වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස ඔබ හඳුනාගන්නා ඔහු සිනමා නිර්මාණවලටද සිය රංගන දායකත්වය ලබා දෙන්නේය. ඔහු රංගනයෙන් දායක වූ සිනමාපටයක් වන 'ප්‍රේමය නම්' සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙයි. ඔහු ශ්‍යාම් ප්‍රනාන්දුය.
Q ප්‍රේමය නම් සිනමාපටයේ ඔබ රංගන දායකත්වය ලබාදෙන චරිතය නිරූපණයේදී එය අධ්‍යයනය කිරීම කියන කාරණාව සිදුවුණේ කෙලෙසද?
මම ඒ චරිතයට තෝරගත්තා කියනකොට මා තුළ චකිතයක් ඇතිවුණා. එවැනි චරිතයක් නිරූපණය කළ හැකිවෙයිද කියල මම හිතුවා. ප්‍රකෘත්ති තත්ත්වයේ මිනිසෙකුගේ චරිතයක් නම් ඒ චරිතයේ හැසිරීම සොයාගන්න පහසුයි. නමුත් මානසික ව්‍යාධියකට ලක්වෙන කෙනෙක්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ කෙලෙසද කියන දේ ගැන අපිට සොයාගන්න අපහසුයි. ඒ නිසා එයට මුහුණදීමේ ගැටලුවක් තිබුණා. තිරපිටපත ලැබීමට පෙර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා සිනමාපටය ගැන, එම චරිතය ගැන සහ මානසික ව්‍යාධි තත්ත්වය ගැන බොහෝ දේවල් කතා කළා.
ඔවුන් දෙදෙනාම මා තුළ විශ්වාසයක් ඇති කළා. රෝගය සම්බන්ධයෙන් විද්‍යාත්මක පසුබිම ගැන මනෝ වෛද්‍ය විශේෂඥයන් හමුවී වැඩමුළු පැවැත්වුවා. මානසික සෞඛ්‍ය විද්යායතනයටම ගිහින් ඒ ගැන අධ්‍යයනය කරන්න හැකියාව ලැබුණා. මනෝ වෛද්‍ය විශේෂඥ කපිල රණසිංහ මහතා තමයි මේ චිත්‍රපටය සමග සම්බන්ධ වුණේ. ඔහු රෝගයේ විද්‍යාත්මක පසුබිම අවබෝධ කළා.
මෙම චිත්‍රපටයට සත්‍යතාවක් පාදක වන නිසා ඒ රෝගයට ලක්වූ තැනැත්තා අප සමග සිටියා. ඔහුගෙන් ඒ බාහිර හැසිරීම සහ මානසික තත්ත්වය ගැන කතාබහ කරන්න හැකිවුණා. මුලින් තිබූ චකිතය නැතිවෙලා, චිත්‍රපටය කරගෙන යන විට විශ්වාසයෙන් ඒ චරිතයට දායකත්වය ලබාදෙන්න මට හැකියාව ලැබුණා.
Q චිත්‍රපටය දෙස බලද්දි වාර්තාමය ස්වරූපයක් දක්නට ලැබෙනවා. චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය ජයගන්න එය එක් ආකාරයකින් අභියෝගයක් බවට පත්වෙනවා නේද?
මේ චිත්‍රපටයේ අභියෝගය ඒක. මානසික ගැටලුවකට මුහුණ දී සිටින පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය නිරූපණය, වෛද්‍ය ප්‍රතිකාර ගනු ලබන අවස්ථා, සායනික දර්ශන වාර්තාමය ස්වරූපයක් ගන්න ඉඩ තිබෙනවා කියන එක චිත්‍රපටයේ පිටපත කියවීමේදී අපට දැනුණ කාරණයක්. රෝහලේ තිබූ සමහර දර්ශන ඉවත් කරන්න සිද්ධ වුණා. අපි උත්සාහ කළේ විශ්ව කියන චරිතය බිරිඳ සමග තිබෙන සම්බන්ධතාවය තුළ ප්‍රේමයත් සමග සම්බන්ධ කිරීම.
