Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා
ප්‍රවීණ නාට්‍යවේදිනියක, රූපණ ශිල්පිනියක මෙන්ම රංගකලා ආචාර්යවරියක වන සෝමලතා සුබසිංහයන් පසුගිය මැයි මස තිස් වැනිදා අප අතරින් වෙන්ව ගියාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන් සහ එලොව ගිහින් මෙලොව ආවා යන වේදිකා නාට්‍යවල රංගනය තුළින්ම කරළියේ දොරගුලු විවර කරගත් ඇය, ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ නාට්‍යවේදිනියකි.
තම පෞද්ගලික ධනය, ශ්‍රමය හා කාලය කැපකර ළමා හා යොවුන් නාට්‍ය ආයතනය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තුළ සැබෑ ළමා නාට්‍ය කලාවක් වෙහෙසුණු ඇය විකෘති, රත්මලී, හිම කුමරිය සහ තොප්පි වෙළෙන්ඳා යන නිෂ්පාදන තුළින් නොමඳ පැසසුමකටද ලක්වූවාය. 1936 වසරේ ජූලි මස 02 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ විගොඩ ග්‍රාමයෙහි ජන්මය ලත් සෝමලතා සුබසිංහ, එකල එම පළාතේ මහත් ගෞරවාදරය දිනා සිටි දිවුලපිටිය පිරිමි පාසලේ මුල්ගුරුවරයා වූ දොන් ජගිලිස් සුබසිංහ හා දංකොටුව යෝගියානෙහි විසූ පාසල් ගුරුවරියක වූ අගිදහාමි අමරසිංහට දාව උපන් මද්දුමී වූවාය. වැඩිමල් සොහොයුරෙකු සහ බාල සොහොයුරියක සමග ගැමි පරිසරයක හැදී වැඩුණු ඈ, දිවුලපිටිය පාසලට ඇතුළත්ව අධ්‍යාපනයේ අත්පොත් තැබුවාය.
එහෙත් පියාගේ ස්ථාන මාරුවක් හේතුවෙන් තුන්වැනි පන්තියේදී එම පාසලේ ඉගෙනීම අත්හැර දැමීමට සිදුවූ ඇයට, අතිශය සුන්දර ගැමි පරිසරයක මවුපිය සොහොයුරු නෑදෑ සෙනෙහස හා සොබාසෞන්දර්යය විඳිමින් ජීවත් වීමට වාසනාව පෑදුණු අතර, එය අහිමිව ගියේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාර ශිෂ්‍යාවක වූ පසුවය. ඒ පියාගේ දැඩි උනන්දුව නිසා ඈ ඉංග්‍රීසි අධ්‍යාපනය කෙරෙහි යොමුවූ නිසාවෙනි.
කෙසේ වෙතත් ගැමි පරිසරයේදී කුඩාකල පටන් චිත්‍ර ඇඳීමෙන්, සුරංගනා කතා හා ජන කතා ඇසීමෙන් සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක චින්තනය අවදිවෙමින් වැඩුණු සෝමලතා සිසුවියට, ක්ලේරා මොට්වානි විදුහල්පතිනියගේ සමයේදී සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය පරිශීලනයට, රසවිඳීමට පසුබිම සැකසුණු අතර, නර්තනය, සංගීතය වැනි විෂයයන් කෙරේ අවධානය යොමුකිරීමටත් අවස්ථාව සැලසිණි.
