මේ රටට යුද සාහිත්‍යයක් බිහිවිය යුතුම කාලයක්
වියරු යුද ගිනි දැල් නිවී ගොස් වසර අටක් ගතව ගොස් ඇත. එහෙත් තවමත් ඒ වේදනා බර මතකයන් අප සිත් තුළ පවතියි. යුද්ධය නිමා කිරීමට බොහෝ ජීවිත ද කැප කළේය.
එලෙස මියගිය, අබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ සුභසාධනය, රණවිරු ශිෂ්‍යත්ව වැඩසටහන් මෙන්ම යුද සාහිත්‍යයක් ඇති කිරීමේ කටයුතුවල යෙදෙන ආයතනයක් ලෙස ආර්යය පදනම හඳුන්වාදිය හැකිය. එහි වත්මන් සභාපති වන මාධ්‍යවේදී හා වාර්තා චිත්‍රපට අධ්යක්ෂ චරිත් කිරිඇල්ල '1990 කොකාවිල්' නමින් ග්රන්ථයක් නිකුත් කළේය. මේ කතාබහ ඔහු සමගිනි.
Q යුද්ධය අවසන් ව වසර අටක් සපිරෙනවා. මේ පශ්චාත් යුද සමය තුළ ඇති වූ නිර්මාණ පිළිබඳ ඔබේ අදහස සඳහන් කළොත්?
යුද්ධය අවසන්ව වසර අටක කාලයක් ගත වෙනවා. වෙනත් රටක නම් මේ වනවිට පශ්චාත් යුද සාහිත්‍යයක් ගොඩනැගී තිබෙනවා. ඒ තුළින් රටක ආර්ථික දියුණුව සේම සමාජීය දියුණුව, සාහිත්‍ය දියුණුව වැඩි වෙනවා. චීනය, වියට්නාමය, ඉන්දියාව වැනි රටවල හොඳම උදාහරණ තිබෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ලංකාව තුළ යුද සාහිත්‍යයක් ඇති වීම පසුගාමී වී තිබෙනවා.
එයට මම දකින කාරණා කිහිපයක් තිබෙනවා. ලංකාව තුළ මතවාදීව නිර්මාණකරුවන් බෙදී සිටිනවා. අනෙක් කාරණය යුද සාහිත්‍යය සම්බන්ධව සිදුවන අවර ගණයේ නිර්මාණවලට හැම විටම උදවු කළේ එන්.ජී.ඕ. සංවිධාන. දැනටත් එය එලෙසම සිදු වෙනවා. දේශපාලනික දායකත්වයත් එවැනි අවර ගණයේ නිර්මාණවලට හිමිව තිබෙනවා.
පශ්චාත් යුද සාහිත්‍යයක් බිහි නොවන්න තවත් කාරණයක් වෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් ඒ පිළිබඳ ඉගැන්වීම් සිදුවන්නේ නැහැ. ලෝකයේ අනෙක් රටවල එය පවතිනවා. මේ කාරණා සහ මෙයට බහුතර දායකත්වයක් අඩුයි. ඒ නිසාම ලංකාවේ යුද සාහිත්‍යය පාදක කරගත් නිර්මාණ බිහිවීම ඉතාම පහත මට්ටමක තිබෙන්නේ.
Q ඉන්දියාව වැනි රටක් ගත්තොත් සිනමා නිර්මාණයකට පවා ලොකු වෙළෙඳ පොළක් තිබෙනවා. ලංකාවේ එලෙස සැලකිය යුතු වෙළෙඳ පොළක් නොමැති නිසා එලෙස නිර්මාණ සිදුවන්නේ නැද්ද?
අපේ රටේ සිනමා කර්මාන්තය වගේම සාහිත්‍ය කර්මාන්තය කුඩායි තමයි. නමුත් වෙළෙඳ පොළක් නැහැ කියන්න බෑ. යුද්ධය සම්බන්ධ ඉතා හොඳ නිර්මාණ කිහිපයක් බිහිවුණා. ඒ වගේම ඒ තුළින් සාර්ථකව මුදල් ඉපයුවා. ජාතිකත්වය ගැන මිනිසුන් කතා කරනවා. අපේ රටේ තාමත් වසර තිහක යුද මානසිකත්වයෙන් තමයි මිනිසුන් ඉන්නේ. දේශපාලන රාමු විවිධ වුණත් ඒ මානසිකත්වයෙන් ඉන්නේ.
