මට තිබුණු පිස්සුව තාමත් දරුණුවටම තියෙනවා
අප්සරා මැණික් කියන්නේ මේ දවස් වල පුංචි තිරයේ නිතර දකින්න ලැබෙන දඟකාර යුවතියක්. ඒ සිරස ටීවී ඔස්සේ විකාශනය වන 'අඟර ඉඟර' වැඩසටහන මගිනි. එම වැඩසටහන තුළද දඟකාර චරිතයක් ලෙස දකින ඇය සාමාන්‍ය ජීවිතයේද දඟකාර යුවතියකි. මේ කතාබහ ඇයගේ කලා කටයුතු පිළිබඳවයි.
Q මේ දවස්වල හරි කාර්යබහුලයි නේද?
මේ දවස්වලනම් ටිකක් කාර්යබහුලයි.
Q මොනවද මෙච්චරටම තියෙන වැඩකටයුතු?
මගේ 'අඟර ඉඟර' ප්‍රෝගෑම් එක තියෙනවා. එයත් සතියට දවස් හතරක් තියෙනවා. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද ළඟම එනවා. ඒ සඳහා සූදානම් වෙනවා. ඒ වැඩකටයුතු එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නේ.
Q 'අඟර ඉඟර' හිදී වගේම දඩබ්බර ජීවිතයක්ද ඔබ සාමාන්‍ය ජීවිතයේදී ගතකරන්නේ?
ඔව්, ටිකක් මම දඟයි. මම ටිකක් වැඩිපුර කියවනවා.
Q මේ ඔබ කරන්න පටන්ගත් පළමුවැනි ප්‍රෝගෑම් එකද?
නෑ. මීට පෙර මම ප්‍රෝගෑම් ගොඩක් කරල තියෙනවා. 'සිරස ආලින්දය' කියන උදෑසන වැඩසටහන කළා. 'හිත අද්දර', 'මගේ සිංදු පැය' වගේ වැඩසටහන් කළා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමයි 'අඟර ඉඟර'.
Q මේ අතරින් ඔබ තෘප්තිමත් කුමන වැඩසටහන පිළිබඳවද?
මම හිතන විදියට තෘප්තිමත් වන්න පුළුවන් වැඩසටහන් තමයි ඔක්කොම කරලා තියෙන්නේ. විශේෂයෙන් මම එන්ටර්ටේනින් දේවල් වලට කැමතියි. අඟර ඉඟර, සිංදු පැය ඒ වගේ දේවල් වලට තමයි කැමති.
Q ඔබේ හීනය තිබුණෙ නිවේදිකාවක් වෙන්නද?
පොඩි කාලෙ ඉඳන්ම මට තිබුණ හීනය තමයි නිවේදිකාවක් වීම. ඒක තමයි මට තිබුණ පිස්සුව. මම ඉස්සර කන්නාඩිය ඉස්සරහට ගිහින් තනියම කියවනවා. තනියම කතා කරනවා. උසස් පෙළින් පස්සෙ කැම්පස් ගිහින්, එහි පළමු වසරේදී මේ ජොබ් එක ලැබුණම මම කැම්පස් එකට සමුදීල තමයි ජොබ් එකට එන්නේ.
Q තිබ්බ පිස්සුව තාමත් තියෙනවද? මෙතැනින් එහාට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද?
තාමත් ඒක දරුණුවට තියෙනවා. ඒක සනීප වුණ දවසට මම වැඩසටහන් ඉදිරිපත් කරන එක නවත්වයි.
Q නිවේදිකාවක් ලෙසම කටයුතු කරන්නද බලාපොරොත්තුව තියෙන්නෙ?
මට තිබුණ සිහිනයට මම දැන් ඇවිත් ඉන්නෙ. හැබැයි ජීවිතයේ හැමදාම නිවේදිකාවක් ලෙස ඉන්න බැරිවෙයි. අලුතින් පැමිණෙන අයටත් අපි අවස්ථාව දෙන්න ඕන. ඉතින් කවදා හෝ දවසක මම නිවේදනය නවත්වයි.
Q අප්සරා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්. මේ පිළිබඳව පවුලේ අය මොකද කියන්නේ?
අපේ ගෙදර අයට ගොඩක් සතුටුයි. මම ඇවිත් තියෙන දුර ගැන ඒ ගොල්ලන්ට ගොඩක් සතුටුයි. මගේ අම්මට, අයියලට මුණගැහෙන අය ලබාදෙන ප්‍රතිචාර වලින් එයාලට දැනෙන අභිමානය වචනවලින් කියලා නිමකරන්න බෑ. මේ ගැන මගේ අම්මා සහ අයියලා දෙන්නා තරම් වෙන කවුරුවත් සතුටුවෙන්නෙ නැහැ.
Q ඒ ගැන ඔබ ඉන්නේ ආඩම්බරයකින්ද?
