මට අවශ්‍ය වුණේ ප්‍රහසන චිත්‍රපටයක් නොකර වෙනත් චිත්‍රපටයක් කිරීමටයි
මේ දිනවල තිරගත වන '5 සමත්' චිත්‍රපටය මේ වන විට කාගේත් කතාබහට ලක්ව ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා විසිනි. ඔහුගේ මෙම නවතම චිත්‍රපටය සහ වර්තමාන චිත්‍රපට කර්මාන්තයට අත්ව ඇති ඉරණම පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහුව 'අද' ට සම්බන්ධ කර ගතිමු.
Q '5 සමත්' චිත්‍රපටයට මේ වන විට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ප්‍රදර්ශන කටයුතු ආරම්භ කර කෙටි දවසක් වුවත්, මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. පාසල් නිවාඩුවත් සමගම ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q 5 සමත් කියන තේමාව මේ චිත්‍රපටයට යොදාගන්න හේතුව කුමක්ද?
මේ කතාව 5 වසර ශිෂ්‍යත්වයට පෙනී ඉන්න ළමයෙක් කේන්ද්‍ර කරගත් කතාවක්. ඒ නිසයි 5 ගත්තේ. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතෙ නම 'සමත්'. ඒ නිසා '5 සමත්' කියන නම යොදා ගත්තා.
Q 'කාල' චිත්‍රපටය ගලවා ඉවත්කර '5 සමත්' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව චෝදනාවක් තිබෙනවා නේද?
'කාල' චිත්‍රපටය ගලවන්න එපා කියා ඔවුන් නඩුවක් දැම්මා. නමුත් අවසානයේ පසුගිය 08 වනදා අධිකරණය තීන්දු කළා 'කාල' චිත්‍රපටය ගලවනවා කියා. ඒ චිත්‍රපටයට ලබාදුන් කාලය මදි යැයි ඔවුන් කියා සිටියා. ඒ අයට පසුගිය 07 වැනි දක්වා කාලය ලබාදුන්නා. නමුත් අධිකරණය විසින් ඒ කාලය දැන් අවලංගු කර තිබෙනවා.
Q පසුගිය සමය ගත්තාම වැඩිම ආදායමක් ලබා ඇත්තේ ළමා චිත්‍රපටවලින්. එය හේතුවක් වූවාද ඔබ ළමා චිත්‍රපටයක් නිර්මාණය කරන්න?
ඇත්ත වශයෙන්ම නැහැ. ප්‍රේක්ෂකයෝ සහභාගී කරවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මම දැඩි සේ විශ්වාස කරනවා. මොකද ප්‍රේක්ෂක සහභාගීත්වය නැතිනම් චිත්‍රපට කරලා තේරුමක් නැහැ. හිස් හෝල්වල චිත්‍රපට පෙන්නලා වැඩක් නැහැ. චිත්‍රපට ශාලාවලට සෙනඟ ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් මටත් තිබෙනවා. නමුත් ළමා චිත්‍රපටයක් කරලා එය කරන්න ඕන කියන අදහසෙහි මම නැහැ. මොකද මම මීට පෙර කළ චිත්‍රපට දෙකම ප්‍රහසනාත්මක චිත්‍රපට දෙකක්. ඒ චිත්‍රපට දෙකත් ඉහළ ප්‍රතිචාර ලැබුවා. මට අවශ්‍ය වුණේ ප්‍රහසන චිත්‍රපටයක් නොකර වෙනත් චිත්‍රපටයක් කිරීමටයි. වෙනත් චිත්‍රපටයක් කියද්දි මට අවශ්‍ය වුණේ ළමා චිත්‍රපටයක් කරන්න. එහිදී ඇත්තටම අවශ්‍ය වුණේ ළමයින් කේන්ද්‍ර කරගත් කතාවක් කරන්නයි.
Q අද වෙද්දී බහුතර ලාංෙක්ය ප්‍රේක්ෂක පිරිසක් කොටු වෙලා ඉන්නේ ළමා චිත්‍රපටයක් එසේත් නැතිනම් ඉතිහාස කතාවක් ඇතුළත් චිත්‍රපටයක් නරඹන්න. ඒ සම්බන්ධ ඔබට ඇත්තේ මොන වගේ අදහසක්ද?
මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ බහුතරයක් යන්නේ පවුල් පිටින් නැරඹිය හැකි චිත්‍රපටයක් බලන්න. එහිදී පවුලේ සැමට නරඹන්න පුළුවන් සිනමා කෘතියක් කියන්නේ ළමා චිත්‍රපටයක් හරි, ඉතිහාස කතාවක් හරි, රජ කතාවක් හරි තමයි. නමුත් පසුගිය සමයේ %ධර්ම යුද්ධය^ කියන චිත්‍රපටය ඉතා ඉහළ ප්‍රේක්ෂක පිරිසක් නැරඹුවා. මොකද %ධර්ම යුද්ධය^ කියන්නේ මේ කියන ගුණාංග දෙකටම අයත් නොවන චිත්‍රපටයක්.
Q '5 සමත්' චිත්‍රපටය නිර්මාණය කර තිරගත වෙන්න කොපමණ කාලයක් ගත වූවාද?
