ශ්‍රී ලාංකේය සිනමාවේ ඉදිරි පෙළ හොබවන ශ්‍රේෂ්ඨ රූපණවේදීන් පෙළ හමුවේ ටෝනි රණසිංහ යනු අග්‍රගණ්‍ය රූපණවේදියෙකි. ටෝනිගේ රූපණයෙන් හැඩ වූ සිනමා කෘති අතර උත්තම චරිත රැසක් හමුවුවද ටෝනිගේ විශිෂ්ටතම රූපණය වනුයේ අහසින් පොළොවට සිනමා කෘතියේ එන දොස්තර සරත්ගේ රූපණයයි. දොස්තර සරත් යනු 'පරසතු මල්' හි සිරිසේන, 'දෙලොවක් අතර' හි නිශ්ශංක, 'රන්සළු' හි සිරිල්, 'හන්තානේ කතාවේ' අනුර, 'දුහුළු මලක්' හි සුරවීර මතු නොව 'පවුරු වළලු' හි වික්ටර් වැනි අභිමානවත් රූපණ පවා පසුපසට ඇදදමන පරිසමාප්ත රූපණයකි. ඒ තරමට ටෝනි රූපණයටම උපන්නෙකි.
මේ නිසාම ඔහු දොස්තර සරත්ගේ චරිතයට කළ සාධාරණය සහ ඒ චරිත අභ්‍යන්තරය සොයායාමට ජීවන්ත දයානන්දට තිබුණේ පුදුමාකාර නොඉවසිල්ලකි. ඒ නොඉවසිල්ල අද පොතක් ලෙස අප අතට පැමිණෙන්නේ ඔහුගේ ඒ උත්සාහය සඵල කරමිනි. ඒ 'ටෝනි, දොස්තර සරත් ලෙස අහසින් පොළොවට' ඔස්සේය.
මේ පොත එළිදැක්වීම සඳහා ටෝනිට ආදරය කළ බොහෝ පිරිසක් පෙරේදා (13දා) ජාතික පුස්තකාල ශ්රවණාගාරයට එකතු වූයේ ඔහුගේ මතකයන් රැසක්ද කැටුවය. එහිදී ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් මෙන්ම ටෝනිගේ සහෘදයෝ රැසක් එයට සහභාගි වූහ.
මෙහිදී 'ටෝනිගේ මතකය' සහ අහසින් පොළොවට දොස්තර සරත්ගේ චරිතය පිළිබඳ සනත් ගුණතිලකයන් සිය අදහස් දැක්වූයේ මෙසේය.
“ආදරණීය ටෝනි අයියා රඟපෑ බොහෝ චරිත පිළිබඳ මා මීට පෙර කතා කර තිබුණත්, අහසින් පොළොවට චිත්‍රපටයේ 'දොස්තර සරත්' ගේ චරිතය පිළිබඳ වැඩි යමක් සඳහන් නොවුණේ ඇයිද කියා අදටත් මට හිතෙනවා.
1978 දී අහසින් පොළොවට තිරගත වුණා. මේ කාලයේ මම ඉතා අහම්බෙන් සිනමාවට පිවිස, ප්‍රථම චිත්‍රපටය රඟපා, ඉන්පසු කුමකින් කුමක් වේදෝ යන චකිතය හා බිය සංකාව ඇතිව අනාගතයට මුහුණදෙන ආකාරය පිළිබඳ විවිධ අන්දමට කල්පනා කළ යුගයක්. සිනමාපට නැරඹීමට ලොල්ව සිටි ගැටවරයෙකු වූ මා මෙකී කාලය තුළ සිට අන්දමන්ද තත්ත්වය මත 'අහසින් පොළොවට' නැරඹීම එකල අහසින් පොළොවට වැටී තවත් කොහාට වැටේදැයි සැකයෙන් පසු වූ යුගයක්. නමුත් පසු කාලයේ වී.සී.ඩී. පටයක් ආශ්රයෙන් මෙම චිත්‍රපටය නැරඹූ විට ටෝනි අයියාගේ මෙම රඟපෑම, රංගනයට පිවිසෙන්නට කෝෂ්ටාගාරයෙක් බඳු බව මට පැහැදිලි වුණා.
'අහසින් පොළොවට' මූලික වශයෙන් ටෝනි අයියා රඟපෑ 'දොස්තර සරත්' ගේ චරිතය වටා ගොඩනැගුණු සිනමා කෘතියේ තමාගේ ජීවිත කාලය තුළ තම බිරිඳට නිසි අයුරින් 'සැලකීමට' අපොහොසත් වූ පුද්ගලයෙක් තම වරද පිළිබඳ පශ්චත්තාප වන අන්දම එහි දැකගත හැකියි.
දෙලොවක් අතර චිත්‍රපටයේ නිශ්ශංකගේ චරිතය රඟපෑමේදී ටෝනි අයියාගේ අභියෝගය වූයේ තමා අතින් සිදුවුණු අනතුර සඟවාගැනීම සහ එම සඟවා ගැනීම කොයිතරම් දුරට සර්ව සාධාරණද? සදාචාර සම්පන්නද? යන ගැටලුව විටින් විට දෝලනය වන තරුණයෙකුගේ මානසිකත්වය පිළිබිඹු කිරීමය. නමුත් 'අහසින් පොළොවට' චිත්‍රපටයේ දොස්තර සරත්ගේ රංගනය අතර යම් සමීප සබඳතාවක් තිබුණද චිත්‍රපට දෙකේ චරිත දෙක අතර සුවිශාල රංගන වෙනසක් ජනිත කිරීමට ටෝනි අයියාට සුවිශාල දක්ෂතාවක් ආරෝපණය වී තිබුණා.
