මම ගොඩක් උත්සාහ කරන්නේ ලංකාවේ සංගීතය ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්නයි
ඩිලෝන් ජයසිංහව ලංකාවේ බොහෝදෙනෙකු හඳුනාගනු ලබන්නේ රැප් ගායක ඩිලෝන් 'DeLon' ලෙසයි. ඩිලෝන් 'සිංහාවලෝකනය' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවමින් ලාංකීය සිනමාව තුළද ජනප්‍රියත්වයට පත්විය.
එමෙන්ම යුද්ධය පැවති සමයේදී එයට විරුද්ධව ප්‍රසිද්ධ අන්තර්ජාතික මතයක් ගොඩනැංවූවෙක් වන අතර, යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධයේ සැබෑ තත්ත්වය අත්විඳි පුද්ගලයෙකි. තවද සුනාමි ව්‍යසනයේදී නිවාස අහිමිවූවන්ට නිවාස තනාදීමටද ඔහු මැදිහත්වූවෙක් බව බොහෝදෙනෙක් නොදන්නා කාරණාවකි.
හිප්පහොප් ගායිකාවක වන MIA විසින් ත්රස්තවාදයට පක්ෂපාතී වන අයුරින් 'පේපර් ප්ලේන්ස්' නම් ගීතයක් නිර්මාණය කළ අතර, එයට විරුද්ධව ඩිලෝන් විසින් එම ගීතයටම නිර්මාණයක් සිදුකිරීමෙන් අනතුරුව කොටි හිතවාදීන්ගේ වෛරය ඩිලෝන් වෙත හැරුණි. ඔහු කෙරේ මරණ තර්ජන පවා එල්ලවුණි. එම සිදුවීම නැවත මතක් කරමින් ඔහුගේ නවතම ගීතය වන 'ආදරේ' ගීතය සහ කලාකටයුතු පිළිබඳව මෙලෙස අදහස් බෙදාහදා ගැනීමට 'අද' හා එක්විය.
Q ඇයි හදිස්සියේම ලංකාවට ආවේ?
හදිස්සියේම ලංකාවට ආවෙ නැහැ. මම ලංකාවට ආවේ මගේ ගීතය එළිදක්වන්නයි. එකේ Audio එක මම එහෙදි කළේ. වීඩියෝ එක කළේ ලංකාවට ඇවිල්ලා.
Q මේ ඔබේ පළමු සිංහල ගීතය නේද?
ඇත්තෙන්ම ඔව්. මේක මගේ පළවෙනි සිංහල සිංදුව. ඒ කියන්නේ සිංහලෙන් ගායනා කරන පළමු ගීතය. මීට කලින් මම සිංහල ගීත සඳහා දායක වෙලා තියෙනවා. ඒ රැප් ශෛලියෙන් පමණයි. ඒකෙදි කවුරු හරි කෙනෙක් සිංහල කොටස ගායනා කරනවා. මම ඒකෙ රැප් කොටසට දායක වෙනවා. මගේ යාළුවෙක් තමයි ඒ කොටස සිංහලට පරිවර්තනය කරලා දෙන්නේ. ඉතිං ඒක මම සියපාරකට වඩා ගායනා කරලා පුහුණු වෙනවා.
Q ගීතයක් සිංහලෙන් ගායනා කරන්න හිතුවෙ ඇයි?
ලංකාවේ ගොඩක් අය අහන්නේ සිංහල ගීත. ඒ නිසා ඒ අයට සහ මෙහෙ වෙළෙඳපොළට මම සිංහලෙන් ගීතයක් කරන්න තීරණය කළේ.
Q ඔබ හිතනවද ඔබට ලංකාව තුළ යම්කිසි මාර්කට් එකක් ගොඩනැගිලා තියෙනවා කියලා?
ඔව්, මම හිතනවා ලංකාව තුළ මට කිසියම් වටිනාකමක් හැදිල තියෙනවා කියලා. ඉරාජ්, ශානි සහ මම කරපු 'E hitha' ගීතයෙන් පසුව මට ආදරය කරන රසික පිරිසක් ලංකාව තුළ ගොඩනැගුණා.
