මම පළමුවැනි වතාවට තමයි පෙම්වතියක් වුණේ
ශනුද්‍රි ප්‍රියසාද් නිර්මාණ කටුයුතු වලට කාලයක් දායක නොවූවත් සමාජ වෙබ් අඩවි භාවිත කරන ඕනෑම කෙනෙකුට ඇයව දැක ගැනීමට හැකියාව ලැබුණි. ඒ ඇය සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය වන දිනක්ෂි ප්‍රියසාද් සමග සමාජ වෙබ් අඩවි වලට ඡායාරූප එක් කිරීම හේතුවෙනි.
කෙසේනමුත් ශනුද්‍රි නැවතත් මේ දිනවල පුංචි තිරයේ දැකගන්නට අවස්ථාව ලැබේ. ඒ ටීවී දෙරණ තුළින් විකාශනය වන 'දෙවැනි ඉනිම' ටෙලි නිර්මාණය හරහායි. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට 'අද' තරු කතාබහට මෙලෙස ඇය එක්කර ගතිමු.
Q කාලයක් කලා කටයුතුවලින් ඈත් වෙලා හිටිය නේද? ඒ කාලය තුළ මොකද කළේ?
මම ගිය අවුරුද්දේ තමයි උසස් පෙළ කළේ. පාසලෙන් ඉවත් වෙනකම් අධ්‍යපාන කටයුතුවලට මම මුල්තැන දීලා හිටියා. විභාගය අවසන් වුණාට පස්සෙ සාරංග මෙන්ඩිස් අයියාගෙන් මේ නාට්‍යයට ආරාධනා ලැබුණා. ඒ කතාව කියෙව්වට පස්සෙ මට ආස හිතුණා එයට සම්බන්ධ වෙන්න. ඒ වැඩකටයුතු පටන් ගත්තා. දැන් ඒ වැඩකටයුතු කරගෙන යනවා.
Q ශනුද්‍රි දැන් පෙම්වතියක් නේද?
මම පළමුවැනි වතාවට තමයි මෙහෙම පෙම්වතියකගේ චරිතයක් කරන්නේ. කලින් කළේ ළමා චරිත. ඒ පිළිබඳව හරිම සතුටුයි. වැඩ කරන්න තියෙන්නෙත් හොඳ පිරිසක් එක්ක. හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ චරිතය කරන්න අමාරු නැහැ.
Q ළමා චරිත කරපු ඔබ එකපාරට පෙම්වතියගේ චරිතයක් කරනකොට දැනෙන හැඟීම මොන වගේද?
ඔව් ඉතිං, එහෙම තේරුණා. මේ වයසෙදි තමයි ඒ වගේ චරිත කරන්න ඕන. වයසට ගිහිල්ලා කරන්න බෑ. දැන් හරි වයස කියල හිතෙනවා. ලොකු වෙනසක් නෑ. ටීවි එකෙත් ඒ වගේ චරිත දකිනවා. අපේ අක්කලත් රඟපාලා තියෙනවා. ඉතිං එච්චර අමාරු නැහැ.
Q 'දෙවෙනි ඉනිම' ටෙලිනාට්‍යයේ වැඩකටයුතු මොන වගේද සිදුවෙන්නේ?
ඒ වැඩකටයුතු ඉතිං හොඳට, හොඳ ප්‍රතිචාර මැද්දේ සාර්ථකව කරගෙන යනවා. තිරයෙන් පේන දේට අමතරව අපේ කණ්ඩායමේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් අයගේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි වගේම ආඩම්බරයි.
Q පෙම්වතියගේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද?
එහෙම ඉතිං මට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මම පෙම්වතිය විදියට ඉන්නකොට පෙම්වතාගේ චරිතයෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ රවී අයියා සහ ක්‍රිෂාන් අයියා කියන දෙන්නගෙන්ම. ඒ නිසා එච්චර අමාරු නැහැ. මුලින් පිටපත ලැබුණාම අපි මෙහෙම කරමු කියලා කතාබහ කරගෙන වැඩකටයුතු කරනවා.
Q අක්කලාට කලින් ක්ෂේත්රයට එන්නේ ඔබ. ඒ ගැනත් කියමු නේද?
ඔව්, මම ක්ෂේත්රයට ආවේ වයස අවුරුදු 3 ½ දී. ඒ තාත්තිගේ 'ඔන්න බබෝ' චිත්‍රපටයෙන්. ඒකෙ ප්‍රධාන චරිතය තමයි කළේ. පොඩි ළමයෙක්ගෙ චරිතයක්. මම හිතනවා මම ඒ වයසට ගොඩක් හොඳට රඟපාලා තියෙනවා. දැන් ඒ දිහා බලපුවාම ගොඩක් ඒ ගැන තේරෙනවා.
