චැනල් එක ජනප්‍රිය කරන්න සම්මාන උලෙළක් කරන්න අවශ්‍ය නැහැ- හිරු ටී වී අධ්යක්ෂ විරාජ් වැලිවත්ත
හිරු ටී.වී. නාලිකාව විසින් සංවිධානය කරනු ලබන 'හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014' සිනමා සම්මාන උලෙළ හෙට (25දා) සවස 6.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා සිනමා වංශකතාවට ජාත්‍යන්තර සිනමා අත්දැකීමක් එක්කරනු වස් සංවිධානය කෙරෙන බව පැවසෙන මෙම සම්මාන උලෙළට අනිල් කපූර්, සුනිල් ෂෙට්ටි, විවේක් ඔබරෝයි, බිපාෂා බාසු, නේහා ඩූපියා යන බොලිවුඩ් රංගන ශිල්පීන් සහ ප්‍රවීණ ඉන්දියානු ගායිකා අල්කා යාග්නිග්ද ආරාධිතයන් ලෙස සහභාගීවීමට නියමිතය. මෙම සම්මාන උලෙළ සම්බන්ධව හිරු ටී.වී. අධ්යක්ෂ (වැඩසටහන්) විරාජ් වැලිවත්ත මහතා සමග කළ සංවාදයකි මේ.
Q හිරු ටී.වී. නාලිකාවට චිත්‍රපට උලෙළක් කරන්න අවශ්‍ය වෙන්නෙ ඇයි? මේ හරහා උත්සාහ කරන්නේ ජනප්‍රියතාව වැඩි කරගන්නද? නැත්නම් චිත්‍රපට විශාල ප්‍රමාණයක් උලෙළ යටතේ නොමිලේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නද?
ටෙලිවිෂන් නාලිකාවක් විදියට ජනප්‍රිය වෙන්න නම් අපිට සිනමා සම්මාන උලෙළක් කරන්න ඕනි නැහැ. හිරු ටීවී කියන්නෙ වැඩි ප්‍රේක්ෂක පිරිසක් නරඹන නාලිකාවක් නිසා මම තරයේ විශ්වාස කරනවා චැනල් එක ජනප්‍රිය කරන්න සම්මාන උලෙළක් කරන්න අවශ්‍ය නැහැ කියලා. අනික අපි සිනමා සම්මාන උලෙළක් කළේ නැහැ කියලා කවුරුවත් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් කරන්නෙත් නැහැ.
කවුරුන් හෝ කියනවා නම් චිත්‍රපට පෙන්නගන්න ඕනි නිසා සම්මාන උලෙළක් පවත්වනවා කියලා ඒ කෙනා එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතුයි. මොකද දැනට චිත්‍රපටයකට වැඩිම මිලක් ගෙවා විකාශය කරන්නෙ හිරු නාලිකාවෙන්.
එහෙනම් ඇයි අපි චිත්‍රපට සම්මාන උලෙළක් කරන්නෙ කියන කාරණාවට අපි දැන් එමු. ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමනාකාරිත්වය නාලිකාව අරඹපු දවසේ ඉඳලා සැලැස්මකට අනුව තමයි ගමන් කළේ. හිරු ජාතික නාලිකාවක් විදියට සිනමාවටත් ඉඩක් වෙන්කරලා තියෙනවා. මේ අතර කළමනාකාරිත්වය තීරණය කළා හරි හැඩයේ සිනමා උලෙළක් පවත්වන්න ඕනි කියලා. අපි ට්‍රෙන්ඩ් සෙටර්ස්ලා හැටියට ට්‍රෙන්ඩ් හැදුවා වගේ, සම්මාන උලෙළක හැඩය කෙසේ වියයුතුද යන්න පිළිබඳව යම් පූර්වාදර්ශයක් සැපයීමට අවශ්‍ය වුණා.