ඔව්. මට මං ගැන පුදුම සතුටක් දැනෙන්නේ. මට මම ගැන අභිමානයක් තියෙනවා. ජීවිතේ මිනිස්සුන්ට හීන තියෙනවා නම් ඒවාට යන්න පුළුවන්. ඒවට මහන්සි වෙන්න ඕන. නිවේදිකාවක් වෙන්න ගොඩක් දෙනෙක්ට හීන තියෙන්න පුළුවන්. හැබැයි ඒක නිකං ඉඳලා කරන්න බෑ. කෙටි ක්‍රමවලින් ලේසියෙන් ලබාගන්න දේට වටිනාකමක් නෑ. කට්ට කාලා අමාරුවෙන් ලබාගන්න දේට මාර වටිනාකමක් තියෙන්නේ. එය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. මම හිතනවා ජීවිතයේ මොනවා හරි ලබාගන්න හීනයක් තියෙනවා නම් කෙටි ක්‍රම නෙවෙයි, එය ලබාගන්න පුළුවන් හොඳම හා අමාරුම ක්‍රමයට තමයි ලබාගන්න ඕන.
Q ඉලක්කයක් කරා යද්දි කැපකිරීම් කරන්න වෙනවා. මේ පිළිබඳව දුකක් නැද්ද?
ඒක එක එක කෙනාට දැනෙන ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා ඇති. මේක මගේ ජීවිතයේ පිස්සුවනේ. ඒ වෙනුවෙන් ජීවතයේ අනිත් දේවල් කැපකරන එක ගැන මම ගොඩක් දුක්වෙලා නැහැ.
Q නවකයන්ට ලබාදෙන්න තියෙන පණිවුඩය මොකක්ද?
මම වෘත්තීය නිවේදිකාවක්. මෑත කාලයේදී අපි දැක්ක දෙයක් තමයි අපිට පසු පරම්පරාවට වෘත්තීය ලෙස මෙය කිරීමේ උවමනාවක් නැහැ. කවදා හරි දවසක ස්ටේජ් එකකට නැගලා හොඳම නිවේදිකාව ලෙස සම්මානයක් ගන්න මම ආසයි. හැබෑයි ඊළඟ පරම්පරාවට එහෙම එකක් නැහැ.
Q ඔබේ වෘත්තියේ තියෙන වගකීම් සහගත බව ගැන කතා කළොත්?
මම වැඩිපුරම මගේ ජීවිතයේ කරලා තියෙන්නේ සජීවී වැඩසටහන්. ඒ තුළ තමයි ලොකුම අවදානම තියෙන්නේ. එහි කියන වචන පිළිබඳව පුදුමාකාර ලෙස සැලකිලිමත් වෙන්න ඕන. තමන් කියන වචන පිළිබඳව 100% සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැතිවුණොත් අපිට වගේම චැනල් එකටත් වෙන්නේ අපකීර්තියක්.
Q අලුත් අය ක්ෂේත්රයට එන්නේ හැදෑරීමක් නැතිව. ඒකෙන් ක්ෂේත්රයට වන බලපෑම ගැන ඔබ දකින්නේ කොහොමද?
මට අද වෙනකොට රූපවාහිනියේ දැන්වීම් සඳහා ආරාධනා ලැබෙනවා. හැබැයි මම ඒ සඳහා දායකත්ව ලබානොදී මගේ ක්ෂේත්රය තුළම රැඳී ඉන්නෙ මට එහි වෘත්තීය මට්ටමින් රැඳී ඉන්න ඕන නිසා. ඒ දේවල් බාරගත්තොත් මේ ක්ෂේත්රය මගහැරෙයි කියන දේ මට හැඟෙනවා. අපිට ඉදිරියට යන්න නම් සන්නිවේදකයො සන්නිවේදිකාවො අවශ්‍යයයි.
කිසිම දෙයක් ඉගෙන ගන්නෙ නැතිව කරන්න බැහැ. අඟර ඉඟර වැඩසටහන ගත්තොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක හැමෝටම කරන්න පුළුවන් කියලා. හිනාවෙනවා, උඩපනිනවා, නිකං මිනිස්සුන්ව හිනස්සනවා විතරයි කියලා. එහෙම නෑ. නිවේදිකාවන් වුණාම ලොකු දැනුමක් වගේම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන්න ඕන. මම කැමතියි ඊළඟට එන පරම්පරාව එහෙම දැනුවත් වෙලා ක්ෂේත්රයට එනවානම්.
Q ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
වෘත්තීය නිවේදිකාවක් ලෙස ඇවිත් තියෙන දුරත් එක්ක, කවදා හෝ දවසක මම නිවේදනයෙන් අයින් වෙනකොට මිනිස්සුන්ට මතක හිටින නිවේදිකාවක්, 'සිරසෙ හිටිය අප්සරා නේද' කියන දේ අහන්න මම කැමතියි. ඒ වගේම සම්මානයක් ගන්නත් මගේ ආසාවක් තිබෙනවා. පෞද්ගලික ජීවිතය ගත්තාම නම් විවාහ වෙන්නත් වයස හරි කියලා ගෙදරින් හැම වෙලාවෙම බලකරනවා. ඒ ගැනත් හිතන්න ඕන.
ඡායාරූප - කවීත් මිලින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

