රොමේෂ් සුගතපාල පිළිබඳව මේ දිනවල වැඩිපුර කතාබහ කරන්න පටන් ගත්තා. මොකද එක්තරා ප්‍රසංගයක සිදුවීමක් පිළිබඳව. ඒකත් සමග තවත් සිදුවීමක් තමයි ඔහුගේ සංගීත කණ්ඩායමේ ගීතයක් එළිදැක්වීම. මේ කටකතා සහ ඔහුගේ කණ්ඩායම් ගීතය පිළිබඳව කතාබහ කරන්න අප ඔහුව සම්බන්ධකර ගත්තා.
Q මොකක්ද මේ ෆේස්බුක් වල ප්‍රචාරය වන පුවත?
ඒ ගැන කියනවානම්, මේ ළඟදි හොඳ දෙයක් සිද්ධ වුණා. මගේ කණ්ඩායමත් එයට මට උදව් කළා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයක් තියන්න සූදානම් කරලා එයට වැස්ස නිසා බාධා වුණා. එය ගැන ෆේස්බුක් එකෙත් කතා වුණා. මගේ ටීම් එකේ සාමාජිකයන් අට දෙනා සහ සවුන්ඩ් කරන පිරිස දෙවෙනි දවසේ ප්‍රසංගය නොමිලේ පැවැත්වුවා. ඊට අමතරව මේ ප්‍රසංගයට චාමර වීරසිංහ, රයිනි චාරුකා, රූනිත් මේ අයත් මේදෙයට සහභාගී වූණා. ඒ අයත් කැමති වුණා පහුවෙනිදාට මේ ප්‍රසංගය පවත්වන්න.
Q ෆේස්බුක් වල හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් තිබුණා නේද?
අම්මෝ ඔව්. ඒ පෝස්ට්වල මගෙයි චාමරගෙයි නම් විතරක් දාලා තිබුණා. නමුත් එතන තව දෙන්නෙක් හිටියා කියලා ගොඩක් අය දැනන් හිටියේ නැහැ. මම මාර විදිහට සර්ප්‍රයිස් වුණා ඒ පෝස්ට් එක දැකලා. මම ජීවිතේට මගේ ගැන එහෙම හොඳක් අහලා නෑ. මගෙ වචනෙට තමා හැමෝම නොමිලේ ෂෝ එක කරන්න කැමති වුණේ. ඒ වගේම වැරදි විදිහටත් පෝස්ට් දාලා තිබුණා. මම මේ ෂෝ එකේ හිටියේ නැහැ. ඉඳුනිල් අන්ද්‍රමාන්න සහ චාමර වීරසිංහයි කලේ කියලා. හිතට ටිකක් දුකක් දැනුනා. මෙවැනි ප්‍රචාර කරද්දී. හැබැයි අපි මෙහෙම දෙයක් කරේ ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.
Q 'නාග ලෝකය' නමින් අලුත් ගීතයක් කරල තියෙනවා නේද? ඒ ගැන ටිකක් කතා කරමු.
නාග ලෝකය මගේ Romesh with Tunes බෑන්ඩ් එකේ පළවෙනි සිංදුව. අපි හිතුවට වඩා නරඹන්නන් සංඛ්‍යාවක් යූටියුබ් එකේ එකතුවෙලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මෙහි තනු නිර්මාණය කළේ චානක අමිත්, පදරචනය අජිත් අක්මීමන, සංගීත සංයෝජනය ගයාන් පෙරේරා. හොඳ සහයෝගයක් තිබුණා. මගෙ කණ්ඩායමේ සියලුම සාමාජිකයන් මේ ගීතය ගයනා කරනවා. A9 Films තමයි වීඩියෝ එක කළේ. මේ වෙලාවෙදි සීදූව බ්‍රැන්ඩෙක්ස් ආයතනයත් මතක් කළ යුතුයි. ඒ Location එක ලබාදීම පිළිබඳව ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
Q සංගීත කණ්ඩායම පටන් අරන් කාලයක් ගෙවුණත් ගීතයක් නිකුත් කරන්න කල් ගියා නේද? එයට හේතුවක් තිබෙනවාද?
සංගීත කණ්ඩායමක් පටන්ගන්න චුට්ටක් අමාරුයි. සමාජිකයන් තබා ගැනීමත් අමාරුයි. මගේ කණ්ඩායමත් පටන් අරන් අවුරුදු 5ක් පමණ වෙනවා. ඒ අතරතුර කාලයේදී සාමාජිකයන් යන එන ගතියක් තිබුණා. නමුත් පසුගිය වර්ෂයේදී හරි ගමනක් යන්න මේ ඉන්න කට්ටිය මට හමුවුණා. වීඩියෝ එකක් කරලා අනිත් දවස වෙද්දී කණ්ඩායමේ වෙන අය හිටියොත් වැඩක් නෑනේ. ඒක නිසා දැන් ඉන්න අය එක්ක විශ්වාසයෙන් වැඩේ පටන් ගත්තා. ඒ හේතු නිසා තමයි වීඩියෝ එකක් එන්නත් පරක්කු වුණේ.
Q කණ්ඩායමක් ලෙස සාමාජිකයෙන් සමග ගනුදෙනු කිරීමේදී ගැටලුවක් එනවා. මේ පිළිබඳව ඔබ දරන අදහස මොන වගේද?
ඇත්තටම මට ඉන්නෙ හොඳ සාමාජිකයන් අට දෙනෙක්. ඒ නිසා මට ඔවුන් එක්ක ගනුදෙනු කරන්න අමාරු නැහැ. ඔවුන්ගේ ලොකු ඉල්ලීම් නැහැ. සරල, පුංචි ඉල්ලීම් ඔවුන් ඉල්ලන්නේ. මම හරි තීරණ ගත්තොත් ඒ දේවල් ලොකු ප්‍රශ්න වෙන්නෙ නැහැ. මම හිටියත් නැතත් සාමාජිකයන් අවශ්‍ය පුරුදු පුහුණුවීම් කරනවා. ඔවුන්ගේ හොඳ එකමුතුවක් තියෙනවා. 'නායකයා නැතුව මේ කරන්න බෑ' කියන අදහස මගේ කණ්ඩායමේ සාමාජිකයන් අතර නෑ.
ඒ දේවල් නිසා ඒ අය එක්ක කටයුතු කරන්න හරිම ලේසියි. මම කණ්ඩායම් සංගීතයේ නියැලුණු කෙනෙක්. ඒ නිසා මම දන්නවා සාමාජිකයෙක් ලෙස කොහොමද ඉන්න ඕන කියන දේ. ඉතින් අද වෙනකොට සංගීතය කණ්ඩායම ජනප්‍රිය වීගෙන එනවා. ඒ සාමාජිකයන් අටදෙනාගෙ තියෙන එකමුතුව සහ ඔවුන් මා සමග ගනුදෙනු කරන විදියේ තියෙන සාර්ථකත්වයෙන් කිව්වොත් නිවැරදියි.
Q කණ්ඩායමක විනය පවත්වාගෙන යාම පිළිබඳව සැලිකිලිමත්ද?
විනය කියන දේ තමන්ගේ දෙමව්පියන්ගෙන් හා සමාජයෙන් තමයි ඉගෙන ගන්නේ. කිසිම කෙනෙක්ට බලෙන් හුරුකරන්න බෑ. නමුත් විනයක් කියල දෙයක් කණ්ඩායමක් තුළ තිබිය යුතුයි. මම විනය ගැන තදින්ම හිතන කෙනෙක්. මොකද අපි ගෙදරදොරේ හැසිරෙන විදියට තැනක ගිහින් හැසිරෙන්න බෑ. මම ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා මගේ මිම්මෙන් තමයි මගේ කණ්ඩායමේ අනිත් සාමාජකයිනුත් මනින්නේ. ඒ නිසා මම යම්කිසි නීති ටිකක් දාල තියෙනවා. ඒ නීති ටික නම් සංගීත කණ්ඩායමේ හැමදෙනාම ඉෂ්ට කරනවා.
Q ඉදිරියේදී අපට වැඩිපුරම දකින්න අහන්න ලැබෙන්නේ කණ්ඩායම් නිර්මාණ ලෙසද? නැතිනම් රොමේෂ් කියන ගායකයාගේ තනි නිර්මාණද?
මේ දෙකම තවම බැලන්ස් එකේ යනවා. දැනට නම් තවම එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ප්‍රසංග අඩුවෙලත් නෑ. බෑන්ඩ් එකට තියෙන වැඩ අඩුවෙලත් නෑ. හැමදාම තියෙන දේ තාවකාලිකයි. සියලුම දේ ස්ථිර නෑ. යන පැත්තට මුහුණ දෙනවා. හැබැයි මම කැමතියි මගෙ බෑන්ඩ් එක යම් තැනක තියාගන්න.
මගේ බෑන්ඩ් එක එකෝස්ටික් බෑන්ඩ් එකක්. අපි දකින ආදර්ශ තියෙනවා. ජිප්සීස් සංගීත කණ්ඩායම ගත්තොත් හැමෝටම හොඳ ආදර්ශයක්. සුනිල් පෙරේරා මහතා වයසට ගියත්, ඔහුගේ දරුවන්ටත් දරුවො ඉන්නවා. නමුත් තවම ඒ සංගීත කණ්ඩායම නැතිවෙලා නැහැ. ඒක තමයි මම මගේ ජීවිතයට හොඳ උදාහරණයක් කරගන්නේ. මොකද ඒ වගේ පවත්වාගෙන යන්න තමයි මගේ ලොකුම ආසාව තියෙන්නේ.
Q ඔබේ ගීත හා ඉදිරියේදී අහන්න දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කරමු?
නිර්මාණයක් දැන් කරගෙන යනවා. එය විරහ ගීතයක් නම් නෙවෙයි. ඒක ආදරයට ගොඩක් සම්බන්ධ ගීතයක්. විරහ ගීත තාලයටත් නෙවෙයි හදලා තියෙන්නේ. එහි සංගීතය, තාලය ගොඩක් වෙනස්. එය මැයි මාසය වෙනකොට හැමදෙනාටම ඒ ගීතය අහන්න පුළුවන් වෙයි. එය හොඳ වෙනසක්. මොකද මම විරහ ගීත ගොඩක් ගායනා කළා. ඒක ඕනවට වඩා කරන්න ගියාමත් ගායකයෙක්ට ගැළපෙන්නෙ නැහැ. ගීත ශෛලීන් විවිධ විදියට යන්න ඕන. එතකොට තමයි ගායකයෙක්ගෙ දක්ෂතාවය පේන්නෙ. මගේ රසිකයන්ට එය ලොකු වෙනසක් වෙයි.
Q විරහ ගීත ගායනා කරපු ගායකයෙක් විදියට වෙනස් ආරයක ගීත ගායනයේදී යම්කිසි අභියෝගයක් නැද්ද?
නැහැ. මම 'දිගු දෑස' ගීතයට කලින් ගායනා කළ සියලුම ගීත ආදරබර ගීත. විරහ ගීත දෙක තුනක් තියෙනවා. නමුත් 'නීල දෑසේ දුටුවා', 'මාගේ සුකුමල සඳකොමලී' මේ ඔක්කොම ආදරබර ගීත. 'මා දෙස නෙත් නොපියා බලාපු' ගීතය ගොඩක්ම ජනප්‍රිය වුණ ගීතයක්. මේ සියල්ල ආදරයට සම්බන්ධයි. පසුව හදිසියේ නිර්මාණය වුණ ගීතයක් තමයි 'දිගු දෑස දුටුවාම' කියන්නෙ. ඒ කාලෙ ජනතාවට ලොකු වෙනසක් ඕන නිසා ඒ පැත්තෙන් නිර්මාණ කළා. ඒ ගීත ජනප්‍රිය වුණා. නමුත් දැන් මට ඒ විදියේ නිර්මාණ කළා ඇති කියල හිතෙනවා.
Q ඉදිරි කටයුතු හා බලාපොරොත්තු මොනවාද?
මගේ සංගීත කණ්ඩායමේ ඉන්න සියලුම දෙනා මගේ වචනයට ගරු කරන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද ඒ දේවල් එක්ක මගේ සංගීත කණ්ඩායමට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. තව මාස දෙකක්, තුනක් ඇතුළත සංගීත කණ්ඩායමේ දෙවන ගීතයත් නිර්මාණය කරන්න වැඩකටයුතු සූදානම් කරලා තියෙන්නේ. වෙනස්ම වූ ගීත ශෛලීන් එක්ක ඉදිරියට යන්න මගේ ලොකු ආශාවක් තියෙනවා. ඉදිරියේදී අහන්න පුළුවන් වෙයි JAZZ මියුසික් එක්ක මම කරන අලුත්ම ගීතයක්. ඒ වගේම ශාස්ත්‍රීය සංගීතයත් එක්ක කරන ගීතත් වැඩිපුර අහන්න පුළුවන් වෙයි. මගේ ජීවිතයේ මම වැඩිපුරම ආස කරන්නේ සංගීතයත් එක්ක ජීවත් වෙන්න තමයි.