ඒ අනුව විශිෂ්ට සාමාර්ථ සහිතව ජ්යෙෂ්ඨයද සමත්ව කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා එයින්ද සමත්ව 1958 වසරේදී පේරාදෙණිය සරසවියට ඇතුළත් වීම ඇගේ නාට්‍ය කලාවේ කඩඉම් අවස්ථාවක් ලෙස සටහන් කළ හැකිය. ඒ 1956 පාලන සමයේ සිදුවූ දේශපාලන පෙරළිය හේතුවෙන් මෙරට ආර්ථික, සාමාජයීය, සංස්කෘතික හා අධ්‍යාපනික ආදී සෑම වශයෙන්ම පරිවර්තනයක් සිදුවෙමින් පැවතීම හේතුවෙනි. මේ අනුව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ වූ එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ කළුහාමි ලෙසත්, රත්තරන් නාට්‍යයේ මැහැල්ල ලෙසත් රංගනයට දායක වෙමින් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන ඇය, 1961 වසරේදී ශාස්ත්‍රවේදී උපාධිධාරිනියක ලෙස සරසවියෙන් පිටවන්නේ එම වසරේ සිටම ගුරු වෘත්තියට එක් වෙමිනි. ඒ තමා උගත් බෞද්ධ කාන්තා විද්‍යාලයේම සේවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්රයේ විශිෂ්ටතම නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා සමග 1962 වසරේදී යුග දිවියටද එළඹෙන සෝමලතා සුබසිංහයන්ට, ඔහු හමුවන්නේද සරසවියේ සිංහල නාට්‍ය සංගමයේ සභාපතිත්වය දැරූ සමයේදිම වීම විශේෂත්වයකි. ප්‍රනාන්දු මහතා මනමේ නාට්‍යයේම මුල් නිෂ්පාදනයේ වැදි දෙටුගේ චරිතය නිරූපණය කළ දක්ෂ රූපණ ශිල්පියෙකු වන අතර, කෞශල්‍යා ප්‍රනාන්දු, ශ්‍යාමලිකා ප්‍රනාන්දු ඔවුන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාය. සිංහල නාට්‍ය කලාවේ කඩඉම් නාට්‍ය ලෙස සැලකෙන දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා, සිදත් ශ්‍රී නන්ද ලෝචනගේ අත්තක මල් පරව ගියා, සරච්චන්ද්‍රයන්ගේ පබාවතී, කදාවළලූ, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, ලියතඹරා, ධම්ම ජාගොඩගේ වෙස්මුහුණු, හෙන්රි ජයසේනගේ දිරිය මව රංජිත් ධර්මකීර්තිගේ හිරු නැති ලොව, චෙරි උයන, අන්ගාරා ගඟ ගලා බසී, චූලා කාරියවසම්ගේ සිරිත් විරිත්, රංජනී ඔබේසේකරගේ බර්නාඩාගේ සිපිරිගෙය, ෆ්රිට්ස් බෙනවිට්ස්ගේ ආඬි රැලේ නාඩගම ආදී නාට්‍යවලට තම රූපණ දායකත්වය ලබාදුන් ඇය, මූදු පුත්තු නාට්‍යයේ සරාගේ භූමිකාව හා %දිරිය මව^ නාට්‍යයේ දිරිය මව ලෙසින් පෑ රංගනය එකල ප්‍රේක්ෂකයන්ගේ අමතක නොවන සිහිවටන විය.
විශේෂයෙන්ම එතෙක් සිංහල වේදිකාවේ දැක නොතිබූ අපූර්වතම චරිතයක් වූ සරාගේ චරිතය තුළින්, තමන් ලෝකධර්මී නාට්‍ය සම්ප්‍රදායටද එක සේ සමත් රූපණ ශිල්පිනියක බව ඔප්පු කළ සුබසිංහයන්, රංගනයෙන් නොනැවතී සරච්චන්ද්‍රයන්ගේ %මහාසාර^, %කදාවළලු^,%වෙස්සන්තර^ වැනි නාට්‍යවල රංග වින්‍යාස වෙනුවෙන්ද තම දායකත්වය ලබාදුන්නාය. අනෙක් අතට විවිධ නර්තන සම්ප්රදායයන් පිළිබඳ වසන්ත කුමාර, කේ. ඇස්. ප්‍රනාන්දු වැනි ගුරුවරුන් යටතේ නර්තනය හැදෑරීමෙන් හා ආනන්ද සමරකෝන්, ඩබ්.