'අහසින් පොළොවට' කාලසීමාවේදීම ඔහු රඟපෑ 'පෙම්බර මධූ' චිත්‍රපටයේද ඔහු දොස්තරවරයෙකුගේ චරිතය නිරූපණය කළත්, එම දොස්තර චරිත දෙක අතර වෙනස්ම මිනිසුන් දෙදෙනෙකු ජීවත්වන බව ඔහු කදිමට නිරූපණය කළා.
ලෙස්ටර් මහතාගේ අහසින් පොළොවට චිත්‍රපටය පසුතැවිල්ල යන නමින්ද හැඳින්වීමට හැකි වුණත්, එලෙස පසුතැවිල්ලක් පිළිබඳ ඇඟිල්ලෙන් ඇන කීමට අවශ්‍ය නොවන පරිදි ටෝනි අයියා චරිතයට සාධාරණය ඉටු කළා. තම හොඳම මිතුරාගේ සහෝදරිය සමග ඔහු විවාහ වුවත් ඔවුන් දෙදෙනා එකිනෙකා තේරුම්ගැනීම අතින් දෙඅන්තයක සිටි බව චිත්‍රපටයෙන් කියවෙනවා.
දොස්තර සරත් තම බිරිඳ සමග විහිළු තහළු කළත්, ඒ විහිළුවට යටින් ගොඩනැගුණු උපහාසය ඔහුගේ බිරිඳ විසින් තේරුම්ගැනීමේදී එහි උපහාසයට වඩා අපහාසයක් ඇතැයි බිරිඳට මෙන්ම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂයාට සිතෙනවා.
ඒ වගේම බිරිඳට දොස් පවරන අවස්ථාවලදීත් ඒ හරහා ඔහු තුළ වැඩෙන්නේ මමත්වයද? කුහකකමද? නපුරුකමද ? යන්න විනිශ්චය කරගන්න බැහැ. තම බිරිඳ මුලින්ම හමු වූ අවස්ථාවේදී ඇය විසින් පියානෝවක් වාදනය කළ ගීතය කතාව පුරාම ඔහු කැමතිම ගීතය බව කියනවා. දෙදෙනාගේ එකතු වීමටත්, විවාහ වීමටත් මුල් වන්නේ මෙම ගීතයයි.
පසු අවස්ථාවක දරු ගැබත් දරාගෙන තම බිරිඳ එය වාදනය කරන අවස්ථාවක ඇය බලාපොරොත්තු නොවූ ආකාරයට තමාට බාධා කරන්න එපා යැයි ඔහු පවසන්නේ ප්‍රේක්ෂක අපත් කේන්ති ගස්වමින්. මේ වගේ මුහුණේ ඉරියව් ඉතාම කෙටි කලකදී වෙනස් කරගැනීමේ හැකියාව ඇත්තේ ටෝනි අයියා වැන්නෙකුට පමණක් යැයි මට සිතෙනවා.
මීටත් වඩා ඔහු තේරුම් ගැනීමට අසීරුම අවස්ථාව ලෙස මා දකින්නේ තම බිරිඳ රාත්‍රියේ නාන කාමරයට ගොස් සැමියා අමතන අවස්ථාවේ ඔහු නින්දේ පසුවන අයුරින් හැසිරීමයි. මේ අයුරින් දොස්තර සරත්ගේ චරිතය තුළ ටෝනි අයියා විචල්‍යයන් රැසක් ගෙන එනවා. එහිදී ඔහුගේ මෙම අපූර්ව රංගන ස්වභාවයෙන් දොස්තර සරත්ගේ චරිතයට ටෝනි අයියා සාධාරණයක් ඉෂ්ට කරනවා.
මගේ පරමාදර්ශී නළුවා ටෝනි රණසිංහ බව මා නොයෙක් විට පවසා තිබෙනවා. ගඟ අද්දර චිත්‍රපටයේ රඟපාන අවධියේ ආගන්තුකයෙකු ලෙස ඔහුගේ සෙවණේ රැඳෙමින් සිටි මම යම් යම් දේ විමසුවා. 'රඟපෑම ගැන ටෝනි අයියාට මට කියලා දෙන්න පුළුවන් පාඩම මොකක්ද?' මා වරක් ඔහුගෙන් ඇසූ ප්රශ්නයකි. එවැනි ප්‍රශ්නයකට කෙටි සරල උත්තරයක් දීමට අසීරු බව රංගනය පිළිබඳ හදාරා ඇති ඕනෑම කෙනෙකු පිළිගනු ඇත.
ටෝනි අයියාගේ උත්තරය වූයේ 'ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවූ දෙයක් අධ්යක්ෂවරයාගේ බලාපොරොත්තුවට හානි නොවන ලෙස ඉදිරිපත් කිරීමට හැකි නම් ඔහු දක්ෂයෙක්' යන්නයි. එදා මට ඒ කිසි දෙයක් තේරුණේ නැහැ. නමුත් එය 'අහසින් පොළොවට' නරඹන වාරයක් ගානේ දෙසවන රැව් දුන්නේ ඔහුගේ ඒ සුවිශේෂී රංගනය නිසයි.''
මෙම උලෙළේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා හා කෘතියේ කර්තෘ ජීවන්ත දයානන්ද මහත්වරුන්ද අදහස් දැක්වූහ.
ඡායාරූප හා සටහන - සරසි නෙත්මිණි