නමුත් මට වැඩි වශයෙන් වැඩ තිබුණේ US වල නිසා එහෙ රටට වෙලා තමයි නිර්මාණ කළේ. ඒක නිසා මෙහෙ රසිකයන් වෙනුවෙන් ගීත ගොඩක් නිර්මාණය වුණේ නැහැ. ඒ හින්දා තමයි මම 'ආදරේ' ගීතය එළිදැක්වූයේ. ඒ වගේම තමයි මගේ තවත් ගීතයක් එන්න තියෙනවා. මම නැවත ලංකාවේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා.
Q රංගනයට නැවත එන්නෙ නැද්ද?
මම මුලින්ම රංගනයෙන් දායක වුණේ 'සිංහාවලෝකනය' චිත්‍රපටය සඳහායි. ඊට පස්සෙ මම ඇමෙරිකාවේ චිත්‍රපට දෙකක් සඳහා දායක වුණා. නැවත ලංකාවේ චිත්‍රපටයක් සඳහා දායක වෙන්න තියෙනවා. ඒ 'සිංහාවලෝකනය' අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂකවරයාම විසින් සිදුකරන චිත්‍රපටයක. ඒකේ වැඩ තාම පටන් ගත්තෙ නැහැ.
Q ඇමරිකාවේදී ගීත එළිදැක්වුවාද?
ඔව්, මම එහෙදී ගොඩක් ගීත එළිදක්වලා තියෙනවා. ඒවට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා.
Q ඔබගේ ශෛලියට ලංකාව තුළ ලැබෙන තැන?
ලංකාවේ රැප් කියන සංකල්පයත් එක්ක ගීත කරන එක මුලින් අමාරු දෙයක් වුණා. මොකද ඒක ගොඩක් අය වැලඳ ගත්තේ ඉතාමත් සීමිතවයි. ඉතිං රැප් කියන දේත් එක්ක ගීත කරද්දී ගොඩක් පැති ගැන හිතන්න ඕන.
මොකද ලංකාව සංස්කෘතියත් එක්ක ලොකු හිතවත්කමක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් වලට හානි වෙන්න මම ගීත කරන්නේ නැහැ. හිප්හොප් එක තුළ මම හැමතිස්සෙම පෙන්නුම් කරන්නේ ධනාත්මක පැත්තයි. මගේ හැම රැප් ගීතයක් තුළම තේරුමක් තියෙනවා. ඒ හැමදෙයක් තුළම ලංකාව ගැන කියවෙනවා.
Q හිප්හොප් කියන ශෛලියට ලංකාවේ ඇති කැමැත්ත මොනවගේද?
ඇත්තටම හිප්හොප් කියන දේ සඳහා කැමති එක කොට්ඨාසයක් ඉන්නවා. ඕනෑම තැනක හෝ රටක යම්කිසි සංගීත ශෛලියක් සඳහා කැමති එක් පිරිසක් ඉන්නවානේ. ඒ වගේම තැනක් තමයි ලංකාවෙත් හිප්හොප් කියන දේට ලැබෙන්නේ.
Q ලංකාවේ ඉදිරියේදී සිදුකරන නිර්මාණ ගැන කිව්වොත්?
ඉදිරියේදී ගොඩක් අය එක්ක නිර්මාණ කරන්න ඉන්නේ. ක්‍රිෂාන් (දමිළ රැප් කරන), භාතිය, ඉරාජ් සමග ඉදිරියේදී ගීත නිර්මාණය කරන්න ඉන්නවා. මම ලංකාවට එන කාලය ඇතුළත ගීත කිහිපයක් කරලා යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
Q ත්‍රස්තවාදය පිළිබඳව කරපු ගීතය ඔබට ලොකු බලපෑමක් වුණා නේද?
