ගීතයේ ස්වර්ණමය අවධිය සම්බන්ධයෙන් කතාබහ කරන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ එහි වාදක මණ්ඩලය සම්බන්ධයෙන් නිතැතින්ම සිහියට නැගෙන්නේ එවකට එවන් දක්ෂ වාද්‍ය ශිල්පීන් රුසක් වෙන් අන් කවර තැනකවත් දකින්නට නොලැබුණු බැවිනැයි කිවහොත් එහි වරදක් නොවේ. නමුත් අප මේ සටහන තබන්නේ ගුවන් විදුලි සංස්ථාව හෝ ගීතය සම්බන්ධයෙන් නොවේ.
එසේ රටක් ගීතයෙන් නලවන්නට සිය දෑත දසැඟිලි හා ජීවිතය කැප කළ සොඳුරු මිනිසෙකුගේ වර්ථමාන කතාන්දරය තුළ රැඳී වේදනාත්මක පසුබිම සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමුකරන්නටය. තිස්සසිරි පෙරේරා යැයි කී විට ඔහු නාඳුනන සංගීත රසිකයෙකු ඇතැයි පැවසිය නොහැකි නමුත් නිතර නිතර එදවස රෑපවාහිණිය තුළින් ඔබ දුටු ඔහු මෑතක සිට දකින්නට නොලැබෙන්නේ ඇයි? ඔබටත් එවන් සිතුවිල්ලක් පහළ වූවානම් ? මේ ඊට පිළිතුරයි.
"මම දැන් අසනීපවෙලා අවුරුදු හතරක් විතර. මේ ස්නායු ආබාධය නිසා කිසිම කලා කටයුත්තකට යන්න එන්න ක්‍රමයක් මට නැහැ. ඒ දවස්වල අපි අද වගේ මුදලටම වැඩ කළ පිරිසක් නෙවෙයිනේ ? අපි තුළ තිබුණ හැකියාව මනුස්සකම එක්ක බැඳිලා තිබුණ දෙයක්. කොහොමත් සරස්වතියටයි ලක්ෂ්මියටයි එක තැන රැඳෙන්න බැහැ කියන කතාවත් අහලා ඇතිනේ? අපි නිර්මාණ ගොඩ ගැහුවා මිස මිල මුදල් ගොඩ ගැසු උදවිය නෙවෙයි. ඒ නිසා අසනීප වෙච්ච මුල් කාලේ ඉඳන්ම මට කිසිම කලා කටයුත්තකට යන්න එන්නත් බැරි වුණ නිසා මගේ රුක බලා ගැනීම මගේ මල්ලිටම පැවරුණා. දැන් මගේ ප්‍රතිකාර සිද්දවෙන්නේ ආයුර්වේද ප්රතිකාරවලින්. මොල්ළිගොඩ වෙද මැදුරෙන් තමයි මම ප්‍රතිකාර ගන්නේ.
ඉතිං දවසම ගතවෙන්නේ හරිම කම්මැලිකමෙන්. හුඟාක් වෙලාවට මට වැඩක්පලක් කරන්න පුලුවන් තත්ත්වයක් නැති නිසා මං ඉතිං සින්දු අහගෙන ඉන්නවා. ගුවන්විදුලියේ සිංදු යද්දි ඒ කාලේ ගීතවලට මමත් සංගීතයෙන් දායක වුණ ගීතත් විකාශනය වෙනවා. ඒ වෙලාවට අතීතය මතක්වෙනවා මට. ඒ දිනවල අපි ගුවන් විදුලියෙ ඉන්න කාලේ වෙලාවක් කලාවක් නැතිව වැඩ. රූ නිදිමරාගෙන අපි ගීත පටිගත කිරීම් කරනවා. ඒ දවස්වල ඉතිං වයලීනය වෙනුවෙන් ගුවන්විදුලියෙත් සංගීත ක්ෂේත්රයෙත් මටත් ,ඩී ඩී ගුණසේන හා කළනි පෙරේරාටත් හොඳට වැඩ තිබුණා. ඒ වගේම ගුවන්විදුලියෙ හිටියේ අති දක්ෂ වාදකයො පිරිසක්. ගුවන් විදුලියට වාදකයෙක් විදිහට එන්න ලැබෙනවා කියන්නෙත් හරිම දුර්ලභ අවස්ථාවක්. ඇත්තෙන්ම අදටත් ඒ සුන්දර අතීතය ගැන මතක්වෙද්දි හිතට සතුටක් දැනෙනවා.
Q පරණ හිතවතුන් අද බලන්න එන්නෙ නැද්ද?