අපේ රටේ වසරකට විශාල චිත්‍රපට ප්‍රමාණයක් නිපදවුණාට වසරකට ප්‍රදර්ශනය කෙරෙන්නෙ සීමිත ප්‍රමාණයක් පමණයි. මේ සම්බන්ධ යම් යම් ගැටලු තිබියදීත් අපේ රටේ නිෂ්පාදකවරුන් හා අධ්යක්ෂවරුන් තමුන්ගේ ඉඩකඩම් උකස් තබලා පවා චිත්‍රපට හදනවා. ඒවා ජාත්‍යන්තරයේදී සම්මානයට පවා පාත්රවෙනවා. හැමදාම නිර්මාණකරුවන්ට තිබුණෙ ආත්ම තෘප්තිය පමණයි. ඒ ආත්ම තෘප්තියේ ප්‍රධාන දෙයක් තමයි තමන් කරපු නිර්මාණය යම්කිසි වටිනාකමකින් ඇගයීම.
සම්මාන උලෙළක් තියලා සම්මාන ටිකක් බෙදලා දීලා, නමුත් සම්මානවලට කිසිදු අගයක් එක්නොකොට ඔවුන් ගෙදර යවන්නෙ නැතිව ගෞරවනීය තත්ත්වයක් උදාකරලීම අපේ අරමුණ වුණා. මොකද අතීතයේ පැවැති සම්මාන උලෙළවල තිබුණු ගෞරවනීය බව අද නැතිවෙලා තිබෙන පසුබිමක එදා තිබූ ගෞරවය අපේ නිර්මාණකරුවන්ට, නිෂ්පාදකයන්ට, තාක්ෂණ ශිල්පීන්ට ඉහළ මට්ටමින් ලබාදෙන්න තමයි මේ තරම් විශාල, මේ තරම් දැකුම්ළු සම්මාන උලෙළක් ඒ.බී.සී. මාධ්‍ය‘ ජාලයේ කළමනාකාරිත්වය විසින්, මෙතරම් ලොකු පිරිවැයක් දරා සංවිධානය කරන්න අදහස් කළේ.
අපි මේ සම්මාන උලෙළ සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය යොදාගත්තෙ වැඩිම පිරිසකට නැරඹිය හැකි ස්ථානය එය නිසයි. පසුගිය දිනවල සම්මාන උලෙළ සඳහා නිර්දේශිත චිත්‍රපට 30 පිළිබඳ වැඩසටහනක් 'රෝඩ් ටු ද ෆෙස්ටිවල්' නමින් විකාශය කළා. ඒ එක්කම පසුගිය දිනවල ඉන්දියාවේදී හා ලංකාවේදී සම්මාන උලෙළට අදාළ පෙර පුහුණුවීම් සිදුකළා.
මේ සම්මාන උලෙළට සහභාගී වන නරඹන්නට පැමිණෙන පිරිසත් උපරිම ගෞරවය ලබා දී පිළිගන්න හිරු නාලිකාව සූදානමින් සිටිනවා. විශේෂයෙන් ලෝකේ පළමුවරට සියලු දෙනා පැමිණෙන්නෙ රන් පලස මතිනුයි.
25 වැනිදා සවස 5.00 සිට ගෝල්ඩන් කාපට් ඉවෙන්ට් එක ඇරඹෙන අතරම, එය සජීවීව හිරු ටීවී ඔස්සේ විකාශය වෙනවා. ඒ එක්කම සවස 6.00 ට සම්මාන උලෙළ ඇරඹෙනවා.
අපට මේ සම්මාන උලෙළේ යටි අරමුණු නැති නිසා මෙය නොමිලෙයි පවත්වන්නෙ. නැත්නම් අපිට තිබුණා ඉන්දීය ශිල්පීන් විකුණලා සල්ලි ටිකක් ගන්න. අපේ රටේ නිර්මාණවලට දායක වූ හැම ශිල්පියෙක්ම මේ සම්මාන උලෙළට ආරාධනා ලබා තිබෙනවා. මොකද සමහර ශිල්පීන් වසර 10 - 15 චිත්‍රපට ක්ෂේත්රයේ නිරත වුවත් කවදාවත් සම්මාන උලෙළකට ආරාධනා ලබලා නැහැ.