මගේ ජීවිතයට වගේම මගේ සංගීතය පැත්තටත් ලොකු බලපෑමක් වුණා. මම ඒ සිංදුව කළේ ලංකාවේ යුද්දෙ තියෙන කාලේ. කවුරුත් ඒ කාලෙ එහෙම ගීතයක් කරන්න පෙළෙඹුණේ නැහැ. මම එහෙ ඉඳන් තමයි ඒ ගීතය කළේ. ලන්ඩන් වල හිටියා 'මියා' කියලා එක ගායිකාවක් LTTE එක ගැන කතා කරනකොට, එයට විරුද්ධව ඇමරිකාවෙ ඉඳන් මම ඒ පිළිබඳව ගීතය නිර්මාණය කළා. ඊට පස්සේ මට ගොඩක් මරණ තර්ජන ආවා.
මාව හෙව්වා, මගේ දුරකථන ජාල පවා Block කළා. මගේ ප්‍රසංග නැවැත්තුවා. ඒ රටේ කලාකරුවන් මාත් එක්ක වැඩ කරන්න බැහැ කිව්වා. මට තිබුණු ගොඩක් අවස්ථා නැතිවුණා. මම එතැනදී ගීතය නිර්මාණය කළේ ලංකාව වෙනුවෙන්. හැබැයි මම ලංකාවට එද්දී ආරක්ෂාව ලැබුණා. ඒ වුණත් ඒ සිදුවීම මගේ ජීවිතයට ගොඩක් බලපෑවා.
Q අද ලංකාවේ මියුසික් වීඩියෝ ගොඩක් නිර්මාණය වෙන්නේ අඩනිරුවත මාර්කට් කරගෙනයි. නමුත් ඔබේ නවතම ගීතයේ එවැනි දෙයක් දකින්න නැහැ?
මම කවදාවත් කාවවත් භාවිතා කරලා ගීත නිර්මාණ කරන්නේ නැහැ. මට ඕන මම කරන නිර්මාණය හරියාකරාව සිදුකරන්නයි. මම කැමති මගේ තියෙන දක්ෂතාවය එක්ක ගීතයක් නිර්මාණය කරන්නයි. යම්කිසි ගායකයෙක් මියුසික් වීඩියෝවක් නිර්මාණ කරන්නේ වෙන අයව ජනප්‍රිය කරන්න නෙමෙයිනේ.
මම කැමති නැහැ කාගෙවත් නිරුවතක් විකුණලා ජනප්‍රිය වෙන්න. හැබැයි ඒක මගේ මතය විතරයි. හැමකෙනෙක්ටම ආදරය කරන පිරිසක් වගේම බනින පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මටත් ඇති. මට හැමදාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. නරකත් කියයි. මේ දේ වැරදියි කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒ විදිහ මගේ ක්‍රමය නෙමෙයි.
Q ලංකාවේ සංගීතය වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දේ මොකක්ද?
හිප්හොප් සංගීතය තුළින් දකුණු ඇමෙරිකාවේ මුඩුක්කු සංස්කෘතියක් තමයි හැමෝම පෙන්නන්න උත්සාහ කරන්නේ. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මගේ නිර්මාණ අස්සෙන් අනාගත පරපුරේ බලාපොරොත්තු ඉහළ නංවන්නයි. ඒ වගේම මම ගීතයක් තුළින් දෙන්න හදන්නේ ධනාත්මක අදහස් විතරයි. ඉතිං මම පුළුවන් තරම් දේවල් ලංකාවේ සංගීතයට වගේම මෙරට අය වෙනුවෙන් කරනවා.
මම ගොඩක් උත්සාහ කරන්නේ ලංකාවේ සංගීතය ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්නයි. මගේ ගීත Billboard Music Chart වල Play වෙන්න ගත්තාම ලංකාවෙ එහෙ ඉන්න අය ගොඩක් මට ගරු කළා. නමුත් එරට මිනිස්සු පුදුම වුණා. මොකද මම කළු කෙනෙක්, මෙහෙම Chart එකකට කොහොමද මගේ ගීතයක් Play වෙන්නේ කියලා. එවැනි වාතාවරණයක් සඳහා මට මුහුණ දෙන්න වුණා. මම ලංකාවට ගොඩක් ආදරේ කරනවා. මගේ ලංකාවේ රසිකයන්ටත් ඒ වගේමයි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

