කිරි දුන්නේ දරුවන්ටයි හා ලස්සනට පිපුණු වන මල් ආදී ගීත රචනා කළ මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රී සුමන අභයදාන සංගමය විසින් දසවැනි වරටත් ආනන්ද මෛත්‍රිය නාහිමියන් සිහිකොට පිංකම් මාලාවක්, උපහාර උලෙළක් හා සමාජ සත්කාර රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එළඹෙන 08 වැනිදා උදෑසන 9.00 සිට මහරගම චන්ද්රශේඛරාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම වැඩසටහන පිළිබඳ තතු දැනගැනීමට අපි සුමනශාන්ත හිමියන්ව සම්බන්ධ කර ගතිමු.
Q මුලින්ම සිදුකෙරෙන කටයුත්ත ගැන පැහැදිලි කළොත්?
මරණයට කැපවුණු අසරණ ගවයන් විශ්වාසදායක ගම්වාසීන් අතර නීත්‍යනුකූලව බෙදාදීම, මෙසේ බෙදාදෙනු ලබන ගවයන් නිසියාකාරව නඩත්තු කිරීම පිණිස සංගමය විසින් කමිටුවක් පත්කර ක්‍රියාත්මක කිරීම සිදුකරනවා. එසේම සංගීත ප්‍රසංග, කවි සංවාද, විකට රසාංග, කථික තරග වැනි විශේෂාංග ඇතුළත් ප්‍රසංග පැවැත්වීම, මළකුණු අනුභවයෙන් ශරීරයට ඇති වන්නාවූ රෝගාබාධ වළක්වා පෝෂ්‍යදායී ආහාරවේලක් පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳ සුවිශේෂී නිර්මාංශ ආහාර වැඩමුළුවක් ආදිය මෙදින පැවැත්වෙනවා.
මෙම රසවත් ආහාර නොමිලයේ පිරිසට බෙදාදෙනවා. සෞඛ්‍ය හා අමද්‍යප සංවිධානයේ ජාත්‍යන්තර අධ්යක්ෂ විලීරීත්, ඉසෙඩ්, සුවිනීතා සහ ශාන්තා යන මහත්ම මහත්මීන් විසින් මෙම වැඩසටහන පවත්වනවා. එමෙන්ම මත් රකුසාගෙන් හා දුම් රකුසාගෙන් සමාජයට සිදුවන විපත් උවදුරු වටහාදී විවිධ උපක්‍රම අවබෝධ කරදෙන විශේෂ දේශනයක් ප්‍රවීණ මාධ්‍යවේදී ලක්දාස් ප්‍රනාන්දු මහතා විසින් පවත්වනවා. එමෙන්ම උදෑසන මොලමුරේ නන්දාරාම හිමියන්ගේ මූලිකත්වයෙන් බෝධි පූජා කිරි ආහාර පූජාව හා සෙත් පිරිත් දේශනා ඇතුළු ආගමික වතාවත් සිදුකරනවා. මෙහි සියලු සංවිධාන කටයුතු මහරගම ශ්‍රී චන්ද්රශේඛරාරාම විහාරස්ථ දායක සභාව හා කාන්තා සංවිධානය විසින් සිදුකරනවා
අනතුරුව සවස් යාමේ සිනමාවෙන්, සංගීතයෙන්, පුවත්පත් කලාවෙන් හා සමාජ සේවයෙන් දෙයක් කළ පිරිසට සම්මාන දෙන්න අපේ ශ්‍රී සුමන අභයදාන සංගමය තීරණය කර තිබෙනවා. ගුවන් විදුලිය හා චිත්‍රපට අංශයේ ප්‍රවීණයන් වන ආරියදාස පීරිස් මහතාට, ශාසනික මෙහෙවරක් කළ මහරගම චන්ද්‍රසේකරාරාම විහාරාධිපති පණ්ඩිත මොලමුරේ නන්දාරාම හිමියන්ට, සිනමාව පාර්ශ්වයෙන් සතිස්චන්ද්‍ර එදිරිසංහ මහතාට, ගායිකාවක වශයෙන් බොදු ගී ගැයූ විවියන් බොරලැස්ස ගායිකාවට, ගීත රචකයෙකු කවියෙකු නාට්‍ය රචකයෙකු වශයෙන් මර්වින් සේනාරත්න මහතාට, මැජික් සීයා නමින් හඳුන්වන වඩු වැඩෙන් ආදී ගීත ගායනා කළ රංජිත් පීරිස් මහතාට හා අපේ අමද්‍යප කටයුතුවලට සම්බන්ධ වී වගේම කැමරා ශිල්පයට සම්බන්ධ වී කටයුතු කළ ලක්දාස් ප්‍රනාන්දු මහතාට යන අයට මෙහිදී සම්මාන පිදෙනවා.
