මම කැමති නෑ මම රසවිඳින්නෙ නැති ගීතයක් ගායනා කරන්න
මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු ලෙස බොහෝ දෙනාගේ ආදරයට පත් ශිවන්ත ප්‍රනාන්දුගේ නවතම ගීතය වන 'පුංචි කතාවක්' ගීතය පසුගියදා එළිදැක්විණි.
මෙම ගීතය ෆ්ලෙමෙන්කෝ සංගීත රටාවට නිර්මාණය වීමත්, ඉතාලි ජාතික ෆ්ලෙමෙන්කෝ නර්තන ශිල්පිනියක් මෙහි රූප රචනයට දායක වීමත් සුවිශේෂී කරුණකි. ලංකාවේ වත්මන් ගීත රාමුවෙන් ඔබ්බට නිර්මාණය වූ මෙම ගීතය පිළිබඳ කතාබහ කිරීමට ශිවන්ත මෙලෙස එකතු විය.
Q පුංචි කතාවක් ගැන මුලින්ම කතා කරමු?
මෙහි පද රචනාව කළේ මිහිර බණ්ඩාර. තනු නිර්මාණය කළේ සුරේන් දිසානායක. සඳරු ගමගේ තමයි මෙහි රෙකෝඩින් වැඩකටයුතු කළේ. වාදනයෙන් සහය වුණේ දෙන්නයි. තාල තරංග වාදනය ජයන්ත කඳබඩගේ සහ ගිටාර් වාදනය මහින්ද පැස්කුවල් සිදුකළා. මියුසික් වීඩියෝව 'කැට්ස් ප්රඩක්ෂන්ස්‘' සහ 'ඇඩ් ලැක් වීඩියෝ ප්‍රඩක්ෂන්' ආයතන විසින් සිදුකරනු ලැබුවා.
නර්තනයෙන් ඉතාලි නර්තන ශිල්පිනියක වන වියෝලා කවානා එකතු වෙනවා. මොකද ලංකාවේ ‘ෆ්ලෙමෙන්කෝ නර්තන ශිල්පීන් සොයා ගැනීමට තිබෙන හැකියාව අඩුයි. ඒ නිසා අපට වියෝලා කවානව හමු වුණා. ඇය වෘත්තීමය ෆ්ලෙමෙන්කෝ නර්තන ශිල්පිනියක්. ගීතය ෆ්ලෙමෙන්කෝ කියන මියුසික් ස්ටයිල් එකට යන නිසා වියෝලාගේ ඒ සහය වීඩියෝ එකට කැපී පෙනෙන වෙනසක් වුණා.
Q ඔබ ගීත ගායනා කළේ තෝරා බේරාගෙන. මෙවැනි ගීතයක් ගායනා කරන්න හේතුව මොකක්ද?
ඇත්තටම මේකට කැමැත්ත දක්වන්න හේතුව වුණේ, මෙම ගීතයේ පද රචනාව ගත්තොත් මධ්‍යස්ථව තියෙනවා. මේක මහ ළතෝනි තියන විරහ ගීතයකුත් නෙවෙයි. බොහොම සුන්දර හෝ බොළඳ ප්‍රේම කතාවකුත් නෙවෙයි.
කෙනෙක්ට කියාගන්න බැරිවෙච්ච, පස්සෙ කාලෙක කිව්ව නම් හොඳයි කියලා හිතෙන ආදර කතාවක්. වෙනස් මාතෘකාවක් නිසා තමයි මම ඇත්තටම ගීතයට කැමති වුණේ. සුරේන් දිසානායක නිර්මාණය කළ තනුවත් ලස්සන තනු නිර්මාණයක්. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරා ගත්තෙ.
Q ගීතයක් තෝරා ගැනීමේදී ගායකයාට යම්කිසි තෘප්තියක් ලැබිය යුතුයි, ඒ ගැන ඔබේ මතය?
මම කලින් කිව්වා වගේ වෙළෙඳ පොළ හෝ රිගින්ටෝන් බලාගෙන ගීත ගායනා කළොත් මට තෘප්තිමත් වෙන්න බෑ. දැන් රිගින්ටෝන්වල යන ගීත හා චාර්ට්වල යන ළතෝනි ගීත මම රසවිඳින්නෙ නෑ. මම කැමති නෑ මම රසවිඳින්නෙ නැති ගීතයක් ගායනා කරන්න. ඉස්සෙල්ලාම මම රසවිඳලා ඉන්න ඕන.
ඊට පස්සෙ තමයි මගේ රසිකයන්ට ඒක මම දෙන්නෙ. ඉතිං ඒ නිසා මගේ රසවින්දනයට බැහැරව මම ගීතයක් ගායනා කරන්නෙ නැහැ. මේක මගේ රසවින්දනය ඇතුළෙ තියෙන ගීතයක්. මම රසවිඳපු නිසා තමයි මේක නිෂ්පාදනයක් ලෙස එළියට ආවේ.
Q ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේ වන තෙක් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි. මගේ ‘අම්රිතා‘ ගීතයට පසුව වැඩිම ප්‍රතිචාර ලැබුණු ගීතය තමයි මේක. දැනට මගේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඉතාමත්ම සුබවාදියි.
Q ගීතයක් කරලා සමාජ මාධ්‍යයට දාපුවාම ඉන් ලැබෙන වීව්ස් ප්‍රමාණය තමයි ගොඩක් අය ජනප්‍රියත්වය කියලා හිතාගෙන ඉන්නෙ. මේ ගැන ඔබේ අදහස?