ඩී. අමරදේව, රොම්ලස් මාස්ටර් වැනි ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙනීමෙන් ඇය ලද ප්‍රායෝගික දැනුම ඵලදායී ලෙස යොදාගත හැකි වීමත් එදා ඈ ලැබූ වාසනාවක්ම විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව චිත්‍රපටයෙන් සිනමා රංගනයට අකුරු කළ ඇය, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිරිබෝ අයියා, ආචාර්ය තිස්ස අබේසේකරගේ මහගෙදර, විරාගය, ගුරුගෙදර, ටී. අර්ජුනගේ වසන්තයේ දවසක්, අශෝක හඳගමගේ මේ මගේ සඳයි වැනි ඉතාමත් සීමිත වූ චිත්‍රපට ගණනකින් වුවද අරුත්බර රංගනයක් මතු කළාය. ඇයට වසන්තයේ දවසක් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි ජනාධිපති සම්මානයත්, විරාගය චිත්‍රපටයේ රංගනය සඳහා ස්වර්ණසංඛ සම්මානයත් හිමිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
මෙවැනි පසුබිමක් තුළ චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, බල්ගේරියාව, රුසියාව, නැගෙනහිර ජර්මනිය, එංගලන්තය වැනි ළමා නාට්‍ය කලාව ඉහළින්ම පවතින රටවලින් ලද දැනුමත් අතැතිව 1980 වසරේදී ළමා හා යොවුන් රංග පීඨය ආරම්භ කරන සෝමලතා සුබසිංහයන්ගේ එතැන් සිට ප්‍රමුඛතම අරමුණ වන්නේ තමන් ලද දැනුම අනාගත පරපුරට දායාද කිරීමයි. ඒ අනුව තම රංග පීඨය මගින් නාට්‍ය වැඩමුළු පැවැත්වීමටත් එම ශිල්පීන්ගෙන් නාට්‍ය නිෂ්පාදනය කිරීමත් අතිශය සාර්ථක කර ගත් ඇය, ළමා නාට්‍ය කලාව පිළිබඳ මෙරට කිසිවකුගේ අවධානය යොමු නොවූ කාලයක ළමා මනෝ විද්‍යාවට වටහාගෙන සැබෑ ළමා නාට්‍ය කලාවක් බිහිකිරීමට දිවි හිමියෙන් කටයුතු කළාය.
පුංචි අපට දැන් තේරෙයි, තොප්පි වෙළෙන්දා, රත්මලී, ගමරාළ දිව්‍ය ලෝකෙට, හිමකුමරිය, වළස් පවුල, පාර හරහා^ වැනි ළමා නාට්‍ය රැසක් අප අතරට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කතන්දර දෙකක් නමින් 1980 දශකයේ සිට අද දක්වා රඟදැක්වෙන පුංචි අපට දැන් තේරෙයි හා තොප්පි වෙළෙන්දා^= මෙරට ළමා නාට්‍ය කලාවේ පරමාදර්ශී නිර්මාණ ලෙස විචාරක අවධානය දිනාගන්නේද මේ අනුවයි.
නමුත් ඇයගේ නාට්‍ය නිර්මාණ අතර වඩාත් විචාරයට බඳුන් වූ හා ජනප්‍රියත්වය දිනාගත් නාට්‍යය වූයේ විකෘතිය. 1982 වසරේදී නිර්මාණය වූ විකෘති මෙරට යොවුන් තේමාත්මක නාට්‍ය අතර සර්වකාලීන වටිනාකමක් ඇති නිර්මාණයක් වූ අතර, එහි එනෙවිභාගේ විභාග ගීතය අදටත් අද අපගේ මතකයේ දෝංකාර දෙයි. 1982 වසරේ සිට මේ දක්වාත් මෙය අඛණ්ඩව රඟ දැක්වෙන්නේත් එය ලැබූ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාරවල වටිනාකම හේතුවෙන්මය. එහි තවත් වැදගත්කමක් නම් මෙම ළමා නාට්‍ය සියල්ලම ඉංග්‍රීසි බසින්ද මෙරට මෙන්ම විදෙස් රටවලද රඟ දැක්වීමට අවස්ථාව උදාවීමයි.
අතළොස්සක් වූ සිංහල නාට්‍ය අධ්යක්ෂවරියන් අතර ප්රමුඛයෙකු වූ සුබසිංහයන් 1992 වසරේදී නුගුගිවා තියන්ගොගේ The Trial Of DedanKimathi ඉංග්‍රීසි භාෂාවෙන් හා එහි සිංහල පරිවර්තනය යදම් නමින්ද නිර්මාණය කිරීම කැපී පෙනේ. ඊට 1993 රාජ්‍ය නාට්‍ය උලෙළේදී වසරේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන රැසක්ද හිමිවිය. 1993දී සොෆොක්ලීස්ගේ ඇන්ටිගනී නාට්‍යයේ සිංහල පරිවර්තනයක්ද නිෂ්පාදනය කළ ඇය, 1994 පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී ඒ සඳහාද සම්මාන කිහිපයක් හිමිකර ගත් අතර, හොඳම නාට්‍යයටද එය නිර්දේශ විය. එසේම 1988දී විප්ලවීය ජර්මානු නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ The Mother Courage and Her Children නාට්‍යය මවකගේ සංග්‍රාමය නමින් නිෂ්පාදනය කිරීමටද සමර්ථ ඈ, එහි මවගේ භූමිකාව රඟදැක්වූවාය.
