ධුර කාලය සම්පූර්ණවීමට ප්‍රථම පීඨාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාව
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරයි.
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම්වලට අදාළ කරුණු පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවවේදී සාකච්ඡා කරන ලදී.
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමේදී, මෙම පනත් කෙටුම්පතෙහි අරමුණු වන්නේ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබා දීම, පීඨාධිපතිවරයකුගේ ධූර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව පිඨාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබා දීම සහ පීඨාධිපතිවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම බව නිලධාරීහු පැවැසුහ.
මේ පිළිබඳව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා (06) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
තවද, අධ්‍යයන අංශයක ප්‍රධානියෙකු පත් කිරීමේදී කවුන්සිලය විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සංශෝධනය කර නිශ්චිතව දක්වා ඇති අතර අධ්‍යයන අංශයක ප්‍රධානයකුගේ ධුර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව අධ්‍යයන අංශයක ප්රධානයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබා දෙන අතර, අධ්‍යයන අංශයක ප්‍රධානයකුගේ ධුර කාලය සම්බන්ධයෙන් අදාළ වන සීමාවන් හඳුන්වා දී ඇත. ඒ අනුව දීර්ඝ ලෙස කරනු සාකච්ඡා කිරීමෙන් පසු පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එමෙන්ම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම්වලට අදාළ කරුණු පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී.
එහිදී සේවයේ නියුතු ගුරුවරුන් සඳහා පවත්වන ලද තරඟකාරී විභාගයක් මගින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් බඳවා ගන්නා බවත්, එය 2019 වසරේදී පුරප්පාඩු 1918ක් සඳහා පවත්වන ලද බවත් නිලධාරීහු පැවැසුහ. අනතුරුව 2019 වසරේදී විභාගයට පෙනී සිටි එම කණ්ඩායමෙන් 2022 වසරේදී තවත් 155ක් ද පසුව 2023 වසරේදී අධිකරණ තීන්දුවකින් තවත් 4672ක් බඳවා ගත් බව ද ඔවුහු ප්‍රකාශ කළහ. තවද, 2019 කණ්ඩායමෙන් තවමත් කිහිප දෙනෙකු විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති බවද නිරීක්ෂණය වී ඇති බව නිලධාරීහු කාරක සභාවට පැවසූහ.
2019 වසරේ විභාගයට පෙනී සිටි කණ්ඩායමෙන් විවිධ හේතූන් මත අඛණ්ඩව බඳවා ගැනීම් සිදුකර ඇති බැවින් මෙම ගැටලු මතු වී ඇති බව කාරක සභාව පෙන්වා දෙන ලදී. එමෙන්ම වාර්ෂිකව මේ සඳහා විභාග නොපැවැත්වීම පිළිබඳව සහ නව විභාගයක් පැවැත්වීමමේ තත්ත්වය පිළිබඳව කාරක සභාව කරුණු විමසන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

