සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක වන දුලීකා මාරපන කලකට පසු ටෙලිනාට්‍යයකට රංගන දායකත්වය ලබාදෙන්නේ 'සුදු අඟුරු' ටෙලිනාට්‍ය සඳහාය. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව තුළින් විකාශය වන එම ටෙලිනාට්‍යය ගැන හා කලාව ගැන කතා කිරීමට ඇය අප හා මෙලෙස එක්විය.
Q 'සුදු අඟුරු' ටෙලිනාට්‍යයේ 'පට්ට රාණි' චරිතය ගැන මුලින්ම කතා කළොත්
'පට්ට රාණි' කියන චරිතය භාරගන්න හේතු කිහිපයක් තිබෙනවා. එකක් ජී. නන්දසේන මහත්මයා සමග මම කාලයක් තිස්සේ වැඩකරලා තිබෙනවා. ඒ වගේම මම අවුරුදු දෙකක් දෙකහමාරක් පමණ කිසිම ටෙලිනාට්‍යයක් භාරගත්තේ නැහැ. %පට්ට රාණි^ කියන චරිතය ගොඩනගලා දෙන්න කියලා %සුදු අඟුරු^ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා මගෙන් ඉල්ලීමක් කළා. එය වෙනස්ම විදිහක චරිතයක්. ඒ ඉල්ලීමත් එක්ක තමයි මම නිර්මාණය භාරගත්තේ. නිර්මාණය කරගෙන යන විට පැමිණෙන අපහසුතා තිබෙනවා. ටෙලිනාට්‍යයක්, සිනමාපටයක්, වේදිකා නාට්‍යයක් කියන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙකුගේ කාර්යභාරයක් නෙවෙයි. එය කණ්ඩායමක එකතුවකින් නිර්මාණය වූවක්. පිටපත් රචනයේ සිට එය විකාශය දක්වා හැමදෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා. වර්තමානයේදී නිම කළ පිටපත් ලැබෙන්නේ නැහැ. දර්ශන තමයි ලැබෙන්නේ. නාට්‍යය ආරම්භ කරද්දී හොඳ පිටපතක් ලැබුණා. පසුව දර්ශන තමයි ලැබෙන්න පටන් ගත්තේ. එහෙම වුණාම නිර්මාණය නිසි ලෙස ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් රංගන ශිල්පීන් ලෙස අපි අපහසුතාවකට පත්වෙනවා. අපි ප්‍රතිනිර්මාණය කරන චරිතය ගලා යාමකින් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීමේ යම් අපහසුතාවක් ඇති වෙනවා. ඒ කොහොම වුණත් නිර්මාණයට සාධාරණයක් කරන්න අපි බැඳී සිටිනවා.
Q මුල් කාලයේ සිටම මෙගා නාට්‍ය ආකෘතියට ඔබ එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ නේද
මං කියන්නේ මෙගා නාට්‍යය අපේ රටට හානිකර වෙලා තිබෙනවා. මේ දීර්ඝ මාලා නාට්‍ය නිසා හොඳ ගුණාත්මක නිර්මාණ බිහිවීම නතරවෙලා තියෙන්නේ. මම නිතරම කියන දෙයක් තමයි දීර්ඝ නාට්‍ය තුළ පවා අපිට ගුණාත්මක නිර්මාණ බිහිකළ හැකියි කියන දේ. පසුගිය කාලේ 'මලී' සහ 'අත්තම්මා' යන නිර්මාණ අතිශය ප්‍රේක්ෂක ආදරයට පත් වුණා. මට පෞද්ගලිකව ඒ වෙනුවෙන් ලොකු හැදෑරීම් සිදුකරන්න අවශ්‍ය වුණා. අපේ තිබුණු දේශීය වෙදකම, යන්තර මන්තර ගුරුකම් ශාස්තර, සංස්කෘතිය ආදී කාරණා ගැන නිරන්තරම ඒ තුළ කතා කළා. 