තවම වේදිකාව ඒ තරම් ලොකු අනතුරක නැහැ
උසස් පෙළ ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙක් ලෙස කටයුතු කරන ඔහු ටනුජ් අනවරත්නය. ඔහුගේ දෙවන වේදිකා නාට්‍යය නිර්මාණය වන %හඳ එළියට වෙඩි තියන්න^ වේදිකා නාට්‍යය මේ මස 26 සහ 27 රාත්‍රී 7.00ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි.
Q 'හඳ එළියට වෙඩි තියන්න' වේදිකා නාට්‍යය නිර්මාණය ගැන මුලින්ම කතා කරමු?
මේ නාට්‍යය තුළින් කතා කරන්නේ ජීවිතවල තිබෙන ඛේදනීය තත්ත්වයන් ගැන. කවර තරාතිරමක කෙනෙකුට වුවත් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා කියන කාරණාව තමයි චරිත හතරක් පාදක කරගනිමින් කතා කරන්නේ. අපි ජීවිතයේ එක්තරා අවස්ථාවක හුදකලා වෙනවා. මේක පවුල් පසුබිමක් තුළ ගොඩනැගෙන කතාවක්. මේ නාට්‍යය නිෂ්පාදනයෙන් එරන්ති අබේසිංහ, රංගනයෙන් නීටා ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, ජයනාත් බණ්ඩාර, නදීෂානි පේලිආරච්චි සහ සංගීතය කපිල පූගලආරච්චිගෙන්. වේෂ නිරූපණය තුෂාර විදානගම. වේදිකා පරිපාලනයෙන් නිමේෂ්, ලක්මාල්, නිලුපුල් දායක වෙනවා. පසුතලවලින් තිවංක මඬුගල්ල සහය වෙනවා. ආලෝකකරණය අනුරාධගෙන්. මේ අයගේ සහයෝගයෙන් මෙය වේදිකාගත වෙනවා.
Q මේ තේමාවේ යටිපෙළ ගැන අවධානය යොමු කළොත් වෙනස් දේශපාලනික කාරණාවක් ඔබ ගෙන එනවා?
මෙහි මිනිස් ජීවිතවල තිබෙන ගරාවැටීම ගැන කතා කරනවා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව එකිනෙකා පාවිච්චි කරනවා. එකිනෙකා පාවිච්චි කිරීම තුළ අත්වැරදීම් වෙන්න පුළුවන්. ඒ අත්වැරදීම්වල අපි දැවැන්ත ලෙස කඩාවැටෙන්න හුදකලා වෙන්න පුළුවන්. මේ නාට්‍යය තුළ ජානකී හා රොහාන් කියන්නේ එක් පවුලක්. ජානකී කියන්නේ රොහාන්ට වඩා වයසින් ගොඩක් වැඩිමහල් කෙනෙක්. ඇය අමාත්‍යවරයෙක්ගේ දියණියක්. රොහාන් ජානකී විවාහ කරගන්නේ දේශපාලනික පවුල් පසුබිමට. මේ කාන්තාවට දරුවන් ලැබෙන වයස පසුවී තිබෙන්නේ. ඔවුන්ට දරුවන් නැහැ. ඔවුන්ට දරුවන් නැති වීම සමාජය තුළ පවතින්න ප්‍රශ්නයක්. රොහාන්ට දොස්තර සුමිත් දැනුම් දෙනවා මේ වයසට දරුවන් නොලැබෙන බව. එය රොහාන් කෙලෙසකවත් ජානකීට ප්‍රකාශ කරන්නෑ. ඇයට දරුවන් ලැබෙන බලාපොරොත්තුව දෙනවා. ඒ බලාපොරොත්තුවෙන් ඇය ජීවත් වෙනවා. මේ අතර රොහාන් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය සමග අනියම් ඇසුරක් ගොඩනගා ගන්නවා. එහිදී ඇය ගැබිනියක් බවට පත්වෙනවා. ඇය රොහාන්ව පාවිච්චි කරනවා. රොහාන් දැනගන්නේ බොහෝ කල් ගියාට පසුව. රොහාන් මේ තුළ දැවැන්ත කඩා වැටීමකට ලක්වෙනවා. මුලින් රොහාන් වෛද්‍යවරයා ළඟට යන්නේ තම බිරිඳට දරුවෙක් ලබාගන්න. දෙවනුව අනියම් සබඳතාව තිබෙන කාන්තාව එක්ක දොස්තර හමුවීමට යනවා, ඒ දරුවා නැතිකර දෙන්න කියලා. එක තැනක දරුවෙක් නැතිකමින් පීඩා විඳිනවා. තව තැනක දරුවෙක් ලැබෙන්න ඉන්න එකෙන් පීඩා විඳිනවා. ඒ බේදනීය තත්ත්වය තුළ දැවැන්ත අසරණ වීමකට, කඩාවැටීමකට ලක්වෙලා ඔහු පලා යනවා. නාට්‍යය අවසානයේ මේ කාන්තාවන් දෙදෙනා හමුවෙනවා. දෙදෙනා ගැන කතා කරනවා. දෙදෙනා සොයන්නේ එකම කෙනෙක් බව දන්නේ නැහැ. එකිනෙකා නොදැනුවත්ව හෝ දැනුවත්ව භාවිත කිරීම තුළ මේ චරිත හතරම හුදකලා වෙනවා. මෙහි යටිපෙළ එකිනෙකා භාවිත කිරීමේදී අපි දැවැන්ත හුදකලා වීමකට ලක්වෙනවා.