එනවා. ඔවුන් හැමදෙනාම වාගේ ඇවිත් බලලා ගියා. ඇත්තෙන්ම එහෙම ආව දවසට මම ඔවුන් එක්ක සතුටින් කතාබහ කළාම සැහැල්ලුවක් දැනෙනවා හිතට . ඉතිං ඒ පරණ හිතවතුන් මෙන්ම මගේ රසිකයින්ද මට කරදරයක් නොවෙන ආකාරයෙන් ඇවිත් මාත් එක්ක කතාබහ කරන එකට මම කැමතියි. ඒත් ඉතිං ඉස්සර වගේ මගේ අතපය වාරු නැති නිසා මං ඉතිං පුටුවෙම තමයි.
Q පස්සෙ කාලෙක තව තව යාළුවො හමුවුණාට ඔබව රටේ ප්‍රසිද්ධ කලාකාරයෙක් බවට පත් කළ මිතුරා ඔබේ වයලීනය අද කෝ..
එතෙක් මා හා දිදුලන දෑසින් අතීතය ආවර්ජනය කළ ඔහු මගේ ඒ විමසීමත් සමග මදක් වේදනාකාරී බවකට පත් වූ සේය. සංගීතවේදියෙකු සිය වෘත්තීය මෙවලම් පණසේ ආරක්ෂා කරන අතර ඔවුන් එයට දක්වන ගරුත්වය මම හොඳින් හඳුනමි. කොතරම් දේ අහිමිකරගන්නට ඔවුන් කැමති වූවත් තමන් සමග එකට බැඳී ජීවිතය ගෙවූ තම වාද්‍යභාණ්ඩ පණ සේ රුකීම සංගීතවේදියෙකුගේ ලක්ෂණයකි.
මද වේලාවක් නිහඬව සිට නමුත් ඔහු මට කෙටි පිළිතුරක් ලබාදුන්නේ මා ඇසූ දෙයට පිළිතුරක් ලබාදිය යුතුම යැයි සිතා විය හැකිය. නිතර තම අත රුඳුණු ගුවන් විදුලිය තුළ මෙන්ම සංගීත ක්ෂේත්රය තුළ නොනැසෙන නමක් දිනාගන්නට ඔහුට දිරි දුන් වයලීනයට සමුදුන් කතාව ඔහු මට පැවසුයේ දැසට මඳ තෙත් බවක් එක්කරමිනැයි මගේ කැමරාකාචය පෙන්වයි.
"හ්ම් මම ඒක විකුණා දැම්මා" ඒ කෙටි පිළිතුර තුළ වූ යථාර්ථය කෙතරම් අමිහිරි දැයි ඔහු ගේ දෙනෙත මත ඇඳුනු සලකුණු මට කියා පෑවේය.
තවත් ඔහු නොවෙහෙසා අපි යළිත් අපේ පිළිසඳරට යොමු වෙමු.
Q ඉතිං ඔබ සවන් දෙන ගුවන් විදුලි ගීත ගැන අදහස මොකක්ද?
ඉස්සර ගීත වගේ නෙවෙයි තමයි. නමුත් මොනවා වුණත් ඒවා ගීත කියලා හිතමු. ඉස්සර නම් ප්‍රචාරය කරන්න තෝරා ගන්නා ගීතවලට හරි සංකීර්ණ ක්‍රමවේදයක් තිබුණා. ප්‍රචාරය කරන්න තෝරාගන්නා ගීතවල පළමුව පදමාලාව දෙවැනුව සංගීතය තුන්වැනුව ප්රශස්ත මට්ටමේ ගායනයක්ද ආදී පරීක්ෂණ මණ්ඩල කිහිපයකින් අනුමත විය යුතුයි. සරල ගී වැඩසටහනකට ගැයූ ගීතයක් නම් එම වැඩසටහනින් අනතුරුව ආයෙමත් පරීක්ෂණ මණ්ඩලයකට යොමු වෙනවා. මෙය තැටිගතවීමට සුදුසුද කියලා. එහෙම සුදුසු යැයි තීරණය වුණොත් තමයි තැටියක් බවට පත්වෙන්නේ.
