සර්කස් කලාව රැකගන්න නම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සර්කස් කලාව බලන්න කියලා ඉල්ලනවා
ජාතික තරුණසේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවය මූලිකත්වයෙන් ඉදිරිපත් කළ 'යූත් විත් ටැලන්ට්' වැඩසටහන මෙරට රියලිටි වැඩසටහන් කෂේත්රය වෙනතකට යොමුකළ වැඩසටහනක් බව අවිවාදයෙන් පිළිගත හැකි කාරණයකි. එහි අවසන් මහා තරගය ජයග්‍රහණය කළ සර්කස් ශිල්පී දිලීප දිනුෂ් මල්ලවආරච්චි සමග 'අද' අපි කතාබහ කළෙමු.
Q ඔබ සර්කස් සඳහා යොමු වූ ආකාරය සඳහන් කළොත්?
මගේ පාසල් අධ්‍යාපනය අවුරුදු 10 දී පමණ කඩාකප්පල් වුණා. ගහකින් වැටිලා කකුල කැඩුණු නිසා පාසල් යන්න බැරි වුණා. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුණ නිසා මම ත්‍රීවිල් හදන වැඩපොළකට ගියා වැඩ පුරුදුවෙන්න.ඒ වැඩපොළේ වැඩකරගෙන ඉද්දි ඈගල්ල ගමට සර්කස් කණ්ඩායමක් ආවා.මම සර්කස් බලන්න ගියාම මට ආසා හිතුණා. සර්කස් එක බලද්දි මටත් සර්කස් පුරුදුවෙන්න ආසාවක් ඇතිවුණා.
මාවත් සර්කස් කණ්ඩායමට ගන්නවාද කියලා ඇහුවා. බුලත්සිංහල උපුල් අයියා එක්ක මම කතාකරලා ඒකට යන්න ගෙදරින් කැමැත්ත ඉල්ලුවා. ඒත් ගෙදරින් කැමති වුණේ නැහැ. ඒත් කොහොමහරි මම ගියා. මගේ මාමා කෙනෙක් මාව සර්කස් එකකට එක්කගෙන ගියා.ඒකෙ නම කැසපියා. එහි මම අවුරුදු අටක් විතර සේවය කළා. ඊටපස්සෙ ඒක කරපු බොස්ට ඒ සර්කස් එක නවත්තන්න වුණා. දැන් මම ඉන්නෙ සකුරා කියන සර්කස් එකේ.
මට සර්කස් උගන්නපු ගුරුන්නාස්සේ තමයි අගලවත්තේ නිමල් ගුරුන්නාන්සේ. මේවිදිහට ටිකෙන් ටික සර්කස් ඉගෙනගෙන සංදර්ශනවලට ගිහින් ඉගෙනගත්තා. ඒවිදිහට තමයි මේ තත්ත්වයට ආවේ. මම තාමත් ඉතින් මොනවා හරි අලුත්දෙයක් පුරුදුවෙනවා.
Q යූත් විත් ටැලන්ට් වැඩසටහනට ඉදිරිපත්වුණේ කොහොමද?
සකුරා සර්කස් කණ්ඩායමේ සංදර්ශනයක් කුමාරකන්ද ගමේ පවත්වද්දි ඒක බලන්න ආපු මහත්තයෙක් මාව හම්බවෙන්න ආවා. යූත් විත් ටැලන්ට් වැඩසටහන ගැන කියලා අයදුම්පත්‍රයක් පුරවලා තරගයට දැම්මෙ ඒ මහත්තයා. ඒ මහත්තයා තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ සේවා නිලධාරී අශෝක රත්නායක.
Q තරගය ගැන මොකද හිතෙන්නේ?
ජාතික තරුණසේවා සභාවයි ස්වාධීන රූපවාහිනියයි එකතු වෙලා යූත් විත් ටැලන්ට් වැඩසටහන ආරම්භකළේ නැතිනම් අපි වගේ දක්ෂතා තියෙන පුද්ගලයන්ලෝකෙට හඳුන්වාදෙන්න වෙන්නේ නැහැ. එහෙම නැතිනම් මේ කිරුල අපට ගන්න වෙන්නෙ නැහැ. මේ ආයතන දෙක නිසා තමයි අද මුළු ලංකාවම මාව දැනගත්තේ.
Q ජයග්‍රහණය ලැබෙයි කියලා හිතුවද?
මම ජයග්‍රහණය නෙවෙයි බලාපොරෙත්තුවුණේ. සර්කස් කලාව නැවෙන කලාවක්. ඒකට රජයෙන් කිසිම අනුග්‍රහයක් නැහැ. එහෙම කලාවක් කරන මට මේ කලාව මුළු ලෝකෙටම ඉදිරිපත්කරන්නයි අවශ්‍ය වුණේ. අපටත් ලෝකය ජයගන්න පුළුවන්, නමුත් අපේ දුප්පත්කම ඒ ජයග්‍රහණයට හරස්වුණා. එහෙම වුණත් සර්කස් කලාව ප්‍රසිද්ධ කිරීමයි මගේ අරමුණ වුණේ. මම ඒක කළා.