මිනිසුන් යුද සාහිත්‍යය සම්බන්ධයෙන් කොතරම් පිපාසාවකින් ඉන්නවද කියලා කතා කළොත් පසුගිය කාලයේ ජනරාල් කමල් ගුණරත්නගේ ග්රන්ථයට ලොකු ඉල්ලුමක් තිබුණා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට පත්වුණා. මගේ 1990 කොකාවිල් කියන ග්‍රන්ථය පසුගිය දෙසැම්බර් මස නිකුත් වුණේ.මේ වනවිට මුද්‍රණ තුනක් සිදුකළා. මම හිතන්නේ එය මිනිසුන්ගේ අවශ්‍යතාව. ඒ නිර්මාණවලට මිනිසුන්ගේ ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ වුණත් නිර්මාණ නැහැ.
Q තුන්වැනි මුද්‍රණයත් නිකුත් වූ 1990 කොකාවිල් යන ඔබ විසින් රචනා කරන ලද ග්‍රන්ථය ගැන කතා කළොත් ?
කොකාවිල් සිදුවීම 1990 ජුනි මස සිදු වූ සිදුවීමක්. ලෝක යුද ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ මුල්ම අවස්ථාව මේක. 64 දෙනෙකු සිටින කඳවුරක නායකත්වය ගෙන සිටියේ කපිතාන් සාලිය අලදෙණිය. ඔහුත් සමග සිටි 64 දෙනාම එකම තීරණයකට ඇවිත් සියදිවි නසාගත්තා. 63ක් එක්වර සියදිවි නසාගැනීමට තීරණය කිරීම යුද ඉතිහාසයේ සිදු වූ මුල්ම සිදුවීම. නමුත් මෙම සිදුවීම ලෝකයට ගියේ නෑ.
ලෝක ඉතිහාසයේ සියදිවි නසාගැනීම්වලට තීරණය කළත් සියදිවි නසාගැනීමට යාමේදී හතර පස්දෙනෙකු හෝ පැන ගිහින් තිබෙනවා. නමුත් හැට තුන් දෙනෙක් සියදිවි නසාගන්නවා. ශ්‍රී ලංකා ප්‍රථම පරම ශ්‍රී විභූෂණ සම්මානය හිමිවෙන්නේ කපිතාන් එස්.එබ්ලිව්. අලදෙණියට. කපිතාන් අලදෙණිය කපටිකමින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කඳවුර තුළට ගෙන්වාගෙන ගුවන් හමුදාව මගින් බෝම්බ හෙළූ බව සඳහන් කර එම වකවානුවේ එල්.ටී.ටී.ඊ.ය නිකුත් කළ පත්‍රිකාවක් තිබෙනවා.
ඔවුන් එහි අවසන සඳහන් කරනවා කපිතාන් අලදෙණියලා ලංකාවට ඉන්නේ එක්කෙනයි, එල්.ටී.ටී.ඊ. විරෝධාරයන් සිය ගණනක් ඉන්නවා කියලා. කපිතාන් අලදෙණිය මිය යනවිට ඔහුට අවුරුදු 28 යි. ඔහු විවාහ වී මාස හතරයි. ඔහුගේ නායකත්වයෙන් මේ සිදුවීමට මුහුණදුන්න 64 දෙනාට සාධාරණයක් ඉටු කරන්න තමයි මම මේ පොත රචනා කළේ. ඒ වගේම මේ ජුනි මාසයේ ඔවුන් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කරන්න කටයුතු කරනවා.
මේ වෙනුවෙන් මේ සිදුවීම අලලා කරන සිනමා නිර්මාණයේ කටයුතු සිදුවනවා. එළඹෙන මස 07 වැනිදාට කොකාවිල් සිදුවීම වී වසර 27ක් වෙනවා. ඒ වසර 27 ගත වන මොහොතේ මේ දේවල් සිදුවෙන්නේ. ඒ වගේම මේ ග්රන්ථයම නැවත එළිදැක්වීමක් සිදුවෙනවා. ඒ මෙහි තෙවැනි මුද්‍රණය. ජූලි මසදී මෙම ග්‍රන්ථය ඔස්ට්‍රේලියාවේදී එළිදක්වන්න කටයුතු කරනවා.
Q මෙවැනි දේවල් සිදු කරද්දි බොහෝ විට දේශපාලන ව්‍යාපෘති වගේ තමයි දකින්න පුළුවන්. ආර්ය පදනමත් සිදුකරන්නේ එවැනි දේශපාලන ව්‍යාපෘතියක්ද?
