ජොනී ඩෙප් මුහුණෙන් මතක හිටින නළුවෙකු යැයි පැවසීමට අපහසුයි. ඔහු ඒ තරමටම සිය පෙනුම චරිතයෙන් චරිතයට වෙනස් කර ඒ ඒ චරිතයන්ට අදාළ හැසිරීම් රටා අනුව ඉදිරිපත් කරන්නෙක්. එයට විලී වොන්කා, කපිතාන් ජැක් ස්පැරෝ, ටොන්ටෝ වැනි චරිත සේම මේ වසරේ නිකුත් වන ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයත් සාක්ෂි වනු ඇති. කලකට වරක් සිනමා රූපණයන්ගෙන් එළියට එන ඩෙප්, ඉතා දැඩි චරිත අධ්‍යනයක් සහ කැපවීමක් ඇති නළුවෙකු ලෙසින්ද ප්‍රසිද්ධයි. මේ සියලු කතාබහ අතරේ ඩෙප් පිළිබඳ කරලියට එන්නේ ඔහුගේ පවුල තුළ ඇති වන යම් යම් නොසන්සුන්තා නිසාවෙන්.
දැඩි සමාජශීලී සහ මිත්‍රශීලී නළුවෙකු නිසා ඔහුගේ රසිකයන් මෙවන් පුවත් විශ්වාස නොකරන අතර, ඒ කෙසේ වුවත් සිය පියාට එරෙහිව එන චෝදනාවලට ඉදිරිපත් වීමට පෙනී සිටීමට ඔහුගේ දියණිය තීරණය කර තිබෙනවා.දාහත් හැවිරිදි ලිලී රෝස් මෝස්තර නිරූපිකාවක් වන අතර, සිය පියාගේ වර්තමාන බිරිය වන තිස් හැවිරිදි ඇම්බර් හර්ඩ් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට විරුද්ධව ඇය මෙසේ පෙනී සිටියි. එසේම පසුව වාර්තාවන අයුරින් ඇම්බර් හර්ඩ් පොලීසියට පැමිණිල්ලක් නිල වශයෙන් ඉදිරිපත් කර නැති අතර, ඇය සිය ස්වාමියා තමන්ට හිංසා කරන බවට පමණක් පොලිස් නිලධාරීන්ට පැවසූ බව වාර්තා වෙයි.
එසේ වුවත් ඇය ඒ පිළිබඳව ලිලීගේ උපන්දිනයද වූ පසුගිය සිකුරාදා උසාවියට නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ මැයි 21 වැනිදා ඔහු මත්ද්‍රව්‍ය සහ මත්පැනින් සප්පායම්ව ඇයට පහර දී ඇය වෙත ජංගම දුරකථනයද විසිකර ඇති බවටයි.ලිලී රෝස් ඉදිරිපත්ව සිය පියා වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ චෝදනාවන්ට විරුද්ධවයි. ඒ පිළිබඳව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් පවසන ඇය පොලීසියට මේ සම්බන්ධයෙන් සාක්ෂි සොයාගැනීමට හැකියාවක් නැති බව පවසයි. ඇය එය පවසන්නේ ඇයට සිටින්නේ ඉතා අපූරු පියෙකු බව පවසමින් ඔවුන්ගේ පැරණි ඡායාරූපයක්ද ඉන්ස්ටග්‍රෑම් වෙත එක්කරමින්.
තවමත් පොලීසියට මේ පිළිබඳව රපෝර්තු කර නොමැති හර්ඩ්, ඩෙප් සමග දික්කසාද වීමට නඩු දමා ඇති අතර, එයින් දින කිහිපයකට පසු හර්ඩ්ට යාර සියයකට එහා දුරකින් ඩෙප් සිටිය යුතු බවටද තීන්දු ලැබී තිබෙනවා. එසේම මේ සිද්ධිය වූ අවස්ථාවේ අම්බර් හර්ඩ්ගේ තඩිස්සි වූ මුහුණේ සේයාරූ කිහිපයක්ද නිකුත්ව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ඩෙප්ගේ හිටපු බිරිය සහ ලිලීගේ මව වන වෙනීසා පවසන්නේ ඩෙප් සංවේදී සහ ආදරණීය මිනිසෙකු බවයි. එසේම ඇය වැඩිදුරටත් පවසන්නේ ඇය ජොනී සමග ගෙවූ කාලය ඇතුළත ඔහු ඇයට කිසිවිටෙක පහරක් නොගැසූ බවත්, තම දරු දෙදෙනා සහ ඔහු සමග ගෙවූ වසර 14ක කාලය ඉතා සුන්දර බවත්ය.
ඇම්බර් හර්ඩ්, තමන් ජොනී ඩෙප් සමග ගෙවූ මාස 15ක කාලය තුළ ඇය ඉතා බයෙන් ජීවත් වූ බව පවසයි. ඒ සමගම ඇය උසාවියේ සිට හඬමින් වාහනයට ගොඩවන ඡායාරූපයක්ද පැපරාසීන් ලබාගෙන ඇත. මේ සියල්ල ඇරඹී ඇත්තේ ඇම්බර්ගේ උපන්දින සාදයට ජොනී පමාවී පැමිණීම හේතුවක් කරගෙනය. එම අඩදබරයෙන් පසු ඇය මසක් යන තෙක් ජොනී නොදුටු අතර, යළි ඇයට ජොනී මුණගැසී ඇත්තේ ජොනීගේ මවගේ වියෝව සිදුවූ පසුගිය සෙනසුරාදාය. ජොනීගේ මවගේ වියෝවෙන් සිත් තැවුලෙන් සිටීම නිසා ජොනී මෙම කලබගෑනි කිසිවකට දැන්මම පිළිතුරු නොදෙනු ඇති බව ඔහුගේ නියෝජිතයෙක් පවසයි.