නමුත් අපි මේ චිත්‍රපට 30 පිරිස ඇතුළුව සෙසු සියලුම චිත්‍රපට ක්ෂේත්රයට අදාළ පිරිස්වලට ආරාධනා පත් යවා තිබෙනවා. ඒ එක්කම හිරු නරඹන, හිරු අහන පිරිසකුත් ප්‍රේක්ෂකයන් ලෙස මීට සහභාගී වීමට ආරධනා ලැබ තිබෙනවා.
Q මේ වනවිට තවත් ටීවී නාලිකාවක් විසිනුත් සිනමා සම්මාන උලෙළක් පවත්වනවා. ඊට තරගයක් ලබාදීමත් ඔබ නාලිකාවේ අරමුණක් නේද?
මම පැහැදිලිවම කියනවා 'හිරු' කියන්නෙ හිරු ටීවී ඇරඹීමට පෙර පවා ජනතාවගේ හදවතේ තිබුණු නාමයක්. මේ නිසා කිසිම නාලිකාවක් දිහා බලලා හෝ වෙනත් නාලිකාවක තිබෙන දෙයක් හා තරග කරන්න අපේ කළමනාකාරිත්වයට කිසිම අදසක් නැහැ. අපි බොහොම පැහැදිලිව වෙනස් මාර්ගයක ගියේ.
වැඩසටහනක් හැදුවත් වෙනස්ම විදිහකට. හරියට බැලුවොත් උඩුගම් බලා පිහිනීම වගේ වැඩක්. අපි පුංචි වැඩසටහන්වලට පවා ලොකු අගයක් දුන්නා. හිරුට දැක්මක් තිබෙනවා. මේ නිසා අපි කරන දේ කොහොමද හරියට කරන්නෙ කියන එක අපි ඔප්පු කරලා තිබෙනවා.
මේ නිසා මෙම සිනමා සම්මාන උලෙළ කාගෙන්වත් අහල බලලා හෝ කවුරුවත් කරන නිසා කරපු දෙයක් නොවන බව පැහැදිලිවම කිව යුතුයි.
Q මේ සිනමා සම්මාන උලෙළට බොලිවුඩ් තරු ආනයනය කරන්න වෙලා තියෙන්නෙ ලංකාවේ සිනමා තරු නැති නිසාද?
ලෝකයේ තිබෙන ප්‍රධාන සම්මාන උලෙළ සියල්ලම වගේ ගත්තම ලෝකෙ විවිධ විවිධ පුද්ගලයන් එකතු වෙලා තමයි පවත්වන්නෙ. ලංකාවේ තරු නැත්තෙ නැහැ. මේ ඊයේ පෙරේදා වෙනකම්ම අපේ චිත්‍රපට ජාත්‍යන්තර සම්මාන පවා ගත්තා. ඒ නිසා ජාත්‍යන්තරයේ කතාවෙන තරු අපේ රටෙත් ඉන්නවා.
ඉන්දියානු ශිල්පීන් මෙයට සම්බන්ධ වෙන්නෙ උලෙළට තවත් ආකර්ෂණයක් (ග්ලැමර් එකක්) ලබාදීම සඳහායි.
ඔවුන් මෙහි ඇවිත් අපේ ශිල්පීන් සමග එකතුවෙලා වෙනස් හැඩයක් සම්මාන උලෙළට ලබාදෙනවා. මෙහිදී සිදුවෙන්නෙ විදේශීය ශිල්පීන් ලවා අපේ ශිල්පීන් ඇගැයීමයි.
අනික ඉන්දියාවෙ සිනමාව හා අපේ සිනමාව අද ඊයේ එකතු වූ එකක් නෙවෙයි. අපේ සිනමාව ආරම්භ වුණේ ඉන්දියානු ආභාසය අරගෙනයි. ඉන්දියානු චිත්‍රපටවලට අපේ ශිල්පීන් දායක වෙනවා. උදාහරණයක් ලෙස 'ඉන්දියන් ඩ්‍රීම්' චිත්‍රපටයේදී මේකප් කළේ රංජිත් වික්රමසිංහයි.
