'මහසුපින' මහා සමාජය හා විශ්වවිද්‍යාලය අතර සිදුවන නිර්මාණාත්මක අත්දැකීම් හුවමාරුවක ප්‍රතිඵලයක්
ගෞතම බුදුරජාණන්ගේ සමයේ කොසොල් රජු විසින් දකින ලද සිහින සොළස ඇතුළත් 'සුපින' ජාතකය පදනම් කරගෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ දැවැන්ත නිර්මාණ කාර්යක්වන 'මහසුපින' වේදිකා නාට්‍ය අද (5දා) සවස 6.00ට කැලණිය විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක රංග ශාලාවේදී වේදිකා ගතකිරීමට නියමිතව තිබේ.මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මීට ඉහත නිර්මාණය කරන ලද 'මහසමයම' වේදිකා නාට්‍ය මෙරට නාට්‍ය කලාවේ සුවිශේෂී රංගයක් ලෙස ඇගයීමට ලක්විය. මේ ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන 'මහසුපින' පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
Q මහසුපින' වේදිකා නාට්‍ය දිගහැරෙන්නේ කොහොමද?
'මහසුපින' කියන්නේ පන්සිය පනස් ජාතක පොතේ එන හැත්තෑ හත්වෙනි ජාතක කතාව. කොසොල් රජ්ජුරුවෝ සිහින දාසයක් දකිනවා. මේ සිහින පිළිබඳ බුදුන් වහන්සේගෙන් විමසීමේදී එයට ලැබෙන අනාගතය පිළිබඳ කියවෙන තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතයි. මගේ දෙවැනි වේදිකා නාට්‍ය වශයෙන් %මහසුපින^ වේදිකාගත වෙන්නේ මේ කියන පදනමෙන්.
කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය විසින් තමයි මෙය ඉදිරිපත් කරන්නේ. අද (05දා) සවස 5. 30ට කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී මෙය වේදිකාගත වන්නට සූදානම්.
Q ඔබේ නිර්මාණයන් සඳහා ජනප්‍රවාද භාවිත වන්නේ ඇයි?
ලෝකයේ මහා සම්ප්‍රදායන් බිහිවෙලා තියෙන්නේ ඓතිහාසික ප්‍රවාහයත් සමග. එයින් කියවෙන්නේ පැරණි සාහිත්‍ය නිර්මාණයන්ගේ ආභාසයන් ලබමින් ඉදිරියට ගමන් කර ඇති බව. බර්ටෝර්ල්, ශේක්ෂ්පියර් වැනි චරිතයන්හි මේ ලක්ෂණය තිබෙනවා. සරච්චන්ද්රයන්ගෙත් මේ ලක්ෂණය දක්නට ලැබෙනවා. අතීතය යනු අපේම දෙයක්. මෙය අතීතය වශයෙන් ප්‍රශ්න කළ යුතු නෑ. අනාගතයත් එවැනිම වූ දෙයක්. අපේ යටගියාවෙන් යම් යම් දේ නොගෙන නව කලා ධාරාවන් සොයා ගැනීමේ අපහසුවක් තියෙනවා. අප ජීවත් වන කෙටි කාලය තුළ ලැබෙන අත්දැකීමට වඩා දීර්ඝකාලීන අදහස් සාහිත්‍ය තුළ තිබෙනවා. ජනසම්ප්‍රදාය සහ ජනප්‍රවාද යනු එයයි. දේශීය හැඩය ජනවිඥානය සමග නිරන්තරයෙන් බැඳී තිබෙනවා. එවැනි ජන කලාවන්ගෙන් ආභාසය ගැනීම නූතන කලාවට අතිශය වැදගත්. එහි වැඩි සංවේදී බවක් දක්නට තිබෙනවා. නූතන වශයෙන් හඳුන්වන්නේත් යටගියාවේම ප්‍රතිබිම්භයක්. අතීතය ගවේෂණය කිරීම අතිශය වැදගත්. අතීතයේ අත්දැකීම් සාකච්ඡා කළ යුතුයි.
Q මේ ජාතක කතාවම තෝරා ගැනීමට හේතුව කුමක්ද?
