ. එයට අපි හැමෝම වගකිව යුතුයි. ප්රේක්ෂකයො පවා එයට හුරු වෙලා. එනිසාම අද හොඳ නාට්‍යයක් රස විඳින්න බෑ. නමුත් අපට එය අත්හැරිය නොහැකියි. එතනින්මයි ගොඩඑන්න තියෙන්නෙ. නාට්‍යකරුවන් විදියට අපට කරන්න තියෙන්නෙ නිර්මාණ බිහිකිරීම පමණයි.
ලංකාවෙ අංග සම්පූර්ණ රංග ශාලා පහක්වත් නෑ. ලයනල් වෙන්ඩ්ට් එක විතරයි කොළඹ තියෙන්නෙ. පිට පළාත්වල රංග ශාලා ගන්න දෙයක් නෑ. හරි නාට්‍ය පාසල් අපට නෑ. එවැනි විශාල අඩුපාඩු මැද්දෙ වුණත් හොඳ නිර්මාණ කරල තියෙනවනෙ. දැනුත් කරනවා. එවැනි තරුණ පිරිසක් ඉන්නවා අමාරුවෙන් වුණත් නිර්මාණ කරන. නමුත් ඔවුන්ට උදවු කරන්න කවුරුවත් නෑ. නාට්‍ය උත්සව කරන එක රජය කරන්න ඕන නෑ. ඒව පෞද්ගලික අංශ කරාවි. කලාව නංවන්න ප්‍රතිපත්ති සම්පාදනයයි රජය විසින් කළ යුත්තේ. නැතිනම් මේවා සිල්ලර තත්ත්වයට යයි.
Q කාලෙකට පස්සෙ වේදිකා නාට්‍යයක් හදන්න ඇවිත් අවදානම් වැඩකට අතගැහුවෙ ඇයි?
උක් දඩු ගින්න නාට්‍යය කරලා අවුරුදු 23 ක් ගිහින්. හිතාගන්නත් බෑ. ආපහු හැරිල බලද්දි හොඳම කාලෙ ටෙලිවිෂන් අස්සෙ නිකං ගෙවිල ගිහින්. ආපහු පහළට බහින්න බෑ. අපි හොඳ නිර්මාණත් එක්ක හිටියා. රූපවාහිනියෙ ඉද්දිත් නාට්‍යකරුවන්ට ගොඩක් උදවු කළා. නාට්‍යය ස්වතන්ත්රද, පරිවර්තනද කියල නෑ නාට්‍ය නම් නාට්‍ය.
Q කවුද මේකට ඔබත් එක්ක එකතු වෙන පිරිස?
සොක්රටීස් චරිතය රඟපාන්නෙ ජයලත් මනෝරත්න. චමිලා පීරිස්, ලාල් කුලරත්න, නලින් ප්‍රදීප් උඩුවෙල, සිසිල් වික්‍රමසිංහ, රිචඩ් මානමුදලි යන ප්‍රවීණයන් එක්ක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් සම්බන්ධ වෙනවා. සංගීතය නවරත්න ගමගේ. එදා මෙය සංගීතවත් කළේ අභාවප්‍රාප්ත සේන වීරසේකරයන් විසිනුයි. එමෙන්ම වේදිකා සැරසිලි ලයනල් බෙන්තරගේ, ඇඳුම් නිර්මාණය ඉරේෂා ජානකී, වසන්ත විට්ටච්චි වේශ නිරූපණයෙන් දායක වෙනවා.
Q ඔබ කිව්වනෙ ලංකාවෙ නාට්‍යයක් පෙන්නන්න හරි තැනක් නැති කාලෙකයි ඔබ නාට්‍ය කරන්නෙ කියල.ඔබට ඒ අභියෝගය ජයගන්න මොනවගේ සැලැස්මක්ද තියෙන්නෙ?
මේ නාට්‍යය අරගෙන යන්න තියෙන්නෙ මේ තියෙන සම්පත් තුළම තමයි. ඒක අපහසු කාර්යයක් වෙයි. නමුත් අපි දන්නවා හොඳ නාට්‍ය බලන පිරිසකුත් ඉන්න බව. හොඳ රසය තිබෙන පිරිස මතින් අපට ගමනක් යන්න පුළුවන්.
Q මේ නාට්‍යයත් එක්ක ඔබ දිගටම දකින්න පුළුවන් වෙයිද, නැත්නම් මෙතනින්ම ඉවර වෙයිද?
නෑ.. දැන් නාට්‍යවලට සම්බන්ධ වෙන්න ආසාවක් තිබෙනවා. මොකද දැන් විවේකීයි. සියල්ලම අතහැරලා තියෙන්නෙ. කාලයක් මං හොඳ නාට්‍ය බැලුවා. චිත්‍රපට බලනවා. විදෙස් රටවලත් ගිහින් නාට්‍ය හා චිත්‍රපට බලල තියෙනවා. එනිසා ගැටලුවක් වෙන එකක් නෑ.
නාට්‍යය ප්රවේශයන් එදින රඟහලෙන්, Tickets.lk වෙතින් හා 0773 710 018 අංකය අමතා ලබාගත හැකියි.
නිමල් ඒකනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