'මලී' හා 'අත්තම්මා' නාට්‍යවල ඩිංගිරි අම්මා චරිතය ප්‍රේක්ෂකයෝ අතිශය ආදරය කළ චරිතයක් වුණා. මේ චරිතය හරහා අපි සමාජගත කළයුතු හොඳ දේවල් බොහෝ ප්‍රමාණයක් කතා කළා. අපිට ප්‍රේක්ෂකාගාරය දැනුවත් කරන විදිහට හෝ ප්‍රේක්ෂකාගාරයට යම් වටිනාකම් එක්කරන විදිහේ දීර්ඝ නාට්‍ය කළ හැකියි. නමුත් ගැටලුව තිබෙන්නේ හතු පිපෙනවා වගේ අර්ථ විරහිත ප්‍රේම කතා බිහිවීම. ඒ තුළ ප්‍රේමයක් දකින්න ලැබෙන්නෙත් නැහැ. බොහෝ විට දකින්න ලැබෙන්නේ අනියම් සබඳතා. මේ ටෙලිනාට්‍ය ඔස්සේ සමාජය ප්‍රතික්ෂේප කරන්නා වූ සම්බන්ධතා වලට වටිනාකම් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඔය කියන කාරණාවලට මම පැහැදිලිවම විරුද්ධයි. ඉන්දියානු නාට්‍ය පරිශීලනය කරමින් ඒ ආකෘතියටම අපි සිංහල නාට්‍ය කරනවා. ඒ නිර්මාණ වල අනියම් සබඳතා තමයි උලුප්පා දක්වන්නේ. මෙය දීර්ඝකාලීනව පෙන්වීමෙන් එහි ඇති වැරැද්දක් නෑ කියන දේ සමාජගත වෙනවා. ඉතා හොඳ පිටපත් නිර්මාණය කර, ඉතා හොඳ නාට්‍යය අපිට කළ හැකියි. එහෙත් ඉන් ඉවත්ව අර්ථ විරහිත නිර්මාණ කරන එකට මම විරුද්ධයි.
Q කාලයක් ටෙලිනාට්‍යවලින් ඉවත්ව වේදිකාව හා සිනමාවට වැඩි ඉඩක් ලබාදෙන්න මේ කාරණා හේතු වුණාද
ඒකත් එක හේතුවක් වුණා. අපි භාරගත්ත වෘත්තිය බවට පත්වෙන්නේ මේ කලාව. නිර්මාණකරණයට රංගන ශිල්පිනියක් ලෙස ප්‍රවේශ වූ පසු මේ තුළ තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. මට අවශ්‍ය හා මම රුචි නිර්මාණ බිහි නොවන්නේ නම් ඉන් දුරස් වෙන්න මට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මට එවැනි නිර්මාණ බිහිකරන්න සිද්ධ වෙනවා. එහිත් ගැටලු තිබෙනවා. අද වන විට සමහර කණ්ඩායම් විසින් චැනල් වල බෙල්ට් බදු අරගෙන තිබෙනවා. අලුත් කෙනෙකුට චැනල් එක්ක කාලයක් වෙන් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි වේදිකාව හා සිනමාව වඩා යහපත් කියලා අපි තෝරා ගන්නේ.
අනිත් අතින් පසුගිය කාලයේදී 'ලෝරන්ස්ගේ මනමාලි' නාට්‍යය ප්‍රේක්ෂකයන් අතරට ඉතා සාර්ථකව යමින් තිබුණා. සතියකට දර්ශන වාර තුනක් හතරක් වේදිකාගත වුණා. මට රූගත කිරීම්වලට කාලය දෙන්න බැරි නිසා ටෙලිනාට්‍යයක් භාරගන්න අපහසුතාවක් තිබුණා. ඒ වගේම 'සුපර්ණා' නමින් චිත්‍රපටයක් කළා. එයට වැඩි කාලයක් යොදවන්න සිද්ධ වුණා. කල්යාන රණවක මහතායි එය නිෂ්පාදනය කළේ. එය අධ්‍යක්ෂණය කළේ සුජීව විසින්. ඔවුන් දෙදෙනාට මගෙන් විය යුතු වැඩකටයුතු තිබුණා. එහි කළමනාකරණය සහ සම්බන්ධීකාරක වැඩකටයුතු සිදුකළේ මම.