Q ඔබ වේදිකා නාට්‍ය නිර්මාණකරණයට යොමු වෙන්නේ බොහෝ කාලයකට පසුව?
ඔව්. මම මේ නාට්‍යය කරන්නේ වසර විස්සකට පසුව. 1997 තමයි මම අවසන් වරට 'හෙට කළුවර නෑ' කියන වේදිකා නාට්‍යය සිදුකළේ. 'නිසලගිර' චිත්‍රපටය මීට වසර දහයකට පෙර අධ්‍යක්ෂණය කළා. මම ටියුෂන් ගුරුවරයෙක්. මගේ කාර්යබහුලත්වය එක්ක මම මේ ක්ෂත්‍රයෙන් ඈත්වෙලා හිටියා. මේ නාට්‍යයේ රොහාන්ගේ චරිතය කරන ජයනාත් බණ්ඩාර තමයි මට වේදිකාවට එන්න කියලා පෙළඹවීම සිදුකළේ.
Q නැවත චිත්‍රපටයකට යොමු නොවී වේදිකා නාට්‍යයක් ළඟ නතර වෙන්නේ ඇයි?
මේ පිටපත මට ලියවුණේ 2006දී. මේ පිටපත මට අමතක වුණාට ජයනාත් ඇතුළු බොහෝදෙනෙක් කියවලා තිබුණා. මේ පිටපත හිතේ තියාගෙන ඔවුන් බොහෝ කල් සිටියා. ජයනාත් මුලින්ම ආවේ නාට්‍යයකින් ප්‍රවේශ වෙමු කිව්වා. ඔවුන්ගේ මැදිහත් වීමෙන් ඒ දේ කළේ. මේ නිර්මාණයට තිබුණ කැමැත්ත නිසා මෙය ඉක්මන් වුණා. ඉදිරියේදී සිනමා නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
Q ඔබ වේදිකා නාට්‍යය ආරම්භයේ තිබුණ වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකාගාරය අද දකින්න ලැබෙන්නේ නැහැ?
ඔව්. වසර විස්සකින් පසු ප්‍රේක්ෂකාගාරයේ වෙනස් වීම දැඩි ලෙස මට කියන්න අපහසුයි. දැන් ඩිජිටල් ප්‍රේක්ෂකයෝ ඉන්නේ. මානසික හැඟීම් දැනීම් කොතරම් දුරකට ග්‍රහණය කරගත හැකි පරපුරකටද අපි ආමන්ත්‍රණය කරන්නේ කියන එක මම දන්නෙ නැහැ. මම දන්නවා 1997 සිටි ප්‍රේක්ෂකයා නෙමෙයි ඉන්නේ කියලා. මටත් චකිතයක් තියෙනවා ඒ ගැන. නමුත් වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයා සූදානමින් ඉන්න, පරිකල්පනයක් තිබෙන පිරිසක්. තවම වේදිකාව ඒ තරම් ලොකු අනතුරක නැහැ කියලා මම හිතනවා. එහෙත් මෙය නරඹා මේ ගැන කතා කරන්න ආරාධනා කරනවා.
0773 155383
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.









