පොඩි ළමයි වුණත් හිතන්නේ ලංකාවේ මියුසික් කියන්නෙ කාන්තාවන් වෙනුවෙන් නාහෙන් අඬන එක කියලා
බොහෝ කාලයක් නිහඬව සිටි සංගීත කණ්ඩායමක් නැවත කරළියට පැමිණ තිබේ. 'දුම් දුම්', 'බිසව' වැනි ගීත නිර්මාණය කළ ඔවුන් Be Positive සංගීත කණ්ඩායමයි. ලසිත පෙරේරා සහ චමින්ද වීරසිංහ එහි සාමාජිකයෝ වෙති. වසර 17කට පසු නැවත ක්ෂේත්රයට පැමිණීම ගැන ලසිත පෙරේරා පැවසුවේ මෙවැන්නකි.
Q 'බිසව' ගීතයට කාලෙකට පස්සෙ වීඩියෝ එකක් එනවා. ඒ ගැන මුලින්ම කතා කරමු?
මෙහෙමයි. අපේ Be Positive බෑන්ඩ් එක කාලෙකින් වැඩ කළේ නැහැනේ. ඊටපස්සෙ නැවත කරළියට පැමිණියා අවරුදු 17කට පස්සේ. අපේ පළමුවෙනි හිට් එකත් %බිසව^නේ. ඒ නිසා අපි හිතුවා අපේ රි-යුනියන් එකත් බිසවගෙන්ම පටන්ගන්න. ඉතින් කට්ටියට මතක් වෙන්නත් 'බිසව' අලුත් කළා.
Q Be Positive සංගීත කණ්ඩායම මෙච්චර කාලයක් නිහඬව හිටියෙ ඇයි?
ඇත්තටම අපි විදේශගත වෙලා හිටියේ. අපි දෙන්නා රටවල් දෙකක හිටියේ. මම මගේ ඇකඩමි එකේ වැඩවල තමයි ගොඩක් හිටියේ. අනිත් එක්කෙනා හිටියේ එයාගේ බිස්නස් වැඩ එක්ක. ඒ නිසා අපි දෙන්නට වැඩ කරන්න බැරි වුණා. නමුත් මම මගේ සෝලෝ මියුසික් කළා ගොඩක්.
Q කාලයක් නිහඬ වෙලා ඉඳලා, නැවත ආවම කොහොමද ක්ෂේත්රයේ තියෙන අභියෝග?
ඇත්තටම ගොඩක් වෙනස් වෙලා. මීඩියාවලට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැහැ. අපි ඉන්න කාලෙ අපි ගොඩක් නිදහසේ වැඩ කළා. අද මීඩියාවලට හිතාගන්නවත් බැහැ මොනවද දාන්න ඕනේ කියලවත්. අඩුම තරමේ අපේ %බිසව^ වීඩියෝ එකවත් තවම එක චැනල් එකකින්වත් ඉල්ලලා නැහැ. ඒකට හේතුව මේ වෙද්දි මේක ගමන් කරන්නේ වෙනම අරමුණක් කරා නිසා. මේක දැන් වාණිජමය වෙලා තියෙන්නේ.
Q Be Positive ගේ 'දුම් දුම්' ගීතයත් ගොඩක් ජනප්රිය වුණා. ඒක කරපු අයේෂ් විජේරත්නත් අද ජිවතුන් අතර නැහැ?
ඔව්. අයේෂ්ව ෆීල්ඩ් එකට ගෙනාවෙත් අපි 'දුම් දුම්' ගීතයෙන්. ඊටපස්සේ තමයි එයා ත්රිමාණ සජීවීකරණය පැත්තට ගිහිල්ලා භාතිය - සන්තුෂ්, ඉරාජ්ලා එක්ක වැඩ කරන්න ගත්තෙත්. එයාව හඳුන්වලා දුන්නෙත් අපි.
Q අද ඉන්න පරම්පරාවට ‘Be Positive මතක නැහැ. ආයෙත් එද්දි අභියෝගයක් නැද්ද?
ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. අවුරුදු 17කට කලින් හිටිය රසිකයො නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ වෙනම කට්ටියක්. ඒකට ඉතින් මීඩියාත් වගකියන්න ඕනේ. මොකද එකම ආරේ ගීත දාගෙන දාගෙන ගියා කාලයක්ම. එතකොට රසිකයෝ හිතනවා ඒක තමයි මියුසික් කියලා. අපේ කේමදාස මාස්ටර්ගේ සින්දුවක් මෑත කාලේ ඇහෙන්නේම නැහැනේ. එයාලගේ කොච්චර උසස් නිර්මාණ තියෙනවාද? අමරදේව මාස්ටර්ගේ උසස් නිර්මාණ තියෙනවා. අද ඒවා ප්රචාරය වෙනවාද? මේක මීඩියා එකේ වගකීම. එයාලා හරියට වැඩේ කරන්නේ නැති වුණාම මෙහෙම වෙනවා. එහෙම වුණාම පොඩි ළමයා වුණත් හිතන්නේ ලංකාවේ මියුසික් කියන්නේ කාන්තාවන් වෙනුවෙන් නාහෙන් අඬන එක කියලා. ඒ ට්රෙන්ඩ් එක හදලා තියෙන්නේ මීඩියා එක.
Q ගායකයා වාණිජකරණය වෙලා තියෙන නිසාද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ?
මට නම් මාර දුකයි අද ලංකාවේ මියුසික්වලට වෙලා තියෙන දේ ගැන. මෙච්චර මහා උසස් නිර්මාණ බිහිවෙච්ච රටේ අද මේ ගැහැනු වෙනුවෙන් නාහෙන් අඬන දේවල් බිහිවෙලා. මොකක් හරි ඩ්රම් බීට් එකකට මොකක්හරි මෙලඩියක් අරන් මොනවාහරි දෙයක් ගළපනවා. ඇත්තටම හරිම දුකයි. මම ආයෙත් මියුසික් කරන්නෙත් නැහැ කියලත් හිතාගත්තා. මෙහෙම මියුසික් කරලා තේරුමක් නැහැ ඇත්තටම.
Q අද තිබෙන ගීතවල කිසි අර්ථයක් නැද්ද එතකොට?
අර්ථයක් කොහෙද තියෙන්නේ?. ඔයා ගියා මාව දාලා, ඔයාව වෙන කාට හරි පූජා කරන්නම්. මේවනේ අද හදන්නේ. මේවගේ තේරුමක් තියෙනවද. පුස් වචන ටිකක්නේ තියෙන්නේ. අපේ කියලා තිබ්බේ ඕකද? ඕකටද සිංහලකම කියන්නේ. හෙළයෝ කියන්නේ ගෑනු නිසා අඬන ජාතියක්ද? බිසව එකේ මොකක්ද කියන්නේ. බිසව එකේ කියන්නේ අන්තඃපුරයක් තිබ්බත් ඔයාට විතරයි ආදරේ කියලා. ඒකෙන්ම පෞරුෂත්වය පේනවා. රජ කෙනෙක් වුණත් බිසව වෙනුවෙන් අනිත් ඔක්කොම විසුරවා හරින්නම් කියලනේ කියන්නේ. අද මේ එක කාන්තාවක් වෙනුවෙන් ලෝකයක්ම අඬවනවානේ. ඔයා නැති වුණොත් මැරෙන්නම් කියලා කියනවනේ.
Q අපි කතා කරමු සංගීත කණ්ඩායමේ ඉදිරි වැඩ ගැන?
බෑන්ඩ් එක කරගෙන යන්න හිතාගෙන තමයි ඉන්නේ. නමුත් හරි ෆීඩ්බෑක් එකක් නැති නිසා දුකෙන් ඉන්නේ. අපේ බිසව මුල් කාලේ දීපු ගමන් එ්ක චාර්ට් ෂෝ වල නම්බර් වන් ආවා. හැමතිස්සේම රේඩියෝ එකේ ගියා. දැන් සින්දුව අලුත් කරලා දුන්නත් මීඩියාවලින් ඒක පිළිගත්තේ නැහැ හරියට. ඒක අපිට විතරක් තියෙන ප්රශ්නයක් නෙවෙයි. භාතිය - සන්තුෂ්ටත් තියෙන ප්රශ්නයක් ඕක. අපි දෙගොල්ලෝ සමකාලීනයෝනේ. එයාලා ගීත කරන්නෙ නැත්තෙත් ඕක නිසා. ඔය ප්රශ්නෙට විසඳුමක් ලැබෙනවා නම් ආයෙත් හොඳ කලාකාරයෝ බිහි වෙයි. අපිත් සින්දු කරයි. රූකාන්තත් සින්දු කරයි. අමරසිරි පීරිස් මහත්මයත් සින්දු කරයි. කසුන් කල්හාරගේ වුණත් මෑතකාලීනව සින්දුවක් ආවේ නැත්තේ ඒකයි. ඕකයි තත්ත්වෙ ඉතින්. අපි බලමුකෝ නේද?
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