Q මේ සිනමා නිර්මාණය හරහා සමාජගත කරන්න උත්සාහ කරන්නේ මොකක්ද
'සුපර්ණා' හරහා අපි කතා කරන්නේ ලංකාවේ මෙතෙක් කලක් කතා නොකළ මාතෘකාවක්. වෙනත් රටවල් වල මේ මාතෘකාව ඉතා විශාල කතිකාවක් ඇති වෙනවා. අපි සිනමා නිර්මාණය පුරාම කතා කරන්නේ ජාන විකෘති වීම (ක්ලෝනීකරණය) ගැන. එය පැය 48ක් තුළ සිදුවන සිද්ධි ජාලයක්. අපේ රටට අාවේණික සියලුම ශාකයන් අපිට අහිමි වෙමින් පවතිනවා. ඒ ඇයි කියලා බැලුවොත් විවිධ ව්‍යාපාර හා පර්යේෂණ විසින් අපිට ආවේණික ශාක හා සත්ත්ව කොටස් මේ භූමියට අහිමි කරමින් තිබෙනවා. උදාහරණයක් කිව්වොත් පසුගිය කාලේ තිබුණා පිටිමකුණාගේ රෝගය. මේ රෝගය ගැන සොයද්දි අපිට හමුවන දේ තමයි පිටිමකුණා කියන්නේ ස්වාභාවික සත්ත්වයෙක් නෙමෙයි කියන එක. නිර්මාණය කරන ලද සත්ත්වයෙක්. පිටිමකුණා අපේ රටේ දේශීය පලතුරු සියල්ල විනාශ කරනවා. අපි ජාන විකෘති කරන ලද පලතුරු තමයි කන්නේ. ඒ පලතුරුවලින් නැවත පැළයක් ලබා ගැනීමටත් හැකියාවක් නැහැ. මෙහෙම වුණත් අපිට තිබූ පලතුරු සියල්ල විදේශ රටවලින් අපේ වෙළෙඳ පොළට පැමිණෙනවා. මොර, පැපොල් වර්ග පැමිණෙනවා. විශාල ලාභ එයට හිමිවෙනවා. අපටත් නොදැනීම ජාන මංකොල්ලය දිර්ඝ කාලයක් තිස්සේ සිදුවෙනවා. එය ආණ්ඩුවකට ඇඟිල්ල දික් කළයුතු කාරණාවක් නෙවෙයි. අපි අපිට ඇඟිල්ල දික් කරගත යුතු කාරණාවක්. මෙහි වරද තිබෙන්නේ අපි අතේ. අපේ රටට සිදුවෙන්නේ කුමක්ද කියලා අපිට අවබෝධයක් නෑ. අපි අනෙකා දෙස බලනවා. අන් ජාතීන්ගේ වර්ධනය ගැන බලනවා. අපි උපත් පාලනය කරනවා. මීට පෙර පරම්පරාවල් දරුවෙක් බරක් කියලා හිතුවෙ නැහැ. වේලක් ඇර වේලක් හෝ කන්න දුන්නා. මේක ජාතිවාදයක් නෙමෙයි. අපි අනෙකා දෙස බලා ඉරිසියා කරනවා. නමුත් රටට සිදුවන දේ හෝ අපේ පවුලට වෙන දේ අපි දන්නෙ නැහැ. වතුර බෝතල් කරන ආයතන හතර වටේ තියෙනවා. කිසිම ප්‍රමිතියක් නෑ. උල්පත් ජලය නැති කරනවා. මේ රට කරන්න එන අයට දැක්මක් නැහැ. විෂය පිළිබඳ දැනුමක් නෑ. එය රටකට කෙතරම් ඛේදවාචකයක්ද? අපි මේ පොළොව ආරක්ෂා කරගත යුතුයි. නූපන් දරුවන්ට මුඩුබිමක් පමණයි අවසානයේ ඉතුරු වෙන්නේ. මෙය ආරක්ෂා කිරීම අපේ වගකීම. %සුපර්ණා^ බිහි කරන්නේ මේ පිළිබඳ මතක් කර දීමට හා වෙනස් නිර්මාණයක් සමාජගත කිරීමටයි.
