'මංගල තෑග්ග' යනු ප්‍රකට සිංහල චිත්‍රපටයකි. එය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාවේදී එච්.ඩී. ප්‍රේමරත්න මහතාය. තම මංගල දිනයට පෙර දින අභිසරුලියක සමග යහන්ගත වන මනමාලයා සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු වටා එම 'මංගල තෑග්ග' චිත්‍රපට කතාව ගෙතී ඇත.
මිතුරන් හතර දෙනාම අභිසරුලිය සමග සතුටු වූ අවසන් මොහොතේදී ඇය මියයෑම එම කතාවේ උච්චතම අවස්ථාවය. මනාලයා (චන්දන) ලෙස රඟන රංගනවේදී සනත් ගුණතිලක තම මනාලිය ලෙස රඟන වසන්ති චතුරානි සමග විවාහය සිදුවන මොහොතේ අභිසරුලිය ලෙස රඟපෑ සනෝජා බිබිලේගේ සිරුර පොලීසිය විසින් සොයා ගැනීමෙන් එදා එම චිත්‍රපටය අවසන් විය.
1982දී තිරගත වූ එම චිත්‍රපටයේ විවිධ අංශ 1983 වසරේ පැවැති චිත්‍රපට සම්මාන උලෙළ ගණනාවකදී ඇගයීමට පාත්‍ර වූ අතර, මේ චිත්‍රපටයට අදාළව දෙවැනි කොටසක් ලෙස තවත් චිත්‍රපටයක් බිහිකිරීමට එච්.ඩී. ප්‍රේමරත්නයන් සිතා සිටි බව පෙරේදා (09දා) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන 'Dialog Axiata' සමාගමේ ප්‍රධාන කාර්යාලයේ 15 වැනි මහලේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක මහතා අවධාරණය කළේය.
එච්.ඩී. ප්‍රේමරත්න කලාකරුවා හදිසියේ අප අතරින් වියෝවීම හේතුවෙන් එම අදහස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, ප්‍රථම කෘතියේ තමන් සමග ප්‍රධාන චරිත රඟපෑ විශිෂ්ට රංගධරයන් වන රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, ජයලත් මනෝරත්න සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යන කලාකරුවන්ගේ සහයෝගයෙන් තමන්ට එම හීනය සැබෑ කිරීමට මෙවර හැකිවූ බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය. සනත් ගුණතිලකගේ අධ්‍යක්ෂණයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට එන 'මංගල තෑග්ගේ දෙවැනි ගමන' ටෙලි සිත්තම 'Dialog ‘ViU' හඳුන්වා දෙන 'විනෝදේ' මොබයිල් App එක මගින් ප්‍රේක්ෂකයාට නැරඹීමේ පහසුව දැන් සපයා ඇත.
පළමු නිර්මාණයේ සිට සනත්, රවීන්ද්‍ර, මනෝ, ප්‍රියන්ත සහ සිරිල් සමග තවත් නළු නිළියන් රැසක් රඟන අලුත් ටෙලි සිත්තම පිළිබඳ මාධ්‍ය හමුවේදී තම අදහස් දැක්වීම කළ ප්‍රවීණ රංගධර හා අධ්යක්ෂ සනත් ගුණතිලක මෙසේද ප්‍රකාශ කළේය.
''මෙහි දෙවැනි කොටස වන 'මංගල තෑග්ග දෙවැනි ගමන' ආරම්භ වන්නේ පැරණි මිතුරන් තිදෙනා නැවත චන්දනව හමුවීමෙන්. ඔවුන් හමුවන්නේ චන්දන ලෙස රඟපාන මගේ පුත්‍රයා අතිනත ගන්නා මංගල සාදයේදීයි. එදා 'මංගල තෑග්ග' චිත්‍රපටයේ අවසානය වූ අභිසරුලියගේ මරණය පිළිබඳවත් අලුත් විවරණයක් දෙමින් මේ අලුත් ටෙලි සිත්තමේ තිර කතාව මම රචනා කළා.''
සාම්ප්‍රදායික සමාජයක් පැවැති එකල අභිසරුලියක ලෙස චිත්‍රපටයක රඟපෑම දැඩි සමාජ අවමානයක් ලෙස සමාජගත වූ වකවානුවක් වූ බව පැවසූ ඔහු, එම චරිතය පණගැන්වීමට එදා අභීතව එක්වූ අලුත්ම නිළියක වූ සනෝජා බිබිලේගේ කැපවීම පිළිබඳවද හෘදයාංගමව මතක් කළේය.
තම කෘතියේ සාර්ථකත්වයට සම්මාදම් වූ ප්‍රවීණයන් පමණක් නොව සියලුම නවීන ශිල්පීන් පවා තමන් වෙනුවෙන් ලබාදෙන ලද ආදරණීය සහයෝගයද ඔහු ස්තුතිපූර්වකව සඳහන් කළේය.
'Dialog ‘Axiata' සමාගමේ ගෝලීය හා අන්තර් සේවා - ව්‍යාපාර ප්‍රධානී මංගල හෙට්ටිආරච්චි මහතා එහිදී මෙසේ පැවසීය.
''අපේ 'Dialog ‘ViU' මොබයිල් App එක ඕනෑම ජංගම දුරකථන ජාලයකින් Google Play Store හෝ App Store ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ තුළින් 'විනෝදේ' Open කරලා මෙම 'මංගල තෑග්ගේ දෙවැනි ගමන' නරඹන්න පුළුවන්.
''විනෝදේ' තුළින් තමන් කැමැති චිත්‍රපට ටෙලි නාට්‍ය, TV Shows, ක්‍රීඩා වැඩසටහන්, දෙස් විදෙස් රූපවාහිනී නාළිකා නරඹන්න පුළුවන්. මෙම 'විනෝදේ' App එක Dialog ‘පාරිභෝගිකයන්ට මාස 12ක් පුරාද, අනෙක් ජංගම දුරකථන ජාල භාවිත කරන්නන්ට මාස 02ක් පුරාද මාසික ගාස්තු අය කිරීමකින් තොරව නැරඹීමට හැකියි.''
සටහන - පද්මකුමා පී. මෙත්තසේන / ඡායාරූප - ක්‍රිෂාන් ශෂික රණසිංහ