මියගිය අබාධිත ත්‍රිවිධ හමුදා සුභසාධනය, රණවිරු ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි අප ආයතනය මගින් සිදු කරන්නේ. යුද සාහිත්‍යයක් ගැන කතා කරද්දි කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ලංකාවේ යුද සාහිත්‍යය බිහිකළේ ලංකාවේ මියගිය සෙබළුන්. පනාගොඩ තිබෙන කෞතුකාගාරයේ මියගිය සෙබළුන් එක්දහස් ගණනක් ලියපු දේවල් තිබෙනවා.
මේක රටට පශ්චාත් යුද සාහිත්‍යයක් බිහිවිය යුතුම කාලයක්. හමුදා සෙබළුන්ගේ ගෞරවය ගැන කතා කළ යුතු කාලයක්. මිනිසුන් ඉල්ලා සිටිනවා ඒ ගෞරවය හා ආදරය. එයට කොකාවිල් උත්තේජනයක් වුණා. ලබන මස 'නාඳුනන සෙබළෙකුගේ චරිතාපදානය' නමින් ග්රන්ථයක් නිකුත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ යුද අත්දැකීම් පාදක කර ගනිමින් පොතක් රචනා කරමින් සිටිනවා. සීඩී පටයක් එළිදක්වන්න සියලු කටයුතු සම්පාදනය වෙනවා.
මේ රටේ කලාකරුවන් මේ ගැන එතරම් අවධානය යොමු කරන්නෙ නෑ. සාහිත්‍යවේදීන්, නිර්මාණකරුවන්ට මේක දැනෙන්නෙ නැද්ද දන්නෙ නෑ. අපි සිදුකරන්නේ දේශපාලනයක් නෙමෙයි. දුටුගැමුණු රජතුමාගේ යුද්ධය ගැන අද කතා කරන්නේ ඒ සාහිත්‍යය කටවචනයෙන් ආපු නිසා. මේක ජාතිවාදී ඇහැකින් බලන්න එපා. මේක හමුදාව උලුප්පා අරගෙන දේශපාලන ව්‍යාපෘතියක් කරන දෙයක් නෙමෙයි. ජාතික ආරක්ෂාව තිබිය යුතුයි. 27,600ක් සෙබළුන් දිවි පිදූ, තරුණයන් 25,400ක් සදාකල් අබාධිත වූ රටක මේ සාහිත්‍යයත් ගොඩනැගිය යුතුයි.
Q ආයතනයක් ලෙස යුද සාහිත්‍යයක් රට තුළ ඇති කිරීම සඳහා සිදුවන්නේ කෙබඳු වැඩපිළිවෙළක්ද?
අපි යුද හමුදාව එක්ක සම්බන්ධ වෙලා නිර්මාණකරුවන් දිරිගන්වන වැඩසටහන් කරගෙන යනවා. එයට බන්දු සමරසිංහ, රොෂාන් මහානාම, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, රෝහණ බැද්දගේ, මහේල ජයවර්ධන සම්පත් දායකයන් ලෙස කටයුතු කරනවා.
සිනමාකරුවන් තිරයේ වීරයන්, ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ වීරයන්. ඔවුන් සඳහන් කරන්නේ අදටත් රෝද පුටුවේ සිටින සහ මරණයට පත් රණවිරුවන් වීරයන් බවයි. අපි රෙජිමේන්තු මට්ටමින් අත්දැකීම් ලියන්න කියලා කියනවා. ඇස් නොපෙනෙන අයට පවා තමන්ගේ අත්දැකීම් ලියන්න කියනවා. ලංකාවේ නිර්මාණ කරන්න තව තිබෙනවා. නිර්මාණ වශයෙන් ලොකු වෙළෙඳ පොළක් හදන්න හැකියාවක් තිබෙනවා. රටක අනාගතය හදන්න පුළුවන්.
උදාහරණයක් ගත්තොත් වියට්නාමය ඇමෙරිකාව පරදා යුද ජයග්‍රහණයක් ලබාගත්තා. නමුත් පරාජය වූ ඇමෙරිකාව යුද සාහිත්‍යය තුළ ජයග්‍රහණය කළා සේ නිර්මාණ බිහි කරනවා. 1976 සිට මේ දක්වා ඒ පිළිබඳ ඔවුන් සිනමා නිර්මාණ බිහි කරනවා. ඉන්දියාව වැනි රටවල් යුද්ධය පාදක කරගෙන නිර්මාණ කරනවා, කවි පොත් ලියනවා. ඒවාට ඉන්දීය රජයෙන් විශේෂ තැනක් ලැබුණා. එහෙත් අපේ රටේ තවම එවන් තත්ත්වයක් ඇති වී නැහැ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