Q සිනමාව හා වේදිකාව පමණක් තෝරා ගැනීම වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස අභියෝගාත්මක නැද්ද
නැහැ. හොඳ වේදිකා නාට්‍ය නිර්මාණය කළ හැකි නම් ඒ තුළ වෘත්තීමය වශයෙන් නියැළෙන්න ඉතා හොඳ හැකියාවක් තිබෙනවා. එයට හොඳම උදාහරණය ලෝරන්ස්ගේ මනමාලි. දැන් මෙය වේදිකාගත කර වසර තුනක් වෙනවා. මේ කාලය තුළ මේ කණ්ඩායම තුළ සිටින සියලු ශිල්පීන් ශිල්පිනියන්ට වෘත්තීය මට්ටමෙන් මේ තුළ නියැළිය හැකි ආර්ථික පසුබිමක් ගොඩනැගුවා.
Q මේ ක්ෂේත්රය තුළ වෘත්තීයමයභාවයක් ඇති කළ යුතුයි කියන පාඨය මූලික කර ගනිමින් පසුගිය කාලයේ සංවිධාන බිහි වුණා. සංවිධාන නිර්මාණය කිරීම තුළින් මෙය සිදුකළ හැකිද
මමත් රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩල සාමාජිකාවක් ලෙස එක් යුගයක හිටියා. මේ රටේ කලාකරුවන්ට වෘත්තීය මට්ටමක් ඇති විය යුතුයි කියලා මම කළ ඉල්ලීම් තිබුණා. ඒක පුළුල් කතාවක්. එයට ව්‍යවස්ථා හදාගෙන, කණ්ඩායම් බිහිකරගෙන කටයුතු කරන කණ්ඩායම් මැතිවරණයක් ආසන්න වන විට නිර්මාණය වෙනවා. කුමන දේශපාලනික කාරණාවක් එයට අන්තර්ගත වුණත් කලාකරුවන් වෙනුවෙන් අපිට එක අයිතිවාසිකමක් හෝ දිනාගන්න පුළුවන් වුණාද? කලාකරුවන් වෙනුවෙන් අවම වැටුපක් හෝ තීරණය නොවුණු පසුබිමක මේ වන විට දිනකට රුපියල් සියයක්වත් ලැබෙන්නේ නැති කලාකරුවන් ඉන්නවා. ඒ නිසා තමයි මෙය ඛේදවාචකයක් කියන්නේ. දවසේ පඩියට වැඩකරන සිස්ටම් එක නවත්තන්න ඕන. එහෙම වුණාම මෙය කම්කරු වෘත්තියක් වගේ වෙනවා. කම්කරුවෙක් පවා දිනක පඩියට වැඩ කරන නිශ්චිත කාලයක් තිබෙනවා. නමුත් කලාකරුවා කියන කම්කරුවා පාන්දර 1ට වාහනයට නැගලා පසු දින පාන්දර එක දෙක වනතුරු වැඩ කරනවා. මට පුළුවන් වෙලා තියෙනවා නිශ්චිත කාලයක් කියන්න. මුදල් ඉල්ලන්න. මම එහෙම කළත් බොහෝ දෙනෙකුට එහෙම කරන්න බෑ. එක ශිල්පියෙක් කැමති නැත්තම් වැඩ කරන්න ඕනතරම් අයත් ඉන්නවා. ඒක තමයි කලා සංවිධානවලත් තිබෙන ගැටලුව. කොතරම් කලා සංවිධාන බිහිවුණත් එක මතයක, එක අරමුණක කටයුතු කරන්න තාමත් අපේ රටේ කලාකරුවන්ට බැරිවෙලා තිබෙනවා. මේ තුළ වෘත්තීය මට්ටමක් ඇතිව තිබුණා නම් මේ ගැටලු කලාවට බලපාන්නේ නැහැ. ටෙලිනාට්‍යයවල එපිසෝඩ් එකකට කලාකරුවෙකුට අවම මිලක් වත් නියම කළොත් යම් වෘත්තීය මට්ටමක් ඇති වෙනවා. ඉතා ආදරයෙන් ඉල්ලන්න දෙයක් තියනවා. කලා සංවිධාන කුමන වර්ණයක් වුණත් කලාවේ උන්නතිය උදෙසා එක් ඉල්ලීමක් ඉටුකර ගත හැකි නම් එය තමයි ඉතා වැදගත්. ව්‍යවස්ථා සංශෝධන වලට වඩා එය වැදගත් කියලා මම හිතනවා.