මෙම සම්මාන උලෙළේදී මේ කරුණු ගැනත් කතා වෙනවා. අපේ එරල් කෙලී ඉන්දියන් ප්රඩක්ෂන්වල ප්‍රඩක්ෂන් ඩිසයිනර් කෙනෙක් ලෙස කටයුතු කරනවා. මෙතැනදි යමෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඉන්දියාවේ ප්‍රඩක්ෂන් ඩිසයිනර්ස්ලා නැති හින්දද ලංකාවෙ කෙනෙක් ගත්තෙ කියලා. එහෙම දෙයක් නැහැ. මෙතැන තියන්නෙ තමන් හිතන විදිහෙ ගැටලුවකුයි.
අද ලෝකය විවෘත වෙලා තිබෙන නිසා හිතන විදිහ වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා ඇකඩමි එවෝඩ්ස්, ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළවලට වෙන හැඩයක් එක්කරන්නයි අයිෆා සම්මාන උලෙළ අරඹන්නෙ. එතැනදීත් කෙනෙකුට අහන්න පුළුවන් ඇයි අයිෆා උලෙළ රට රටවල පවත්වන්නෙ ඉන්දියාවේ හෝල් නැති හින්දද කියලා.
අපි මේකට බොලිවුඩ් ශිල්පීන් එක්කරගත්තෙ මීට ආකර්ෂණීය බවක්, වටිනාකමක් එක්කරන්න මිසක් අපේ රටේ ශිල්පීන් බාල්දු කරන්න හෝ අපේ ශිල්පීන්ට හානි කරන්න නෙවෙයි. අපේ ශිල්පීන් කොතරම් ඉහළ තැනක සිටිනවාද කියන එක අපි නාලිකාවත් විදිහට හොඳට දන්නවා. අපේ ශිල්පීන් හා ඉන්දියානු ශිල්පීන් කවුරුවත් ඉහළ පහළ නැහැ. ඒ හැමෝම කලාකරුවන්. හැබැයි ඉන්දියානු ශිල්පීන්ට වඩා ලාංකික නිර්මාණකරුවන් ජාත්‍යන්තරයේදී සම්මාන දිනාගෙන තිබෙනවා.
මේක විචත්රවත් උලෙළක්. ජාත්‍යන්තර අත්දැකීමක් සහ ලංකාවේ පළමුවරට ලාංකික උලෙළකදී එකම වේදිකාවකදී ජාත්‍යන්තර ශිල්පීන් විශාල ප්‍රමාණයක් හමුවෙනවා. ඒ හා සමානව ලාංකික ශිල්පීන් ජාත්‍යන්තර ශිල්පීනුත් සමග කරන සැබැවින්ම සම්මාන උලෙළක් තමයි හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 කියන්නෙ.
Q ඔබ කියන විදහට මේ සිනමා උලෙළට ආකර්ෂණයක් ගන්න නම් මේ සම්මාන උලෙළට ගෙන ආ යුතුව තිබුණේ මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය තරු නේද?
මේ ගෙනාපු ශිල්පීන් අතර අනිල් කපූර් කියන්නෙ ඉන්දියාවෙන් එහාට ගිහින් හොලිවුඩයක් ජයග්‍රහණය කළ නළුවෙක්. ඒ වගේම අල්කා යාග්නිග් කියන්නෙ ඇගේ කටහඬ තුළින් ඉන්දියාව හා ලෝකය මවිත කළ ගායිකාවක්.
අපේ සිනමා උලෙළ හා බද්ධ වෙන බොලිවුඩ් ශිල්පීන් තමයි අපි මීට සම්බන්ධ කරගත්තෙ. එහෙම නැතිව ශිල්පීන් පිරිසක් යොදාගෙන වැඩසටහනක් හැදුවෙ නැහැ.