Q ඔබ මේ තරගයේදී ඉදිරිපත් කළ දක්ෂතා ගැන කතා කළොත්?
මේ තරගයේ ආරම්භයේදීම කියන්නේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත වියයුතුයි කියලා. මම මුලින්ම පැද්දෙ තනිරෝදෙ බයිසිකලයක්. ඊටපස්සේ පොඩි ළමයෙක් කරේ තියාගෙන තනිරෝදෙ බයිසිකලය පැද්දා. අඩි හතක් උඩ තනිරෝදෙ බයිසිකලයක් පැද්දා. ඊටපස්සෙ මම අතින් අල්ලන්නේ නැතුව දත්වලින් එල්ලිලා කැරකුණා. ඒවගේ බිහිසුණු දර්ශන කළා. ලංකාවේ සර්කස් කලාවේවත් නොකරන දෙයක් තමයි අඩි හැටක් විතර උස ඔන්චිල්ලාවේ සෙල්ලම් කරපු එක.අවසාන වටයේදී තමයි අනිත් දර්ශන කළේ.මගේ හැකියාව උපරිමයෙන් ඉදිරිපත් කරන්නයි මට අවශ්‍ය වුණේ.
Q වර්තමානයේ සර්කස් කලාවට තිබෙන තත්ත්වය කතාකළොත්?
කොළඹ පැත්තේ සර්කස් පෙන්වන්න අමාරුයි. අපිව ගණන් ගන්නේ නැහැ. අන්න සර්කස්කාරයෝ ටිකක් ඇවිල්ලා කියලයි කට්ටිය කතා කරන්නේ. ඒවගේම විනෝද බද්දත් වැඩිවෙලා. එහෙම ගෙවලත් සාර්ථකව කරගන්න බැරිවෙලා තියෙනවා.චීන සර්කස් කණ්ඩායමක් ලංකාවට ආවොත් ටිකට් එකක් ලොකු මුදලක් වෙනවා. නමුත් ලංකාවේ අපි බොහොම අඩු මුදලකට සර්කස් පෙන්වනවා. එහෙම කරලත් සර්කස් බලන පිරිස අඩුයි.
Q සර්කස් කලාවේ වර්ධනයට ඔබ රජයෙන් ඉල්ලන්නේ කුමක්ද?
මේ සර්කස් කලාව රැකගන්න නම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සර්කස් කලාව බලන්න කියලා ඉල්ලනවා. මොකද මේ කවුරුත් සර්කස් දැකලා නැහැ කියලයි මට හිතෙන්නේ. මම වැඩකරන සර්කස් එක බලල අපට කරන්න පුළුවන් සහයෝගය දක්වන්න කියලයි මම ඉල්ලන්නේ.
අපට ලෝකය ජයගන්න පුළුවන්. ඒතරම් දක්ෂයෝ සර්කස් කණ්ඩායම්වල ඉන්නවා. නමුත් මේ කවුරුත් පෝසත් අය නෙවෙයි. ඕනෑම රස්සාවකට ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් වුණත් සර්කස් කලාවට එහෙම බැහැ. ඒකට කැපවීම තියෙන්න අවශ්‍යයි.
Q මේ තරගය ඉදිරියටත් පැවැත්විය යුතුයිඔබ සිතනවාද?
යූත් විත් ටැලන්ට් වැඩසටහන අනිවාර්යයෙන් ඉදිරියටත් පවත්වන්න කියලයි මම ඉල්ලන්නේ. මොකද සැඟවුණු හැකියා දක්ෂතා තිබෙන තරුණ තරුණියන් තවත් ඉන්නවා. දක්ෂතා තියෙන ගොඩක් අය ලංකාවෙ ඉන්නවා. ඔවුන්ටත් මට වගේ අවස්ථාවක් ලැබුණොත් ලංකාවේ නම තියන්න පුළුවන්.
Q මේ ජයග්‍රහණය සඳහා ඔබට උදවු කළ පිරිස මතක් කළොත්?
මුලින්ම මගේ අම්මා ඇතුළු පවුලේ අයට මම ස්තුතිවන්තවෙනවා. මුලින් මම මේ වැඩසටහනට තනියම ඉදිරිපත් වුණත් අවසානයේ අපේ ගමේඅය වගේ බොහෝ දෙනෙක් සහයෝගය දැක්වූවා. නම්වශයෙන් කියනවානම් බොහොම අය ඉන්නවා. ඒවගේම මේ අයදුම් පත්‍රය පුරවලා තරගයට දාපු තරුණසේවා නිලධාරීතුමාට, තරුණසේවා සභාවට වගේම අයි.ටී.එන්. එකටත් මම ස්තුතිවන්ත වෙනවා.
0777 409 757
ඡායාරූප - මිහිර බණ්ඩාර