ඇත්තටම නිර්මාණය කරලා ලොකු කාලයක් නම් ගියේ නැහැ.
Q නවක අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණයක් සිදුකළොත් එය තිරගත කර ගැනීමට වසර ගණනක් ලිස්ට් එකේ ඉන්න වෙනවා. නමුත් ප්‍රවීණයෙක් නිර්මාණයක් කළොත් එය එසැණින් තිරගත කරනවා. මේ වගේ තත්ත්වයක් වෙන්න හේතුව කුමක්ද?
මෙහෙමයි, මේ කියන විදියේ අසාධාරණයක් සිදුවෙනව නම් ප්‍රවීණයි, ආධුනිකයි කියා වෙනසක් නැහැ. සියල්ලටම පොදු ධර්මතාවක් තිබෙනවා. පොදු ධර්මතාවක් හැදීම සහ එය නියාමනය කිරීමේ වගකීම තිබෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව සතුවයි. මේ සියලු කතා ඈදෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව සතු ප්‍රදර්ශන මණ්ඩලවල ප්‍රදර්ශනය කරන්න ගියාම තමයි. ඒ හැරුණුකොට වෙනත් පෞද්ගලික ව්‍යවසායකයන්ට අයිති ප්‍රදර්ශන මණ්ඩලයක ඕන චිත්‍රපටයක් ඕන වේලාවක ප්‍රදර්ශනය කරන්න ඒ අය ලෑස්තියි. එහිදී චිත්‍රපටයක් පෙන්නන්න වගේම ගලවන්නත් ලෑස්තියි. මෙය කලාවක් තමයි. කලාවක් වගේම කර්මාන්තයක්. ඒ කර්මාන්තය සමග අතිවිශාල පිරිසක් රැකෙනවා. විශාල සිනමා ශාලා ප්‍රමාණයක් තිබෙනවා. ඒ තුළින් රැකෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා කර්මාන්තයක් නම් එය රැකිය යුතුයි. එයින් අදහස් වෙන්නෙ නැහැ තරුණ පරපුර එන්න ඕන නැහැ කියන දේ. මම කියන්නේ කවුරු ආවත් කරන්න ඕන ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න පුළුවන් චිත්‍රපටයි. ඒ කියන්නේ නවක නිර්මාණකරුවෙක් ඇවිත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න බැරි නම් ඔවුන්ට මුදල් ආයෝජනය කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.
Q ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරුවන් අතර කල්ලිවාදයක් තිබෙනවා නේද? සම්මාන උලෙළවලදීත් මේ තත්ත්වය දැකගන්න පුළුවන් නේද?
මම හිතන්නෙ නැහැ අපි අතර එසේ කල්ලිවාදයක් ඇති කියලා. එකක් තමා සම්මාන සඳහා චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරු ඉන්නවා. සම්භාවනීය චිත්‍රපට හැදෙන්න ඕන. කර්මාන්තයක් විදියට සහ සිනමා රසික ඥානය වර්ධනය වෙන්න එවැනි චිත්‍රපට හැදෙන්න ඕන. අනිත් පැත්තෙන් සිනමා කර්මාන්තයක් ලෙස රැකෙන්න අපි හදන ජාතියේ චිත්‍රපටත් හැදෙන්න ඕන. එහෙම තමා මේ කර්මාන්තය ගමන් කළ යුත්තේ කියලයි මම විශ්වාස කරන්නේ. ඒ හැරුණුකොට අපි අතරේ තරගයක්වත්, විරසක වීමක්වත් නැහැ. පෞද්ගලිකව මගේ නම් නැහැ. අපි සියලුදෙනාම මේ කර්මාන්තයේ නියැළෙන පුද්ගලයෝ. කර්මාන්තයේ කටයුතුවලට ඒ ඒ පමණින් දායක වෙනවා මිසක් අපි අතර එවැනි තරගයක්, කල්ලිවාදයක් නැහැ.
Q ඔබගේ මේ දිනවල විකාශය වන %හාරකෝටිය^ ටෙලිනාට්‍යය කතාබහට ලක්වෙලා තිබෙනවා. ඒ ගැන කතා කළොත්?
මගේ ටෙලිනාට්‍යවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම හොඳට ලැබෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා සහ මම ඒ දෙයට දෙන පිළිතුර තමා මම වෘත්තීය අධ්‍යක්ෂකවරයෙක්. වෘත්තීය අධ්‍යක්ෂකවරයෙක් නම් මම දැනගන්න ඕන රූපවාහිනී තිරයක් ඉදිරියෙන් වාඩිවෙන ප්‍රේක්ෂකයාගේ ඇඟිලි තුඩු රිමෝට් එකේ තිබෙන තව ඉලක්කමකට එඹිලා තව චැනල් එකකට මාරු නොකර ඔහුව මගේ නාට්‍යය තුළ රඳවා ගන්න. ඒ වගේම මම චිත්‍රපටයක් කළොත් ගෙදර ඉන්න ප්‍රේක්ෂකයන්ව සිනමා ශාලාවට ගෙනියන්නත් මම දැනගන්න ඕන.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