යූටියුබ් එකේ වීව්ස් වැඩිකරලා පෙන්වන්න පුළුවන් පොඩි පොඩි ක්‍රම තියෙනවා. එතකොට එකපාර දවස් දෙක තුනකින් අපට පෙන්වනවා වීව්ස් ලක්ෂ දෙකයි කියලා. එහෙම ඒවත් තියෙනවා. අපට එහෙම අවශ්‍ය නැහැ. හැමතැනම ඒ වගේ දේවල් තියෙනවා කරනවා නම්. ඇත්තටම නිර්මාණයක් සමාජගත වීම අත්‍යවශ්‍යයි.
එහෙමයි කියලා කෙටි පාරවල් වලින්, නීතිවිරෝධී මාර්ගවලින් ගිහිල්ලා ඒක කරගන්න අවශ්‍යතාවක් මිහිරට, මට හෝ සුරේන්ට නෑ. වීව්ස් කියන එක අවශ්‍යයි. නමුත් වීව්ස් පස්සෙ හඹාගෙන යන්න අවශ්‍යතාවක් නැහැ. අපට ගීතය හොඳයි කියන ආත්ම විශ්වාසය තියෙනවා. බුද්ධිමත් අය අතරේ ගීතය ජනප්‍රිය වේවි කියන විශ්වාසයත් තිබෙනවා.
Q අද කාලේ රැල්ලෙන් පිට දෙයක් කරද්දි පිළිගැනීම ටිකක් අඩුයි. මෙවැනි නිර්මාණයක් කරද්දි ඒ ගතියෙන් මිදෙන්න අවස්ථාවක් තිබෙනවාද?
අපි මේ ගීතය අරගෙන ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත ගියාමත් ඒ අය කියන්නේ හරි ලස්සනයි, විඳින්න පුළුවන් සිංදුවක්. හැබැයි මේක රැල්ලේ සිංදුවක් නොවන නිසා මේක ගොඩක් ප්‍රචාරය වෙන්නෙ නැතිවෙයි කියලයි. එහෙමයි කියලා රැල්ලේ ගීතයක් රහ නැත්නම් ගයන්න බෑනේ.
අන්න ඒ කතන්දරේ නිසා ඒ දේවල් කරන්න බෑ. මෙවැනි ගීත අඩුයි තමයි. නමුත් රසඥතාව වෙනස් වෙන්න ඕනනේ. ඒකට මේ ගීතයත් ඉවහල් වෙයි කියලා මම විශ්වාස කරනවා. මෙහි සංගීතමය පැත්ත, වාදනමය පැත්ත, ගායන පැත්ත වගේ දේවල් ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා කියල හිතනවා. මම හිතනවා රසිකයන්ව යම් මට්ටමකට ගේන්න මගේ පැත්තෙන් මම දායකත්වය දුන්නා කියලා.
Q රැල්ලට නොයාම හරහා ඔබේ නිර්මාණ ප්‍රමාණයේ අඩුවක් තියෙනවා නේද?
ඇත්තටම මම කොහොමත් ඉදිරියේදී නිර්මාණ බිහි කරන්නේ රැල්ලට හෝ රිගින්ටෝන්වලින් ලැබෙන මුදල බලාගෙන නෙවෙයි. ගුණාත්මක සංගීත නිර්මාණයක් තමයි දෙන්න හදන්නේ. පද රචනයේ වචනවල බරක් තියෙන්න ඕන. තනුවේ හොඳ සංගීතමය ස්වභාවයක් තියෙන්න ඕන.
මේ දේවල්වල යම්කිසි විශේෂත්වයක් තියෙන්න ඕන. ගායනයේ සුවිශේෂීබවක් තියෙන්න ඕන. රන්වන් පාටයි සමනලයා වගේ එකක් වුණත් අපට ගායනා කරන්න පුළුවන්. ගායකයෙක්ගෙ ගායනාවක් ඊට වැඩිය වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. ඒ සියලු දේ බලලා තමයි මම ඉදිරියටත් නිර්මාණ කරන්නේ.
Q අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
මම හැමදාම කියනවා වගේ පුළුවන් තරම් තමන්ගේ රසඥතාව වැඩිකර ගන්න. ඒකට අපට රූපවාහිනී නාළිකාවක ප්‍රචාරය වෙනකල් බලාගෙන ඉන්න ඕන නෑ. ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය තියෙනවා. හොඳ සංගීත නිර්මාණ හොයල රසවිඳින්න. තමන්ගේ සංගීත රසඥතාව වැඩිවෙලා ඒ රසඥතාවට අනුකූල ගීත නාළිකා වලින් හරි ඉල්ලන්න ගන්නකොට තමයි රටේම සංගීත රසය වැඩි වෙන්නේ.
හැම තිස්සේම ගොඩක් සිල්ලර පද රචනා, සිල්ලර තනු සහ බොළඳ ගීත නිර්මාණය කරන්නෙ නැතිව, තමන්ගේ රසඥතාව ටිකක් වැඩිකර ගන්න පුළුවන් නම් හොඳයි. අතීතයේ එහෙම රසඥතාවක් තිබුණු රසිකයෝ හිටිය නිසා තමයි අමරදේව සූරීන්ගේ, සුනිල් එදිරිසිංහයන්ගේ, වික්ටර් රත්නායකයන්ගේ ගීත මෙතරම් ජනප්‍රිය වුණේ.
අද එවැනි ගීත එක්ක බලද්දි අපට දුකක් හිතෙන්න ඕන. ඒ නිසා පුළුවන්තරම් තමන්ගේ රසඥතාව ඉහළ මට්ටමකට දාගන්න උත්සාහ කරන්න. ඒ වගේම මගේ ගීතවලට ආදරය කරනවා නම් මගේ Youtube චැනලය Subscribe කරන්න. මගේ අලුත් නිර්මාණයන් ඒ ඔස්සේ රසිකයන්ට රසවිඳින්න පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

