සංගීතඥවරයෙකු ලෙස තිරයේ පිටුපස සිට විශාල මෙහෙවරක් සිදුකරනු ලැබූ ඔහු අද වන විට ගායකයෙකු ලෙස වේදිකාව මත සිටියි. තරුණ පරපුර අතර මෙන්ම ප්‍රසංග වේදිකාවට නැතුව බැරි ගායකයෙකු වී සිටින ඔහු නමින් අශාන් ප්‍රනාන්දු වෙයි. ඔහුගේම ගීත මෙන්ම තේමා ගීත විශාල ප්‍රමාණයට හඬ දායකත්ව ලබාදෙමින් රසික සිත්වල තැන්පත් වූ ඔහු සූදානම් වන්නේ රසිකයන් වෙනුවෙන් නවතම ආරක ගීතයක් තිළිණ කිරීමටයි. ඔහුගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට 'අද' කතාබහට මෙලෙස එක්විය.
Q අශාන් මේ දිනවල වැඩකටයුතු කොහොමද
මේ දිනවල නම් ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. විශේෂයෙන් ටෙලිනාට්‍ය තේමා ගීත කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඊට අමතරව ගායක ගායිකාවන්ටත් ගීත කිහිපයක් නිර්මාණය කරනවා. ඒ දේවල් එක්ක ප්‍රසංග වේදිකාවේ වැඩත් කරනවා.
Q අශාන්ගේ අලුත් ගීතයක් ළඟදි එන්න තියෙනවා නේද
ඔව්. අලුත් ගීතයක් රිලීස් කරනවා. ඒක වෙනස් ගීතයක්. මම මෙච්චර කාලයක් කරපු ගීතවලට වඩා වෙනස්ම ගීතයක්.
Q සංගීත නිර්මාණය පැත්තට මුලින් සම්බන්ධ වෙලා පස්සෙ ගායනයට සම්බන්ධ වුණේ ඇයි
ඇත්තටම මම සංගීත නිර්මාණය කරන්න ගොඩක් කැමතියි. මට අවශ්‍ය වුණේ මුලින්ම සංගීතඥයෙක් වෙන්නයි. සංගීතඥයෙක් කියන නම හදාගෙන ඊට පස්සේ ගායකයා කියන තනතුරට එන්න තමයි මගේ අදහස තිබුණේ. ඒක නිසා තමයි සංගීත නිර්මාණයට මුලින් සම්බන්ධ වුණේ. සංගීත නිර්මාණය කරලා ඇති කියලා හිතුණම තමයි මගේ කටහඬට පණ දුන්නේ. අනිත් කාරණය තමයි මම හිතන්නේ මගේ කටහඬ අවශ්‍යම කාලෙදි තමයි මම ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වුණේ කියන දේ.
Q සංගීතඥයා කියන චරිතයේදී ලැබුණු ජනප්රියත්වයමද ගායකයාට ලැබෙන්නේ
මෙහෙමයි. සංගීතඥයාට ලැබෙන ජනප්රියත්වයයි ගායකයාට ලැබෙන ජනප්රියත්වයයි දෙකක්. සංගීතඥයා නිතරම පේන්න නැහැ. නමුත් ගායකයා නිතරම මිනිස්සු අතරමයි ඉන්නේ. ඒ ගීත නිතරම රසවිඳිනවා. නිතරම දකිනවා. එතකොට ඒ ලැබෙන ජනප්‍රියත්වය ගොඩක් වෙනස්. මටත් එහෙමයි.
Q පළවෙනි ගීතයෙන් මෙච්චර ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා හිතුණද
ඇත්තටම නැහැ. මටත් පුදුමයි ඒක ගැන. මගේ පළවෙනි ගීතය මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුණෙ නැහැ. මගේ හඬ මෙච්චර ජනප්‍රිය වීම ගැන ලොකු සතුටක් තියෙනවා.
Q අද වෙද්දි ප්‍රසංග වේදිකාවට අශාන් ප්‍රනාන්දුගේ හඬ නැතුවම බැරි වෙලා තියෙනවා
ඇත්තටම මට තිබුණු කඩඉම් අතර ලොකුම කඩඉමක් තමයි මගේම ගීත විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ගායනා කරන එක. ඒක අද ඉටුවෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. අදටත් මට ඒ දැනෙන හැ.ගීම කියාගන්න බැහැ. ප්‍රසංග වේදිකාවකට නඟින්නේ පුදුම සතුටකින්. මට ඒක ලොකු අභිමානයක්. හැමදාම ලංකාවේ හැම පැත්තකින්ම වගේ ආරාධනා ලැබෙනවා. පුළුවන් විදියට ඒ ප්‍රසංගවලට සහභාගි වෙනවා.
Q රසික ආදරය රඳා පවත්වාගන්න එක ගායකයාගේ වගකීමක්. කාලයක් යද්දී ඒ ආදරය නැති කරගන්නෙම ගායකයා විසින් නේද
ඔව්. මෙහෙමයි. ගායකයාට කලින් ගීතයට ආදරය කරන පිරිසක්නේ හැදෙන්නේ. මිනිස්සු ඉල්ලන ගීත තමයි අපි දෙන්න ඕන. පහුගිය කාලේ ලොකු කතාවක් හැදුණා එකම වගේ ගීත නිර්මාණ කළා, එකම රැල්ලක් ආවා කියලා. ඒක නිසාම තමයි මමත් වෙනස් වෙනස් ශෛලීන්වල ගීත නිර්මාණය කරන්නේ. ඇත්තටම එකම ජාතියේ දේවල් කරද්දි තමයි මිනිස්සුන්ට අපිව එපා වෙන්නේ. අපි දැනගන්න ඕනේ ඒ ලැබෙන රසික ආදරය ඒ විදියටම තියාගන්න, වැඩ කරගන්න.
Q එතකොට ගායකයෙක්ට එකම රාමුවක් තුළ හැමදාම පවතින්න බැහැ කියන එකද අශාන්ගේ මතය
ගායකයෙක් එක රාමුවකට කොටු වුණාම එයාගේ පැවැත්ම අඩුයි. මම හිතන්නේ ගායකයෙක්ට තරම් අමරණීය චරිතයක් වෙන්න බැහැ කාටවත්ම. ගායකයා මියැදුනත් ඒ ගීත ජනප්‍රියයි. ජෝතිපාල මහත්මයා, ක්ලැරන්ස් මහත්මයා, අමරදේව සූරින්ගේ ගීත අපි තවමත් අහනවා. ඒ යුගවල තිබුණු ගීත එකින් එකට වෙනස්.
Q අශාන්ට හිතෙන විදියට ඉදිරියේදි සංගීත ක්ෂේත්රය ඔබ කියපු යුගවල වගේ වෙයිද
මම හිතනවා එහෙම වෙයි කියලා. සමහර අය මට කෙලින්ම චෝදනා කරලා තියෙනවා මම එකම ආරෙක ගීත ගායනා කරනවා කියලා. ඇත්තටම මම ඒ ආපු ට්‍රෙන්ඩ් එකට ගීත හැදුවට අමතරව වෙනස් ගීතත් කළා. ටෙහාන්ගේ %උණුහුම 2^ වගේ ගීත ආපු ට්‍රෙන්ඩ් එකෙන් වෙනස් ගීත. ඒ කියපු හේතූන් නිසාම ඉදිරියේදී මම කරන ගීතවල ලොකු වෙනසක් වෙයි. දැනටත් අලුත් නිර්මාණ දිහා බැලුවම ලොකු වෙනසක් ඇතිවෙලා කියලා පේනවා. මම විශ්වාස කරනවා ඉදිරියේදී සංගීතය අතින් පොහොසත් නිර්මාණ නිර්මාණශීලී විදියට එයි කියලා.
Q ඔබව ටෙලිනාට්‍ය තේමා ගීත ඔස්සේ විශාල පිරිසක් හඳුනගත්තා නේද
ඔව්. ටෙලිනාට්‍ය ගීත ඔස්සේ ගොඩක් අය මාව හඳුනාගත්තා. මම ගායනා කරපු තේමා ගීතත් ගොඩක් ජනප්‍රිය වුණා. දැන් මම ගොඩක් තේමා ගීත කරලා තියෙනවා. සිරසෙන් කරපු ගීත %ප්‍රේම දඩයම^, %මේ ආදරයයි^, %ප්‍රේමායුධ^, වැනි ටෙලිනාට්‍යයවල ගීත ගොඩක් ජනප්‍රිය වුණා. එතකොට මේ දවස්වල මම කොහේ ගියත් ඉල්ලන තේමා ගීතයක් තමයි %හීනයක්ද මේ^ කියන ගීතය. හිරු ටී.වී. එකේ විකාශය වුණු %හීනයක්ද මේ^ ටෙලිනාට්‍යයේ තේමා ගීතය. ඒක ඇත්තටම මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. තව තේමා ගීත කිහිපයක් එන්න තියෙනවා.
Q අවසාන වශයෙන් රසිකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ
රසිකයන්ට කියන්න තියෙන්නේ අපේ නිර්මාණ බලන්න. අපේ වැරදි දේවල් කියන්න. එයාලා නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ. මාත් එක්ක දිගටම රැඳෙන්න.