පිං වඩන පුණ්‍යභූමි වන්දනා - මගින් කියන්නේ සම්බුද්ධ ශාසනය රැකගන්න කියලයි
'මහරජ අජාසත්', 'අනගාරික ධර්මපාල', 'මහින්දාගමනය' වැනි සිනමා නිර්මාණ කළ සනත් අබේසේකරගේ 'පිං වඩන පුණ්‍ය භූමි වන්දනා' වාර්තා චිත්‍රපටය පාසල්වල නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අවසර ලබා දී තිබේ. සනත් අබේසේකර සමග මේ කතාබහ ඒ පිළිබඳවයි.
Q පිං වඩන පුණ්‍යභූමි වන්දනා නිර්මාණය ගැන මුලින්ම කතා කරමු?
මේක සිද්ධ වෙන්නේ පුරාවිද්‍යා බෞද්ධ ධර්ම ගවේෂණයක් විදිහට. මෙය පැයකුත් විනාඩි දහයක නිර්මාණයක්. එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් වගේම කොලොන්නාවේ ධම්මික හාමුදුරුවෝ ඇතුළු අපි සියලුදෙනා එක්ව සිදුකළ නිර්මාණයක්. අපි මේ සිදුකළේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳව ගවේෂණයක්. බෞද්ධ පුරාවිද්‍යා සෙල්ලිපි ගවේෂණ ආශ්‍රිතවයි තොරතුරු අනාවරණය කළේ.
මිහිඳු හිමියන් ලංකාවට වැඩම කිරීමත් සමග ඇති වූ බෞද්ධ සංස්කෘතියයි අපි ඉදිරිපත් කරන්නේ. එදා රාජ්‍ය මට්ටමින් බෞද්ධ සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ ඇති කළා. ඒ රාජ්‍ය මට්ටමින් බිහිකළ සංස්කෘතිය අද වෙද්දි රාජ්‍ය මට්ටමින්ම අතපසුවීමක් වෙලා තියෙනවා කියල අපි දකිනවා. මේ ගවේෂණයේදී අපි එය හොඳින් දැක්කා.
එදා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇති වූ බෞද්ධ සංස්කෘතිය මොකක්ද කියන එක අපේ දරුපරපුරට කියා දෙන්න අවශ්‍යයයි. එහි නටබුන්, පුරාවිද්‍යාත්මක ස්මාරක පමණයි අපට ඉතිරිව තිබෙන්නේ. ඉතිරිව තිබෙන ටිකත් නැතිවන යුගයක් ඉදිරියේදි එනවා. එය රැක ගැනීම තමයි අපේ අරමුණ. ඒ අරමුණින් තමයි අපි මේ නිර්මාණය සිදුකළේ.
Q සිනමා නිර්මාණ කරපු ඔබ මේ නිර්මාණය කරන්නේ පාසල්වල ප්‍රදර්ශනයටද?
මගේ චිත්‍රපට ඉතාම සාර්ථකයි. ඉදිරියේදී මගේ අලුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිර්මාණය පාසල් වල ප්‍රදර්ශනය කරන්නයි හිතුවේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ වසර පන්දහසකින් සම්බුද්ධ ශාසනය අවසන් වෙනවා කියලා. නමුත් අපට පෙනෙනවා වසර දහයක්වත් මෙය පවතීද කියන එක විශ්වාස කළ නොහැකියි. මේක අභියෝගාත්මක කාරණාවක් බවට පත්වෙනවා. බුදු සමිඳුන් දේශනා කඵ ධර්මයම නෙමෙයි අද අපිට අසන්න ලැබෙන්නේ.
මෙය චිත්‍රපටයක් ලෙස ගෙන ඒමේදී මූල්‍යමය අංශයේ ගැටලුවක් තියෙනවා. අපි මේ නිර්මාණය කරන්නේ සියලුදෙනා සමාජ සත්කාරයක් ලෙස දායක කර ගනිමින්. අනෙක් කාරණය පාසල් ඉලක්ක කරගෙන යන මේ කාරණය සාර්ථකයි. ගුරුවරුන් වගේම පාසල් ශිෂ්‍යයන් පවා මෙම නිර්මාණය නරඹා හොඳ ප්‍රතිචාර ලබා දෙනවා.
මේ තුළින් ඔවුන් දැනුවත් වෙනවා. සිනමා ශාලා වලට ගිහින් දැනුමක් ලබනවා වගේ නෙමෙයි පාසල් වලට ගිහින් දැනුමක් ලබන එක. පාසල, දහම් පාසල, විහාරස්ථානයට ගිහින් කරන ප්‍රදර්ශනය කිරීම් නිසා සාදාචාරයට ලොකු පිටුවහලක් වෙලා තියෙනවා.
Q මේක වාර්තා චිත්‍රපටයක් ලෙස තමයි නිර්මාණය වෙන්නේ?
මේක ධර්ම ගවේෂණයක්. මේ නිර්මාණය අතරතුර ධර්ම සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. ඩොකියුමන්ට්‍රි ෆිල්ම් කියලා හඳුන්වනවට වඩා මම කැමතියි පුරාවිද්‍යා ධර්ම ගවේෂණයක් ලෙස හඳුන්වන්න. මේ කටයුත්තට ගීතා කුමාරසිංහ, ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, දිල්හානි ඒකනායක, නදීකා ගුණසේකර, පාලිත සිල්වා, ගයේෂා පෙරේරා, කුසුම් මල්දෙණිය ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
මෙහි සංගීතය රංග දසනායක විසින් සිදුකළා. ගීත ගායනයෙන් උරේෂා රවිහාරි හා ඉෂාක් බෙග් සම්බන්ධ වුණා. සහය අධ්‍යක්ෂණයෙන් ගයාන් බුද්ධික හා ජානක අදාසූරිය සම්බන්ධ වුණා. ඒකත් මේ නිර්මාණ කටයුත්තට ලොකු ශක්තියක් වුණා.
Q මෙය ගවේෂණයක් ලෙස ඔබ සඳහන් කළා. මේ ගවේෂණය කොහොමද පැයකුත් විනාඩි දහයක් තුළ ආවරණය කරන්නේ?
ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බෞද්ධ ඉතිහාසය ගැන පැයයි විනාඩි දහයක් තුළ මම කතා කරනවා. සියලු තැන්වලට මම ගිහින් ගවේෂණය කරලා තියෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පනස් වසරක් තිස්සේ වනාන්තර වලට ගිහින් සොයාගත් ශිලා ලේඛනවල කරුණුත් මෙයට එකතු කරලා තියනවා.
Q මේ නිර්මාණයේ ඉදිරි ප්‍රදර්ශනයන් ගැන සඳහන් කළොත්?
මේ දිනවල පාසල් වල ප්‍රදර්ශනය කරමින් පවතිනවා. කොලොන්නාව රජමහා විහාරාධිපති ධම්මික නාහිමිත්, එල්ලාවල මේධානන්ද හිමි සේම අපේ ප්‍රවීණ නළු නිළියන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. මෙය සිත පැහැදෙන නිර්මාණයක්. අනෙක් දේ තමයි අපි පාසල් වල මේ චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කරන්නේ. මේ නිර්මාණය ප්‍රදර්ශනය කරන්න අප හා එක්වන්න. මතු පරපුරට මේ දැනුම ලබාදිය යුතුයි. සම්බුද්ධ ශාසනයේ ඉතිහාසය රැකගන්න කියලා තමයි අපි මේ තුළින් කියන්නේ.
075 8 659 189 / 078 9 129 899
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