මේ ජාතක කතාව තෝරා ගැනීමට හේතු කිහිපයක් තිබෙනවා. එකක් වන්නේ මෙය වර්තමාන, අතීත, අනාගත කාලත්රය නියෝජනය කරන කතා ප්‍රවෘත්තියක්. දෙවැන්න වන්නේ ධාර්මික හෝ බෞද්ධ දාර්ශනික කාර්යයකට වඩා මානව ධර්මතාවක් මෙන්ම පොදු මිනිසාටත් අදාළ කාරණයක් මෙහි සාකච්ඡා වෙනවා. විශේෂයෙන් පරිසරය සහ මිනිසා අතර තිබෙන බැඳියාව භෞතික කාරණයක් පමණක් නොවේ. එය ආධ්‍යාත්මික කාරණාවක්. අපේ හිත් දූෂණය වීමෙන් පරිසරය අප සමග වෙනස්කම් ඇති කරගන්නා ආකාරය මෙන්ම එය නූතන සොයාගැනීම්වලටත් හේතුසාධක වන කාරණයක්. අනාගත සමාජයේ ව්‍යසනයන් වෙන්නේ මිනිසාගේම ක්‍රියාකාරකම්වල වරදක් නිසාම නොවේ. ආධ්‍යාත්මිකව මිනිසා දූෂණය වීමෙන් සිදුවන දෙයක් වශයෙන් වන දෙයක්. තෙවැනි කාරණය මෙහි කතාන්දරයක් නෑ. සිහින දාසයක් පමණයි තියෙන්නේ. කතාන්දරය යන්න නූතන සමාජයේ ප්‍රතික්ෂේප වෙලා. අපි අදහස් වශයෙන්, පැවතුම් වශයෙන් කැඩුණු මිනිසුන්. කොහෙවත් ආඛ්‍යානයක් නෑ. සිහින දාසයක් කියන්නෙම ඉතාම සංකීර්ණයි. සත්තු මිනිස්සු සිහින වටා ගෙතුනක්. විශේෂයෙන් මම කැමතියි කැඩුණු බිඳුණු කතාන්දරයක් නැති ලක්ෂණයට. එයයි පශ්චාත් නව්‍යවාදයේ ආකාරයත්. අපි විසංයෝජනීයයි. විශ්වයේ මානවයාගේ ස්වභාවය අල්ලා ගැනීමට හැකි එක් ප්‍රබල ජාතක කතාවක් වශයෙන් මෙය දකිනවා.
Q මෙය ජාතක කතාවේම අනුකරණයක්ද?
කිසිසේත්ම නෑ. ජාතක කතාවක් වශයෙන් මෙය නිර්මාණය වන්නේ නෑ. පරයා, සොකරි, පනික්කි, නොන්චි වැනි සාම්ප්‍රදායික සමාජයේ චරිත මේ නාට්‍යයේදී මම යොදා ගන්නේ. මෙය වෙනස්ම ආකෘතියක් මත තබන දෙයක්. සාම්ප්‍රදායික ජාතක කතා හෝ සාම්ප්‍රදායික නාට්‍යයෙන් බැහැරවයි මෙය නිර්මාණය වෙන්නේ. මෙය නූතන සමාජය මත තියලා කතා ප්‍රවෘත්තියේ සාරයෙන් නව දැක්මක් ඇති කරගැනීමේ අධිෂ්ඨානය සහ අලුත් ආකාරයෙන් හිතන්නට පුළුවන් කථිකාවක් මෙහි ගොඩනැගෙනවා.
Q විද්‍යාර්ථියාගේ මැදිහත් වීම මෙම නාට්‍ය ඔස්සේ දකින්නේ ඇයි?
පන්ති කාමරයේ හිර වූ දැනුම පොදු සමාජයට වලංගු නැහැ. මෙය ජීවිත කාලෙම අත්දැක ඇති දෙයක්. මම අදහස් කරන්නේ බාහිර සමාජයේ නිර්මාණ කාර්යයන් සමග විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැළපෙන්නේ නෑ. ඔවුන්ව මහා සමාජය විසින් පිළිගන්නේ නෑ. මහා සමාජයේ භාවිත කරන්නේ වෙනම වූ කලාවක්. විශ්වවිද්‍යාලය තුළ භාවිත කරන්නේ වෙනම කලාවක්. මේ තිබෙන පරතරය නැති කිරීම එක් කාරණයක්. විද්‍යාර්ථියා බොහෝ ශක්තීන් ඇති බුද්ධිමත් කෙනෙක්. ඔවුන්ව විශ්වවිද්‍යාලය තුළ ගල් කිරීමෙන් එළියට විත් හිතන්න දෙන අවස්ථාවක් මේක. ඒ අත්දැකීම් මේ නාට්‍ය පුරාවට තිබෙනවා. ඔවුන් අභ්‍යාස ගන්නවා, විනය හා ශික්ෂණය පිළිබඳ වැරදෙමින් අධ්‍යයනයක් ලබනවා, වෙනස්වීම් මෙන්ම මැදිහත්වීම් මගින් පෞරුෂ වර්ධනය, චින්තන වර්ධනය සහ ආකල්ප වර්ධනයත් විචාරශීලීත්වය සහ සහභාගි වීමෙන් ඇතිකරගන්නා වූ සුහදශීලීත්වයත් මේ තුළ තිබෙනවා.
Q රංගනයෙන් ලැබෙන දායකත්වය කෙබඳුද?
මෙම නාට්‍යයේ විශේෂත්වය වන්නේ විශ්වවිද්‍යාල තුළ තාරුණ්‍ය සහ රටේ ප්‍රවීණ නිර්මාණ රංගන දායකත්වය එක්තැන් කිරීමක්. බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, අකිල ධනුද්දර, මාදිනී මල්වත්ත, සුලෝචනා වීරසිංහ, ජනක රත්නායක වැනි ප්‍රවීණයන් මේ සඳහා දායක් වෙනවා. මෙය සංස්කෘතික ගනුදෙනුවක් වශයෙන් හැඳින්විය හැකියි. මහා සමාජය හා විශ්වවිද්‍යාලය අතර අත්දැකීම් හුවමාරුවක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන්. ඔවුන් රංගනයේදී ශිල්පය භාවිත කරන්නේ නළුවෙක් වශයෙන් නොවේ. යම් යම් අවස්ථාවල භූමිකාවට අනුව හැසිරෙන්නෙක් වශයෙනුයි මෙය සිදුවන්නේ. සාමූහික ප්‍රකාශය සහ එයින් ගොඩනගන විවිධ වූ අර්ථයන් මෙහිදී වැදගත් වෙනවා.
මම මේ නාට්‍යයෙන් උපදේශයක් ලබාදෙන්නට උත්සාහ ගන්නේ නෑ. නමුත් ඕනෑම කෙනෙකුට මෙයින් ඕනෑම දෙයක් උකහා ගත හැකියි. මෙය විහිදී ගිය දෙයක් නිසා එය ස්ව පරාසයෙන් ගොඩනගාගත හැකියි. කලාකරුවෙක් කියන්නේ තීන්දු තීරණ දෙන්නෙක් නොවේ. ඔහු දාර්ශනික මතයක් තහවුරු කරන්නෙක් නොවේ. නිර්මාණකරුවෙක් වශයෙන් මම කරන්නේ අවට ලෝකයේ දකින දේවල් අපිට හසුවන ආකාරයෙන් අල්ලාගෙන එය වෙනත් වින්දයක් සඳහා, වෙනත් ආකාරයක අත්දැකීමක් ගොඩනැගීමයි. යථාර්ථය වේදිකාවේ නිරූපණය අපහසුයි. ප්‍රතිනිර්මාණයක් කිරීමත් අපහසුයි. වේදිකාවක් මත වෙන්නේ ඉදිරිපත් කිරීමක්. ඉදිරිපත් කිරීම නැරඹීම සහ පරිකල්පනය මත වෙන දෙයක්. මම කරන්නේ ගෙතුමක්. මෙය සම්මත දෙබස් කීමෙන් සම්ප්‍රදායෙන් එහා ගිය දෙයක්.
සුලක්ෂි රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