එමෙන්ම ශ්‍රී ලාංකීය පාසල් පද්ධතියට සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළට නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හඳුන්වාදීම හා ප්‍රවර්ධනය කිරීමෙහිලා විෂය මාලා සංවර්ධන කමිටු උපදේශකවරියක ලෙස ප්රමුඛ පෙළේ කාර්යයක් ඉටුකළ ඈ, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවද හැදැරූ ශිල්පිනියකි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය රංගකලායතනය, ටවර්හෝල් රඟහල පදනම, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනවල පැවැත්වෙන නාට්‍ය හා රංගකලා පාඨමාලාවල ප්‍රධානතම උපදේශිකාවක බවට පත්වූ ඇය, කාන්තාවන් හා ළමයින් සඳහා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කරමින්, දරුවන් සඳහා ගුවන් විදුලි වැඩසටහන් රචනය හා නිෂ්පාදනය සිදුකරමින් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශිල්පිනියකි.
සිංහල සම්භාව්‍ය කාව්‍ය ආශ්රිත අනුවර්තනයක් වූ පවර නුවරක් (1980), කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශය වෙනුවෙන් වොලී සොයින්කාගේ රචනයක් වූ ඔපෙරා වොන්යොසි නාට්‍යයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වශයෙන් ත්රෛයිභාෂිකව අනුවර්තනයක් සිදුකරමින් ශ්‍රී ලාංකීය පරිවර්තන සාහිත්‍යයද පෝෂණය කළ ඇය, 1980 -1990 කාල පරාසයේදී ලන්ඩනයේ ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ විභාග පරීක්ෂක ලෙසත් කටයුතු කිරීමට වාසනාවන්ත වීම කැපී පෙනේ.
1991 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවැත්වූ ආසියා රේන්බෝවීක් වැඩසටහන සඳහා කණ්ඩායම් පුහුණුකිරීම, යොමුකිරීම සහ සහභාගීත්වය, 1997 වසරේදී බංග්ලාදේශයේ ඩකාහි පැවැත්වූ ළමා හා යොවුන් නාට්‍ය උලෙළට සහභාගී වී We Know It and Hats Seller නාට්‍ය වේදිකාගත කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම, 2001දී ඉන්දියාවේ ත්රීවෙන්ඩ්රම්, චෙන්නායි හා නව දිල්ලි නගරවල සහ විකෘති සහ Hats Seller නාට්‍ය රංගගත කිරීම, එම වසරේදීම එම නිෂ්පාදන ද්විත්වයම ඉංග්‍රීසි බසින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි හා කැන්බරා නගරවල රංගගත කිරීමටද සමත් වීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඈ ජාත්‍යන්තර නියෝජනය කළ අවස්ථා කීපයකි. 2002දී ප්‍රංශයේ පැවැත්වූ ජාත්‍යන්තර ළමා නාට්‍ය සමුළුවටද සහභාගී වී, ඉනික්බිති එහිදීද Hats Seller නාට්‍ය රඟදැක්වීමට සමත් වූ එතුමිය, 2002දී දකුණු කොරියාවේ සෝල් ප්‍රාසංගික කලා උලෙළට සහභාගී වී, එහිදීද Hats Seller නාට්‍ය රංගගත කිරීමටත් සමත් වූවාය.
1988 වසරේදී ඇයට කලාසූරී ලෙසින් ජනාධිපති සම්මානයද, 1996 වසරේදී රංග ශිරෝමනී ජාතික සම්මානයද, 1997 දී ශ්‍රී ලංකා ළමා හා යොවුන් නාට්‍ය වෙනුවෙන් ජපන් තානාපති කාර්යාලයෙන් බුන්කා සම්මානයද, 1998 දී ජාත්‍යන්තර සිංහ සමාජයේ සොන්ටා සම්මානයද ආදී වශයෙන් සම්මාන රැසකින් පිදුම් ලැබුවාය.
සෝමලතා සුබසිංහයන් මෙලෙස ශ්‍රී ලාංකීය නාට්‍යකලාවට සුවිෙශ්ෂී ෙස්වාවක් සිදුකරමින් ඊෙය් (31දා) බොරැල්ල කනත්තේදී දැෙයන් සමුගත්තද, අැය ගෙන් කලාවට සිදුවූ සේවාව මෙරට සමාජය තුල සදාකල්හි නිදන්ගතව තිෙබනු අැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd