ගීයකින් රූපයක් මැවෙන්නේ කෙසේද? ඇතැම් විට ඔබට මෙවන් ගැටලුවක් පැන නැගෙන්නට පුළුවන. සැබැවින්ම ගීතයකට රූපයක් තිබේ. ඔබේ හදවත ප්‍රකම්පනය කරන්නට ඔබේ හදවත අමතන්නට මේ රූපයට හැකියාව තිබේ. අප හදිසියේම ගී රූ ගැන කතා කරන්නේ මන්ද? සැබැවින්ම හෙට (10 වැනිදා) සවස 6.30 ට ලයනල් වෙන්ඩ්ට් හිදී ගී රූ ඔබ එනතුරු බලා සිටින බැවිනි. ආචාර්ය පියසාර ශිල්පාධිපති හා චන්ද්‍රකාන්ති ශිල්පාධිපති ගී රූ බලන්නට එන්නැයි ඔබට ආරාධනය කරන්නේ ප්‍ර‘වේශපත්‍ර මිලදී ගැනීමකින් තොරව නොමිලේය. ගී රූ තුළින් නරඹන්නට, විඳින්නට ඇත්තේ කුමක්ද? ඔබ වෙනුවෙන් අප මේ විමසන්නේ ඒ කරුණයි.
ඇත්තෙන්ම ගී රූ කියන්නේ අපේ සාම්ප්‍රදායික නර්තන සහ බෙර වාදන වලට සමීප ඥාතීත්වයක් දක්වන ගී එකතුවන ප්‍රාසාංගික අත්දැකීමක් ඔබට ලබාදෙමින්, එම රූපයට ඔබේ හිත බැඳුණේ නම් නිවසට කැඳවාගෙන ගොස් නැවත නැවත රසවිඳින්ට හැකියාව ලබාදෙන සංයුක්ත තැටියක්. 10 වැනිදාට අපි මේ සංයුක්ත තැටිය රසික පිරිසට නිල වශයෙන් භාර දෙනවා. %ගී රූ^ මෙතෙක් ඔබ නොවිඳි ආනන්දනීය අත්දැකීමක් වනු ඇති* කාන්ති ශිල්පාධිපති මහත්මිය ගී රූ යනු කෙබඳු කලාංගයක් දැයි පැහැදිලි කළේ එලෙසයි.
ගී රූ තුළින් ඔබ උත්සාහ කර ඇත්තේ හෙළ සංගීතය තුළ නැතිනම් අපේකමට අනුගත වූ නාද රටාවක් තුළ ගැයෙන ගී නිර්මාණය කරන්නටයි. මෙවන් ක්‍රියාවක් තුළ ඔබ බලාපොරොත්තු වුණේ මොන වගේ දෙයක්ද?
අද ළමා පරපුර අපේකමින් ඈත් වෙන බව නිතර නිතර කියන්න පටන් අරන්. නමුත් මේ දේවල් එහෙම වෙන්න බලපා ඇති හේතු ගැන අවධානයක් දක්වන්නේ නැහැ. සැබැවින්ම අද අපේ ජන ගී ගැන, අපේ ආර ගැන අහන්න දැනගන්න ක්‍රමවේදයක් දරුවන්ට නැහැ. ඒ ගැන මාධ්‍යයක් නැහැ. ඇතැම් නිර්මාණ හරහා මතුකිරීමට උත්සාහ ගන්නේ කුමන හෝ නවීකරණයකට ලක් කළ ජන ගී නිර්මාණයි. පැරණි ජන ගී නිර්මාණවලට අලුත් හැඩයක් මතුවූවාට කමක් නැහැ. සෑම දෙයකටම නවතාවයක් ඇති විය යුතුයි. නමුත් එහි තිබෙන අනන්යාතාවයට හානියක් නොකර. සමහර නිර්මාණ තුළ මම දැක තිබෙනවා අලුත් කරන්න ගිහින් එම ජන ආභාසයට හානි පැමිණ වුණු අවස්ථා. අපි තේරුම්ගත යුතුයි පැරණි දෙයෙහි රසයට හානි නොකර ඊට ආලෝකයක් නවතාවයක් ඇති කළයුතු අවස්ථා. මෙයට මම යම් අවස්ථාවල ශිල්පීය මට්ටමේ පිළියම් යොදලා තියෙනවා. නිවැරදි හඬ, නිවැරදි තනු ආශ්‍රිතව අපේ සම්ප්‍රදායික ජන ගී ඔපමට්ටම් කර ගායනා කර, නර්තන සිසු සිසුවියන්ට මගපෙන්වීම පිණිස ගී රූ සංයුක්ත තැටිය එළිදක්වන්න අදහස් කළා.
ජන ගී අපේ ජීවිත වලට අනෙක් හැම කලාංගයකටම වඩා සමීප වෙන්නේ කොහොමද?
අලුත් උපන් දරුවා යම් නිර්මාණයක් රසවිඳින ආකාරය හඳුනන්නෙක් නෙවෙයි. නමුත් අම්මා ඔහු නළවන්නට ගයන ගීතයේ වචන නාඳුනන නමුත් දරුවා එහි ළයාන්විත තාලයට, ස්වරයට හැඬීම නවත්වා නැළවෙනවා. ඇතැම් විට ඒ ගීත තුළ ඇත්තේ මවගේ දින චර්යාවේ සිදුවීම්. පැරණි ගැමියාගේ රැකියාව අනුව ඔවුන්ගේ කාන්සිය මකාගන්නට ඔවුන්ගේ ජීවිතය ගැන කවි ගී ගැයුණා. කරත්ත කවි, පාරු කවි, ගොයම් කවි, නෙලුම් කවි, පැල් කවි, පතල් කවි ආදි වශයෙන් ගැයුණේ ඒ ඒ ගැමි ජීවිතවල ඇතුල් පැත්තයි. තමන්ට වඩා සමීප තවත් දෙයක් කොයින්ද? ජන ගී කියන්නේ ගැමියාගේ ජීවිතය පිළිබඳ විචාරණයක් කීවත් එහි වරදක් නෑ. මේ නිසා ගැමියාට ජන ගීය තමන්ගේම වුණා.
ගී රූ මවන රටාවලට ඔබ නර්තනය සහ වාදනයක් යොදාගෙන තිබෙන්නේ ජනප්‍රිය අංග යොදා ගැනීම අනිවාර්ය සේ සලකන නිසාද?
නර්තනය තුළ එදා වැඩිපුර තිබුණේ ගැමිකමයි. බෙර හඬක් ඇහෙන කොට එය ගීතයක් ලෙස නොගැයුණත් නැටවෙන්නේ ගැමියන්ගේ ආධ්‍යාත්මය තුළ රිද්මයට තිබුණ තැන නිසයි. එය තමයි අපේ සාම්ප්රදායකත්වයේ ඇති අභිමතය පෙරට ගෙන එන්නට අත හිත දුන්නේ. ලෙඩක් දුකකදී ශාන්තිකර්ම වලදී නර්තනය හා වාදනය ගැමියන්ට ඉතාම සමීප දෙයක්. මේ ගී රූ ප්‍රසංගයේ ශිල්පාධිපති රංගායතනයෙන් ගුරුහරුකම් ලද ගෝල පිරිසගේ දක්ෂතාත් ඉදිරියට එනවා. නර්තනය තුළින් ජාත්‍යන්තරයට ගිය චන්දන වික්‍රමසිංහ, සාම්ප්‍රදායික බෙර වාදනයෙන් ඉදිරියට ගිය රඛිත වික්‍රමරත්න වගේම වාදන අංශයෙන් ඉදිරියට ආ තවත් දරුවන් දෙදෙනෙක් මේ කාර්යයේදී මා සමග එක් වී ගී රූ රටා මවනවා.
සැබැවින්ම මේ කලා ජීවිතයේදී මා මුලින් කළ හෙළ ජන ගී සංයුක්ත තැටිය අද දිවයිනේ බොහෝ පාසල් වල, රාජ්‍ය ආයතන වල උත්සව අවස්ථා සඳහා නිර්මාණය කරන ජන ගී ආර මුල් වූ අංගවලදී යොදා ගැනෙනවා. අපේ බෙර හේවිසි වාදනවල තිබෙන ගාම්භීරකම අපටම පමණක් ආවේණික දෙයක්. මේ තුළ ඔබට මොහොතක් දැහැන්ගත වී හිතට දැනෙන ශාන්තිය අත්දැකීමෙන්ම විඳගන්න නොවරදවාම 10 වැනිදාට ලයනල් වෙඩ්න්ට් ශාලාවට එන්න.
ඔබ ගෙන ආ යුත්තේ රස විඳින්නට, අවැසි ඔබේ දයාබර හිත පමණයි. . ගෙන යන්නට ඔබට දිය හැකි අපේකම අප්‍රමාණයි.