මට මගේ නොවුණු මගේම ආදරයක් තිබුණා
ආදරය හා විරහව එකම කාසියක දෙපැත්තක් මෙනි. එය දුප්පත් පොහොසත් භේදයකින් තොරව ආදරය අත්දකිනවුන් මුහුණපානා තත්ත්වයකි. ලොවම වසඟයට ගත් ජනප්‍රිය මෙන්ම සම්මානලාභී ගායිකාවක මෙන්ම නිළියකද වන ජෙනිෆර් ලෝෆෙස් මෙම තත්ත්වයට එක්වරක් දෙවරක් නොව කිහිප වරක් මුහුණ දුන් අයෙකි. ලොවක් හමුවේ ඇගේ හඬ රසිකයින් හද නළවාලුවත් ඇගේ හද හඬාවැටුණු ආකාරය පිළිබඳ තතු හෙළිකරන ඇගේ පළමු ප්රකාශනය True Love නමින් පසුගියදා එළිදැක්වුවා. Celebra ප්රකාශනයක් ලෙස එළිදැක්වූ මෙම විරහාවර්ජන කෘතියේ ආරම්භය ජෙනිෆර් ලෝෆෙස් - බෙන් ඇෆ්ලෙක් පෙම් පුවත අහවර වූ පසු ඇය ගත කළ දුක්බර ජීවිතය ඇගේ වදනින්ම සටහන් කරමින් මෙලෙස දක්වා තිබුණා.
‘ ඔහු මගේ හදවත මගේ පපු කුහරයෙන් ගලවා උදුරා දැමුවා. මගේ හදවත තලා පෙලා පොඩිකර දැමුවේ මගේ හීන ,මගේ ආත්මය උදුරා දමමින්‘
True Love කෘතියේ සඳහන් ඇගේ පෙම් පුරාවත තුළින් මෙතෙක් හෙළිදරව් නොවූ ඇගේ සිතුම් පැතුම් හා ඈ පෙම්වතියක ලෙස අත්විඳි විරහව පිළිබඳ තතු ලොවට විවර වූවා. මේ ඒ පිළිබඳව අන්තර්ජාතික පුවත් අනාවරණය කළ තතුය.
2002 වසරේ ඇති කරගත් ජෙනිෆර් - බෙන් ආදර අන්දරය නිසාම ඔවුන්ව හැඳින්වූ බෙනිෆර් යන නාමය පසුකාලීනව ජෙනිෆර් වෛර කළ මෙලොව ඇති අප්‍රසන්නම වචනය බවට පත්විය. ඒ 2004 වර්ෂයේ ලොවක් ඉදිරියේ කැරට් 6.1 ක අගයකින් වූ දුර්ලභ රෝස පැහැ දියමන්තියක් ඇල්ලූ මුදුවක් පලන්දා විවාහ ගිවිසගත් තම සිහින කුමරා එම වසරේදීම ඇය හැර දැමූ නිසයි. (පසුව 2005 වර්ෂයේ බෙන් ඇෆ්ලෙක් Turks and Caicos දුපතේදී ජෙනිෆර් ගානර්ව කරකාර බැන්දේ ජෙනිෆර් ගානර් සිව්මස් ගැබිනියකව සිටියදීය)දුක, කඳුළු, ඉච්ඡාභංගත්වය පමණක් ඉතිරි කළ ඇගේ පරමාදරය ඇයට හිමිකළේ සුරංගනා රජදහනක ගත කරන ආදරණීය පවුල් ජීවිතයක් ගැන ඇය මැවූ මිහිරි සිහිනවල බිඳී ගිය වේදනා බර කටුකත්වයක් පමණක් බව True Love හි සදහන් වෙයි.
බෙන් ඇයව විවාහ ගිවිස ගත් පසු ඇය ලොවට පැවසුවේ " ඔහු කඩවසම් ආදරණීය,මනබන්ධන, ආකර්ෂණීය පුද්ගලයෙක්. මම ඔහුව හැමලෙසම උතුම්කොට සලකනවා. මම ඔහුට ගරු කරනවා. මට හැඟෙන්නේ ඔහු මට ජීවිතය උගන්වනවා" යනුවෙනුයි.
කොහොම නමුදු ඇය මෙතරම් ආදරය කළ පෙම්වතා ඇය හැර ගියා.
ඇයගේ බිඳුණු පෙම ගැන පුවත්පත්වල පොල් ගෙඩි අකුරෙන් සටහන් වූයේ "හැමදෙයම ලද ප්‍රේමය නොලද ගැහැනිය" යනුවෙනුයි. ජෙනිෆර් මෙම පුවත්පත් වාර්තා පිළිබඳ බියෙන් පසුවූ බවද මෙහි සඳහන් වන තවත් කරුණක්. ජීවිතය නැත්තටම නැතිවූ ගැහැනියක මෙන් ඇය දින තුනක් පුටුවකට වී හැඬුවාය. දුකට සැපට නිති සරණය වන මිතුරන් අතරින් මාර්ක් ඇන්තනි ඇයට වඩාත් ළං වූයේ ඉනික්බිතිවය. ඇය මාක් ඇන්තනීගේ සෙනෙහෙබර වදනින් යළි උපන්නාය. ඒ ස්පාඤ්ඤ බසින් No Me Ames , (ඉංග්‍රීසි ගීය‘ Don’t Love Me’) යුග ගීය ගයමිනුයි.