Q ලංකාවේ සෑම සම්මාන උලෙළක්ම ගත්තම එහි විනිශ්චය සම්බන්ධව විවිධ චෝදනා එල්ල වීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම චිත්‍රපට උලෙළට ඔබ නාළිකාවේ සේවය කරන අරුණ ජයවර්ධනගේ 'නිකිණි වැස්ස' එක්වීම තුළ ඊට සම්මාන හිමිවුවහොත් ඊට චෝදනා එල්ලවීමට ඉඩ තිබෙනවා නේද?
අපි මේ සම්මාන උලෙළ සඳහා විනිශ්චය මණ්ඩලය බොහොම වගකීමකින් තෝරාගත්තෙ සහ ඒ විනිශ්චය මණ්ඩලයට කිසිදු බලපෑමක් එල්ල වෙන්නෙ නැහැ කියන දේ වගකීමෙන් කිවයුතුයි. ඒ වගේම සම්මාන උලෙළේ කිසිදු නිර්මාණයකට දායක නොවූ පිරිසක් තමයි විනිශ්චය මණ්ඩලයට තෝරාගත්තේ.
සිනමා සම්මාන උලෙළකට එල්ල වෙන විවේචන අපට කොහොමවත් නවත්වන්න බැහැ. හැබැයි මේ සම්මාන උලෙළේ සියලු තීරණ සර්ව සාධාරණ වේවි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ කිසිදු තීරණයකට අපි බලපෑමක් කරන්නෙ නැහැ. ඒ හැම තීරණයක්ම විනිශ්චය මණ්ඩලයේ තීරණයක් පමණයි.
අනික් කාරණය තමයි අරුණ ජයවර්ධනගෙ චිත්‍රපටය ගත්තොත් ඔහු හිරු ආයතනයේ වැඩකරන අයෙක් නිසා එයා මේ සම්මාන උලෙළට විමසා බැලෙන චිත්‍රපටවලින් ඉවත්කළොත් ඊට දායක වූ සෙසු ශිල්පීන්ට විශාල අසාධාරණයක් සිදුවෙනවා.
අපි 2012, 2013 වසරවල තිරගත වූ චිත්‍රපට මේ සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කරනවා. අපි වසර 02 ක චිත්‍රපට එක් සම්මාන උලෙළකට යොදාගත්තෙ වසරකට තිරගත වන චිත්‍රපට සංඛ්‍යාව සීමිත නිසා සම්මාන උලෙළේ තරගකාරීත්වයක් ඇති කිරීම සඳහායි. එහිදී නිකිණි වැස්ස කියන්නෙ මේ සම්මාන උලෙළේ තවත් එක් චිත්‍රපටයක් විතරයි. මේ කාරණයට මට වඩා විනිශ්චය මණ්ඩලය බොහොම නිරවුල්ව උත්තර දෙයි.
මෙහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් හත්දෙනෙක් ඉන්නවා. ඔවුන් මැජෙස්ටික් සිටි ගොල්ඩ් සිනමා ශාලාවේ එකට සිට සියලු චිත්‍රපට නැරඹුවා. 35mm යටතේ ඉහළම තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවක මෙම කටයුත්ත සිදුකරන්න අපි අදහස් කළේ කිසිදු නිර්මාණයකට අසාධාරණයක් නොවන්නයි.
මෙම සම්මාන උලෙළේදී ප්‍රධාන අංශ 32 ක් යටතේ සම්මාන 40 ක් පිරිනැමීමට තමයි අදහස් කරගෙන ඉන්නෙ. නමුත් එහි අවසන් තීරණය ගත්තෙ විනිශ්චය මණ්ඩලය විසින්. අපි සම්මාන උලෙළෙදි විනිශ්චය මණ්ඩලය සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. ඒ නිසා එහිදී ඔය විනිශ්චයට අදාළ පැත්ත බොහොම විවෘතව අසා නිරවුල් කරගත හැකියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