මේ රෝගයෙන් ගැලවෙන්න ඇති එකම උවමනාව අහිමි වෙන බිරිඳ නැවත ලබාගැනීම කියන කාරණයේදී, ඔහු කරන අරගලය නිරූපණය කරන්න තමයි උත්සාහ කළේ. සමහර ප්‍රේක්ෂකයන්ට රෝගය ගැන පැහැදිලි අවබෝධයක් නැති වුණොත් මෙහි විශ්ව මුහුණ දෙන මානසික තත්ත්වය නිරූපණය කරන්න බැරිවෙයි කියල හිතුවා. එහිදී යම් වාර්තාමය ස්වරූපයක් තිබෙනවා. මෙවැනි මානසික ගැටලු පාදක කර ගනිමින් කළ විදේශය චිත්‍රපට රැසක් තිබෙනවා. ඔවුන් එවැනි අවස්ථාවලදී වාර්තාමය ස්වරූපය හිතාමතාම භාවිත කරනවා. අධ්‍යක්ෂකවරුන් ඒ ගැන දැනුවත්ව හිටියා. මේ මානව සම්බන්ධතා තුළ ඔහු මුහුණ දෙන ප්රශ්නය ගොඩනගන්න උත්සාහ කළා.
Q චිත්‍රපටය නැරඹීමෙන් පසු ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය කියවපු ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?
ඒක තමයි සුභවාදීම කාරණය. මම හිතුවටත් වඩා ප්‍රතිචාර තිබෙනවා. ඒ ප්‍රතිචාර ඉතාම සාධනීයයි. ඒ ප්‍රතිචාර විශාල පරාසයක තිබෙනවා. සාමාන්‍ය ප්රේක්ෂකයන්ගෙන් වගේම කලා සමාජයේ ප්‍රේක්ෂකයන් සහ සිනමා විචාරකයන් දක්වාම ප්‍රසාදයක් ලැබෙනවා. සමස්ත නිර්මාණය සහ චිත්‍රපටයේ කැමරාව හසුරවන විදිහ සහ රූපරාමු තුළින් මේ කතාව කියන විදිහට බොහෝ ප්‍රේක්ෂකයන් කැමති වුණා.
රංගන ශිල්පියෙක් ලෙස මට විශාල පරාසයක හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙවැනි මානසික ප්‍රශ්නවලට මුහුණ දීපු අයත් ඔවුන් විඳවපු ජීවිතය ගැන කතා කරන්න ගත්තා. පොදුවේ ගත්තාම ජීවිතේ දරුණු ගැටලුවකට මුහුණ දුන්නම සමාජයේ අනෙක් අයගේ සහ තමන්ගේ පවුලේ අය කොතරම් සමීපව සිටිය යුතුද? එවැනි කෙනෙකුට ප්‍රේමය කොතරම් අවශ්‍යද කියන දේ මෙය නැරඹුවාට පසු ප්‍රතිචාර ලෙස ලැබුණා.
Q මෙලෙස ප්‍රතිචාර ලැබෙන සිනමාපටයක් තිරගත වෙන්නේ සැලකිය යුතු කාලයකට පසුව?
දශක කිහිපයක් තිස්සේ ලංකාවේ සිනමා කර්මාන්තයේ තිබෙන ප්‍රශ්නයක් ඕක. වාරණ මණ්ඩලය මහජනතාව අතරට ගෙන යන්න සුදුසුයි කියලා තීරණය කළ හොඳ චිත්‍රපට මේ වන විට රාශියක් තිබෙනවා. ප්‍රේමය නම් චිත්‍රපටයට මෙවැනි අවස්ථාවක් ලබාගත්තත්, එවැනි අවස්ථා නොලද හොඳ නිර්මාණ තව තිබෙනවා. තරුණ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ. අපේ රටේ සිනමා මණ්ඩලවල ප්‍රශ්නයක් තියනවා. සිනමා මණ්ඩල වල නියාමනය සහිතව පෙළගැස්වීමක් නිසි ලෙස සිදුවන්නෙත් නැහැ.
එයට රජය සම්බන්ධ ආයතනයක් වන චිත්‍රපට සංස්ථාව වහාම මැදිහත් විය යුතුයි. මේ දිනවල සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය චිත්‍රපට සංස්ථාවට යෝජනාවලියක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ යෝජනාවලියේ තිබෙන හොඳ දේ ක්‍රියාත්මක කරන එක ඉතා ඉක්මනට විය යුතුයි. අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් එක් පසෙකින් ප්‍රභල ප්‍රශ්නයකට මුහුණ දෙනවා වගේම තරුණ සිනමාකරුවන්ට ලංකාවේ සමාජය තුළ සිනමාකරුවන් ලෙස ඔවුන් හඳුනාගන්න තිබෙන අවස්ථාව නැතුව යනවා.
අපි රංගන ශිල්පීන් ලෙස තහවුරු වෙන්නෙත් අපේ රටේ ප්‍රේක්ෂකයන් සිනමාපට නැරඹුවොත් පමණයි. රංගන ශිල්පියෙක් වෙන්නෙ චිත්‍රපටයක රංගන දායකත්වය ලබාදීලා රාක්කයක තිබුණාම නෙමෙයි. ජනතාව අතරට ගියාම. එය මේ ක්‍රමය තුළ ශිල්පීන්ට අහිමි වෙනවා. නිෂ්පාදකයන් නැවත චිත්‍රපටයකට මුදල් යෙදීමට පෙළඹෙන්නේ නැහැ. ඉදිරියේදී ඒ ගැන හිතලා වැඩපිළිවෙළකට යන්න අත්‍යවශ්‍යම කාලයක්.
Q රංගන ශිල්පියෙක් ලෙස ජනතාව අතරට යාමට මෙන්ම ජනප්‍රිය වීමටත් ටෙලිනාට්‍ය භාවිත කළ හැකියි. එහෙත් ඔබ එයට වැඩි බරක් තබන්නෙ නෑ. එලෙස සිදුවන්නේ නිර්මාණවල ප්‍රශ්නයක් නිසාද? ඔබේ ප්‍රශ්නයක් නිසාද?
ප්‍රශ්න දෙකක්. මම ගුරුවෘත්තියේ නියළෙන නිසා කාලය සම්බන්ධ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. පූර්ණකාලීන රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ නොහැකි තත්ත්වයක් තිෙයනවා. අනෙක් පැත්තෙත් මම වඩා කැමති වේදිකාවට. ඒක මගේ මූලික මාධ්‍යය. ඒ අතර සිනමා නිර්මාණවලට දායක වෙනවා. සිනමා කෘතියකට දායක වෙන්න පෙළඹෙන්නේ හොඳ නිර්මාණයක් කරන අරමුණින්. සිනමාව කඩා වැටී තිබෙන අවස්ථාවක කුමක් හෝ අවරගණයේ නිර්මාණයක් කරලා ජනතාව අතරට ගෙන යන්නත් බැහැ.
ක්ෂේත්රය තුළ නමක් හදාගන්නත් බැහැ. ඒ නිසා සිනමාවෙ තවමත් හොඳ තිරපිටපත් ලියවෙනවා. හොඳ අධ්‍යක්ෂකවරු ඉන්නවා. රූපවාහිනියත් එක්ක මම සාපේක්ෂවයි සඳහන් කරන්නේ. රූපවාහිනී නාළිකාවල නිර්මාණයේ ගුණාත්මකත්වය රඳවා තබාගන්න නොහැකි වෙනවා. ඔවුන් ඉල්ලා සිටින එක කොටසක් සඳහා වියදම් කරන්න රූපවාහිනී ආයතන වෙන්කරන මුදලට ගුණාත්මක නිෂ්පාදනයක් කරන්න බැරි මට්ටමකට පත්වෙලා.
මෑතකාලයේ ඒ ගුණත්මක බව ගිලිහී යනවා. පුර්ණකාලීනව රංගනයේ නියළෙන්නෙ නැති කෙනෙක් නිසා ටෙලි නාට්‍යයකට දායක වෙන්න පෙළඹවීමක් ඇතිවෙන්නෑ. අපි සතුටක් ලබන්නේ හොඳ නිර්මාණයකට දායක වෙලා ඒ නිර්මාණය තුළින්. එය අහිමි වුණ තැන ආසාවෙන් වැඩ කරන පසුබිමක් ඇතිවෙන්නෑ.