Q ඔබ වහන්සේගේ ගීත රචනා කටයුතු ගැන පැවසුවොත්?
මගේ මුල්ම ගීතය රචනා කළේ අවුරුදු 25 දී පමණ. ලස්සනට පිපුණු වනමල් - ගල් පීරන දියවැල් ගීතය මම රචනා කළේ නිහාල් නෙල්සන් මහතාට. බෝගන්විලා ආදී ගීතත් රචනා කළා. පසුකලෙක මහපොළ ධර්ම යාත්‍රා සේවයේ ධර්ම චාරිකා කරන කාලයේ එපා එපා මස්කන්නට කිරි අම්මාගේ ගීය රචනා කළා. සීටී ප්‍රනාන්දුගේ මුතු මැණිකෙ, කලේ අරන් ආදී ගීත 200 ක් පමණ රචනා කර තිබෙනවා.
අනතුරුව මම කල්පනා කළා මේ ගීතය ලිව්වා වගේ ආදර්ශයක් විදියට ගවයන් නිදහස් කරන්න ඕන කියලා. නිහාල් නෙල්සන් මහතාටත් කතා කරගෙන මේ අභයදාන සංගමය පිහිටුවාගෙන මේ වනවිට ගවයන් 1500 ක් පමණ නිදහස් කර තිබෙනවා. ලෝකය පුරාම අපි මේ වැඩපිළිවෙළ රැගෙන යනවා. නමුත් අපිට බැරිවුණා ලංකාවේ ගව ඝාතනය නතර කරන්න. නමුත් කවදා හරි අපේ මේ උත්සාහය ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමයි.
Q මෙම වැඩසටහන හරහා කොපමණ ප්‍රගතියක් ලැබී තිබෙනවාද?
සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. අපි නිදහස් කරන ගවයන් ලේසියෙන් කෙනෙකුට දෙන්නෙ නෑ. අපි දෙන්නෙ පන්සලේ හාමුදුරුවො, ගමේ ග්‍රාමසේවක වැනි අයගෙන් අදාළ පුද්ගලයන් ගැන නිසි සොයා බැලීමක් කරලා ගෙයක් තියෙනවද?, ඉඩමක් තියෙනවාද? මඩුවක් තියෙනවද කියල බලලායි. නීතියෙනුත් සහාය අරගෙන තමයි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්නෙ. ක්‍රමවත් සංවිධානයක් අපිට තිබෙනවා.
Q මෑත කාලීනව ගීත රචනා ආදිය සිදුකෙරෙන්නෙ නැද්ද?
මෑත කාලීනව ලියපු ගීත කිහිපයක් පටිගත කළා. සංසාර භවේ ගීතය පුන්සිරි සොයිසා ගායනා කරනවා, ඉන්ද්‍රාණි පෙරේරා රන්මිණි මුතු ගීතය ගායනා කරනවා. එම ගීත ඇතුළත් රන්මිණි මුතු සංයුක්ත තැටිය පසුගියදා නිකුත් වුණා. පුළුවන් වෙලාවට රටට ජාතියට වැදගත් වන ගීත රචනා කරනවා.
Q ඔබ වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වුණේ කොයි කාලෙද?
මම වසර 35 දි පමණ විදේශ රටකදී අනගාරික වුණා. පසුව තාවකාලිකව වසර තුනක් පැවිදි වෙලා හිටියා. අවසාන වරට පවුල් බරින් තොරව අවුරුදු 12 ක් වෙනවා පැවිදිවෙලා. මහණ උපසම්පදා වෙලා බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාමයේ තමයි මං පදිංචි වෙලා ඉන්නෙ. මගේ ගුරු හිමියන් තමයි ලුණුවිල ශ්‍රී සුමනරතන හිමියන්. මම විහාරස්ථානයේ තව කටයුත්තක් කරනවා. එය තමයි කෞතුකාගාරයක් ආරම්භ කිරීම.
මහානායක හිමිවරු, යතිවරු, විරුවන් ගැන ඡායාරූප, ප්‍රස්තා පිරුළු, ලෝකයේ විද්‍යාඥයන්, ක්‍රීඩකයන්, ගායකයන්, නළු නිළියන් යන අයගේ සේයාරූ එහි සුරක්ෂිතව තිබෙනවා.ශ්‍රී සුමන අභයදාන සංගමය පිළිබඳව 076 679 1028 අංකයෙන් මීගහවල සුමනශාන්ත හිමි වන මාහට ඇමතුමක් ලබාදීමෙන් දැනුවත් වීමට හා අප සංවිධානයට සම්බන්ධ විය හැකියි.