Q සිනමාව කියන දේ අත්හැරලද තියෙන්නේ?
අත්හැරලා නෙවෙයි. මම දැන් තමයි සිනමාවට හෝ පුංචි තිරයට එන්න පටන් ගන්නේ. ඉදිරියට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. චිත්‍රපටයක රඟපාන්නත් ආසයි.
Q සංගීත කටයුතුවලට මොකද වුණේ?
සංගීත කටයුතුත් කරගෙන යනවා. මනුරංග විජේසේකර අයියත් එක්ක මම අලුත් සිංදුවක් කළා. ඒක කරලා දැන් සතියක් විතර වෙනවා. වීඩියෝ එකත් එක්කම එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක තරුණ අයට හරියන සිංදුවක්.
Q සංගීතය, අධ්‍යාපනය, රංගනය මේ දේවල් එක්ක ඔබ පටලැවිල්ලකද ඉන්නේ?
මම පොඩි කාලේ ඉඳන් සමබරව වැඩකටයුතු කරන්න දන්නවා. මම දැනටත් ඉගෙනීම් කටයුතු නවත්වලා නැහැ. උසස් අධ්‍යාපන කටයුතු කරනවා. පොඩි කාලෙ ඉඳන්ම අම්මාගේ සහ තාත්තිගේ සහයෝගයත් එක්ක මේ දේවල් කළේ. ඒ අය මට දක්ෂතාවය තියෙන හැම පැත්තටම මාව යොමු කළා. සංගීතය, අධ්‍යාපනය හා රංගනය කියන ක්ෂේත්‍ර තුනේ වැඩකටයුතු එකට කරගෙන යන්න අමාරු නෑ. පුළුවන්.
Q කුමන ක්ෂේත්රයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව තියෙන්නේ?
ඉගෙන ගන්න ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න ඕන. රැකියාවක් කරන්න ඕන. ඊටත් අමතරව මම රඟපාන එක නවත්වන එකක් නැහැ. ආරාධනා ලැබුණොත් භාරගන්නවා.
Q රංගනයේදී අක්කාව අභියෝගයක්ද?
අයියෝ නෑ. මිනිස්සු හිතාගෙන ඉන්නේ අක්කගෙයි, මගෙයි තරගයක් තියෙනවා කියලා. එහෙම නෑ. මම නාට්‍ය බලද්දි අක්කත් බලනවා මගේ නාට්‍යය. බලලා ඉතිං එයා මට වැරදි තැන් කියල දෙනවා. මෙහෙම කරන්න තිබ්බා කියලා. අපි අතර තරග නෑ. අපි හරිම එකමුතුයි. කොහොමත් එයා මට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. එයාගෙ හැකියාවන්වලට මාව සමාන කරන්න බැහැ. මම එහෙම හිතලත් නැහැ. දෙන්නම සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා.
Q විලාසිතා පැත්තට වැඩිපුර අවධානය යොමු කරන්නේ ඔයාද? අක්කාද?
මම ගොඩක් විලාසිතා කරනවා. මම තමයි එක එක විකාර ඇඳගෙන එහෙ මෙහෙ යන්නේ. ඒ වුණාට ගොඩක් මාධ්‍යයට එනවා අඩුයි. අක්කා තමයි එහෙම ලස්සනට ඇඳගෙන යන්නේ. මම ඉතිං කොහෙ හරි යනකොට ලස්සනට ඇඳගෙන යනවා.
Q අක්කාගේ විලාසිතාවලට ඔබ ඊරිසියා කරනවාද?
අක්කාගේ සමහර විලාසිතාවලට මම උපදෙස් දෙනවා. කොහොමත් එයා ගොඩක් අඳින්නේ සාරි එහෙමනේ. මම සාරි ඇඳලම නෑ. එයාට ඕනම ඇඳුමක් ලස්සනයි, එයා කෙට්ටු නිසා. ඊරිසියා කරල වැඩක් නෑ. එයා මොකක් ඇන්දත් ලස්සනයිනේ.
Q පවුලේ අනිත් අයගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
අම්මයි, තාත්තියි අක්කිලා දෙන්නයි මට ගොඩක් උදව් කරනවා. දෙවෙනි අක්කා නම් ක්ෂේත්‍ර‘යෙන් අයින් වෙලා ඉන්නෙ. එයත් නාට්‍ය බලලා, ඒ දේවල්වලට වගේම ඉගෙන ගන්න ඒවටත් උදව් කරනවා. අම්මයි, තාත්තයි තමයි පිටුපස ඉඳගෙන හැමදේම හොයලා බලලා කරන්නේ.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී කියල එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මම කරන උපාධිය හරියට කරන්න ඕන. ඒ පැත්තෙන් ඉදිරියට යන ගමන් හොඳ නිර්මාණවලට දායක වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