Q නමුත් බොහෝදෙනෙක් ජනප්‍රියත්වය සඳහා පහසුවෙන් රූපවාහිනී මාධ්‍යයට යොමුවෙනවා. ජනප්‍රියත්වය කියන එක අදාළ නැද්ද?
මම වේදිකා රංගන ශිල්පියෙක් සහ සිනමා රංගන ශිල්පියෙක් ලෙස ජනප්‍රිය වෙන්න වඩා කැමතියි. මම ඒකට අකමැති නෑ. ටෝනි රණසිංහ වැනි රංගන ශිල්පීන් ජනතාව අතරට ගියේ හොඳ නිර්මාණවලට දායක වී පමණයි. සිනමාවේ ප්‍රශ්න සහ වේදිකාවේ පෙර තරම් ජන සමුහයකට යන්නැති ප්‍රශ්නයක් තියනවා. ලංකාවේ වේදිකා නාට්‍යය ජනතාව අතරට යන යාන්ත්‍රණය දරුණු ලෙස වෙනස් වෙලා. වෙළෙඳ ප්‍රජාවක් තමයි වේදිකා නාට්‍ය සංවිධානය කරන්නේ. ඒ ප්‍රශ්න තියෙනවා.
මම කැමතියි හොඳ නිර්මාණයකට දායක වී ජනප්‍රිය වෙන්න. මම සවිඥානිකව ඉන්නවා. රංගන ශිල්පියෙක් ලෙස මාව අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය මිනිසෙක් නිරූපණය කරන්න. මම වැනි රංගන ශිල්පියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තරුවක සිනමා නියෝජනය නෙමෙයි. අධ්‍යක්ෂකවරුන්ට එක් පැත්තකින් වාසියකුත් තියෙනවා. ගුණාත්මක අතින් හොඳ නිර්මාණයක යෙදී ජනප්‍රිය වෙන එක හොඳයි කියලයි මම හිතන්නේ.
Q ගුණාත්මක නිර්මාණයකට දායක වෙනවා කියන වාරණය දාගත්ත ගමන්ම රංගනය වෘත්තිමය ලෙස සිදුකිරීම කියන දේ ගිලිහෙනවා නේද?
මේක අපේ කර්මාන්තය ඇතුළේ ඇතිවන ප්‍රශ්නයක්. උදාහරණයකට අමීර් ඛාන් කියන රංගන ශිල්පියා ගත්තොත් තරුණ පෙම්වතා කාලේ නොයෙක් චිත්‍රපට වලට දායක වුණත් දැන් ජනප්‍රිය වෙන්නේ ඔහු රඟපාන චිත්‍රපට සංඛ්‍යාව එක්ක නෙමෙයි. ඔවුන්ට වසර ගාණකට එක් චිත්‍රපටයකට දායක වී වෘත්තීය නළුවෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න හැකිවෙලා තිබෙනවා. අපේ රටේ එහෙම තත්ත්වයක් නෑ. වෘත්තීය නළුවෙක් කියන්නේ රඟපාන නිර්මාණ සංඛ්‍යාව වැඩි කරගන්න කෙනෙක් නෙමෙයි. කම්කරුවෙක් වගේ වැඩ කරන එක නෙමෙයි. මම වෙන වෘත්තියක නියැළෙන නිසා මට ඒ දේ කරන්න පුළුවන්.
Q ප්‍රේමය නම් සිනමාපටයෙන් පසුව ඔබ සිනමාව තුළින් දකින්න ලැබෙන්නේ කුමන නිර්මාණ වලින්ද? එයට කොතරම් කාලයක් ගතවෙයිද?
ඒක තමයි රංගන ශිල්පීන්ට තියෙන ප්රශ්නය. තරුණ පරපුරේ රංගන ශිල්පීන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් චිත්‍රපට තුළින් දැකලා නැහැ. ඒ අවිනිශ්විතභාවය තියෙනවා. ප්‍රේමය නම් චිත්‍රපටය නිම කළේ 2013 වසරේදී. පසුව චිත්‍රපට පහකට දායක වුණා. ඒ චිත්‍රපට තිරගත වන කාලය හරිම අවිනිශ්චිතයි.