නොවෙනස් වූ සංගීතයට වෙනස් අරුතක් STOMP
අප එදිනෙදා දකින ඒකාකාරී සංගීත රටාවලින් බැහැරව නව සංගීත රටා සොයායාමට බොහෝ නිර්මාණකරුවෝ උත්සාහ කරති. එහෙත් එම උත්සාහයන්හි විශේෂ වෙනසක් නොදැනෙන්නේ එකී වෙනස්කම්ද සංගීත භාණ්ඩ යොදාගෙන සිදුකරන නිසාවෙනි. මේ නිසා සංගීත භාණ්ඩ භාවිතයෙන් ඉවත්ව වෙනත් දේ භාවිතයෙන් වෙනස් ආරක සංගීත රටා නිර්මාණය කරන 'Stomp' පිළිබඳව තොරතුරු ඔබට ගෙනඑන්නට අදහස් කළෙමු.
1991 වර්ෂයේදී සංගීතය භාණ්ඩ නොමැතිව යම්කිසි ද්‍රව්‍යයක් එකිනෙකට ගැටී ඇසෙන්නා වූ ශබ්දය තුළින් සංගීත රටා මැවීමට හැකි බව අවබෝධ කරගත් දෙපළක් ලෙස ලූක් ක්රෙස්වෙල සහ ස්ටීව් මැක්නිකොල්ස් හැදින්වීමට හැකිය. ඝට්ටනය වන උපකරණ කුමක්වුවද මොවුන්ගේ සංගීත භාණ්ඩ එය වේ.
Stomp ඔවුන්ගේ සංකල්පයකින් නිර්මාණය කළ Beat the Clydeනම් ප්‍රසංග මාලාව තුළින් ලොව ජනප්‍රියතම සංගීත කණ්ඩායම බවට පත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි. ඔවුන්ගේ මුල්ම ප්‍රසංගය තුළින් එළිදැක්වූ සංගීත භාණ්ඩය වූයේ කුණු දැමීමේදී යොදාගන්නා භාජනයේ පියන්ය. මෙහිදී එම පියන් හේතුවෙන් ඔවුන්ට Heineken බියර් සමාගමේ වෙළෙඳ දැන්වීමකට පෙනීසිටින්නටද අවස්ථාව ලැබිණි.
දෙදෙනෙකු විසින් ආරම්භ කළ Stomp සංගීත කණ්ඩායමේ මේ වනවිට සාමාජිකයෝ 12 දෙනෙක් වෙති. ඔවුන් ලබාගත් ලොව විශිෂ්ටතම සම්මානය වන්නේ Olivier සම්මාන උලෙළේ Best Entertainment Award සම්මානයයි. ඉන්පසුව West End Show සම්මාන උලෙළේදී Best Choreography සම්මානයද, ලන්ඩනයේ පැවැති Royal Festival Hallහිදී Best Production සම්මානයද, නිව්යෝර්ක් නුවර පැවැති Obie සම්මාන උලෙළේදී Drama Desk සම්මානයද හිමිකරගන්නා ලදී.
ඔවුන්ට මේ වනවිට දකුණු අප්‍රිකාවේ, ජර්මනියේ, නෙදර්ලන්තයේ සහ ප්‍රංශයේ Stomp සංගීතය සඳහා ඉහළ ප්‍රතිචාරයක් පවතියි. මොවුන් වෙළෙඳ දැන්වීම් සඳහා සංගීතයෙන් දායකවන සමාගම් වන්නේ කොකාකෝලා සමාගම, ටොයෝටා සමාගම සහ සියැට් සමාගම්ය. විවිධ වූ සංගීත සංකල්ප එක්කොට හොලිවුඩයේ නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා නාදපථ නිර්මාණයේදීද ඔවුන්ට මූලික තැනක් ලබා දී ඇත.
Nickelodeon රූපවාහිනී මාධ්‍ය ජාලයේ නාදරටා මවන්නේද මොවුන්ගේ සංගීත කණ්ඩායම විසිනි. එමී සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්යක්ෂණයටද, සංගීත සංයෝජනයටද, කලා අධ්‍යක්ෂණය යන සම්මාන ත්‍රිත්වයද මොවුන්ට හිමිවිය. මේ වනවිට මොවුන්ගේ ප්‍රසංග සඳහා බොහෝ ඉල්ලීම් තිබෙන අතර, www.stomponline.com වෙබ් අඩවිය තුළින් ඔවුන්ගේ සංගීත ප්‍රසංග සඳහා ඉඩකඩ වෙන් කරගැනීමටද හැකියාව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