"මාක් උණුසුම් හදවතක් ඇති විහිළුකාර, දක්ෂ ගායකයෙක් වගේම මාව සුවිශේෂී තැනකට ගෙනා පුද්ගලයෙක්" ඇය සඳහන් කරයි.
"ඔහුව ඉතා හොදින් විශ්වාස කළ හැකියි. ඒ වගේම මට හැමදේම නැතිවුණු වෙලාවේ, මා තනිවූ වෙලාවෙ ඔහු මා සමගයි සිටියේ"
මෙලෙස ඇය මාක් ඇන්තනි පිළිබඳ සඳහන් කර තිබුණේ බෙන්ගෙන් වෙන් වීමට දෛවය ඉඩහැරියේ මාක්ව ඇයට උරුම වීමට තිබුණු නිසා බව සිතමින් බව True Love තතු හෙළිකරයි.
දුකේදී පිහිටට පැමිණි එකම දේවදූතයා බඳු වූ මාක් ඇන්තනි තුළින් බෙන් හා දුටු සිහින ඉටු කරගන්නට ජෙනිෆර් නොදැනුවත්ව හෝ පෙළඹුණා. බෙන් නිසා ඉරිතලා ගිය හදවත සුවපත් කළ මාක් ඇන්තනී සමග ඇය විවාහ වන්නේද 2004 වර්ෂයේදීමයි. 2004 ජූනි මස මාක් සමග විවාහ වන ජෙනිෆර් මෙම ආදරය දිවි හිමියෙන් රැකගන්නට තමාටම පොරොන්දු ලබාදුන් බවද ජෙනිෆර් True Love හි සටහන් තබනවා.
විවාහ ද්විත්වයක් දික්කසාදයෙන් කෙළවර කරගෙන මෙන්ම බිදුණු පෙමක් හමුවේ තැවුණු ජෙනිෆර් ඇගේ දිවියේ අවසන් පෙම මාක් ලෙස දකිමින් ඔහුගේ ආදරය ජීවිතය තිබෙන තුරා ඇගේම කරගන්නට සිහින දුටුවා. සෑම සුරංගනා කතාවක්ම අවසානයේ එන ‘ඉන්පසු ඔවුන් සතුටින් ජීවත්වුණා‘ යන පදය සැබෑවක් කරන්නට තමා ගත් උත්සාහය පිළිබඳ ඇය මෙලෙස සදහන් කරනවා.
"මාක් එක්ක ගතකරන ජීවිතය සර්ව සම්පූර්ණ නැතිවුණත් අපේ විවාහය සාමකාමීව අරගෙන යන්න මම උත්සාහ ගත්තා. විවාහය ආරම්භයේ පටන් කලබලකාරී බවක්, සරාගී බවක්, පිපිරීම් සහිත බවක් තිබුණා. ඒ වුණාට මා සිහින මැවූ පවුල් ජීවිතය වෙනුවෙන් %පවුල තමයි වඩාත් වැදගත්^ කියන එක මගේ හිතේ ජප කරන මන්තරය බවට පත් කරගත්තා"
නමුත් මෙම මන්තරයේ බල බිෙඳන්න ගතවුණේ සත් වසරයි. 2011 වර්ෂයේ ඇගේ බිඳුණු හදවත එක් කළ මාක් ඇන්තනීම ඇගේ හදවත යළි සුණුවිසුණු කර දමනු ලැබුවා. ඒ ඇය සමග ගෙවන දිවිය තමන් අසතුටෙන් ගතකරන බවට මාක් ඇයට පැවසීමත් සමගයි. 'හැමදෙයම ලත් ප්‍රේමය නොලත් ගැහැනිය' ඇයම බවට තහවුරු කරමින් නිවුන් දරු දෙදෙනෙකුද සමග ප්‍රේමය නොමැති පාළු කාන්තාරයක් බඳු ජීවිතයක යළි ඈ හිරකරනු ලැබූ බව ජෙනිෆර් සඳහන් කරයි.
ඇතුළාන්තයෙන් මියැදෙමින් සිටියදීම ඇය නැවත වේදිකාව මත නටමින් ගීත ඉදිරිපත් කළා. ඇය තනිකම විරහව සමගම නැවත Jenny from the Block ගීතයත් සමග සංගීත ලොව පෙරළිකාර චරිතයක් බවට පත්වූවා. හිත දැඩිකොට ගත්තත්, තමන් මානසිකව වැටී සිටි අගාධයෙන් එළියට එන්නට මානසික ප්‍රතිකාර ලබාගැනීමට පවා තීරණය කළ බව ජෙනිෆර් තම ප්‍රේම වෘතාන්තයේ සටහන් තබනවා.
මෙම ප්‍රතිකාර හමුවේ තමන් තමන් ගැන අවතක්සේරුවෙන් ජීවත්වන තැනැත්තියක බව හැඟී ගිය බව ඇය පවසනවා.අවසානයේදි ඇය ඇයටම ආදරය කරන්නට ඉගෙන ගත්තා. ඇය වෙන කවරදාටත් වඩා හොඳින් ජීවිතයට මුහුණ දෙන්නට පටන් ගත්තා. නව ආරෙකට වේදිකාව මතට ප්‍රවිෂ්ට වූවා.
"මට දැන් මොනවා වුණත් කමක් නැහැ. මට යාළුවෝ හිටිය. මට පවුලක් තිබුණා. මට දරුවො ඉන්නවා. මම තවම ජීවිතේ විචිත්‍රවත්ව දැකල ඉවර නැහැ. මට යන්න ගොඩක් දුර තියෙනවා" ඇය True Love අවසන් කරන්නේ එලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