මේ නිසා ඉස්සර ගීතයක් එළි දකින එක ලේසි නැහැ. අනෙක අද වගේ තාක්ෂණයක් ඒ කාලේ නැහැ. අපි හැමවිටම ගීතයක් පටිගත කරද්දි සජීවීව තමයි වාදනය කලේ. ඉතිං හැම වාදකයාම බලන්නේ තමන්ගේ කොටස නිවැරදිව වාදනය කරන්න. වරද්දන්නේ නැතිව වාදනය කරන්න. හැබැයි ඉතිං මට වුණත් එහෙම අවස්ථාවල වැරදිලා තියෙනවා. ඒක ඉතිං අපි කාටත් අත්විඳින්න වෙන දෙයක්. නමුත් අත්දැකීම් හා පළපුරුද්ද වැඩි වෙන්න වැඩි වෙන්න අපි අතින් වරදින එක අඩු වුනා. සමහරවෙලාවට අපි ඉතිං වාදක මණ්ඩලය මෙහෙයවන කෙනාගෙන් බැනුම් අහනවා. ඒත් හරි සුන්දරයි. අපිට තරහවක් එන්නෙත් නැහැ බැණුම් ඇහුවා කියලා. හැමෝම හොඳ විනයක් ඇතිව තමන්ගේ කාරිය කළා.
Q ගුවන් විදුලියට එන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?
ආ ඒක ලස්සන කතාවක් මගේ අම්මා තාත්තා දෙන්නත් සංගීතයට ලැදියි. ඉගෙනගත්තේ පානදුර සුමංගල විදුහලේ. දවසක් අපේ නංගිගෙ ඉස්කෝලෙ තිබුණ උත්සවයකට ඒදවස්වල ජනප්‍රිය ගායකයෙක් වුණ තිලකසිරි ප්‍රනාන්දු මහත්තයා ආවා. ඉතිං අපි ගෙදර හැමෝම එදා නංගිගේ ඉස්කෝලෙ වැඩේට ගිහින් හිටියේ. අපේ තාත්තා කොහොම හරි තිලකසිරි මහත්තයාට මං ගැන කියලා. සංගීතයට හරිම ලැදියි කියලා. ඉතිං තිලකසිරි මහත්තයා කිවුවා එයාව එවන්න, මං දන්න දෙයක් මං කියලා දෙන්නම් කියලා. මමත් ඉතිං හරිම කැමැත්තෙන් එයා ළඟට ගියා. ඒ තමයි මට වයලීනය කියා දුන්නු මගේ ගුරුවරයා.
ඊට පස්සෙ මං ට අවුරුදු විසිහතක් විතර වෙද්දි ගුවන් විදුලි වාදක මණ්ඩලයට එකතු වුණා. මගේ කාලෙ ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියා වුණේ සෝමදාස ඇල්විටිගල මහත්තයා. එතැන ඉඳලා මම අවුරුදු 16 ක් විතර ගුවන් විදුලි වාදක මණ්ඩලයේ කටයුතු කළා. විදේශ සංචාර බොහොමයකට සහභාගීවෙලා තියෙනවා. ක්‍රම ක්‍රමයෙන් මං තනු නිර්මාණය කරන්න පෙළඹුනා. ගීත පණක් හැටක් හෝ සමහර විට ඊටත් ටිකක් වැඩි ප්‍රමාණයක් මම නිර්මාණය කළ ගීත තියෙනවා. ඒ අතරින් ගොඩාක් ජනප්‍රිය වුණ ගීත රැසක්ම තියෙනවා.
ඩබ්ලියු ඩී ආරියසිංහ ගයන මා ළඟටම තව ලංවෙලා ගීතයත් මගේ තනු නිර්මාණයක්. ඇත්තමට මට වෙලාවකට ආස හිතෙනවා මේ ගීත කවුරු හරි කෙනෙක් සංයුක්ත තැටියක්වත් නිර්මාණය කරන්න අරගන්නවා නම් කියලා. එහෙමත් නැත්නම් ඒ ගීත නිර්මාණ ඇතුළත් සංදර්ශනයක්වත් කරනවා නම් කියලා.මම අද තනිකරම හුදෙකළා වුණ රෝගී පුද්ගලයෙක්. මගේ ජීවත්වීම උදෙසා අද මා යමක් උපයන කෙනෙක් නෙවෙයි. නමුත් මට සුවවෙන්න නම් තරමක වියදමක් වැයකරන්න වෙලා තියෙනවා. මේ වගේ වෙලාවක මට කෙනෙක් උදව් කරන්න ඉදිරිපත් වෙනවා නම් ඒක මට ලොකු හයියක්. අද මට අත්සනක්වත් යොදන්න පුලුවන් හැකියාවක් නැහැ. ඒ නිසා මල්ලී තමයි ඒ හැම දෙයකටම ඉදිරිපත් වෙන්නේ.
නමුත් ඔහුත් මා වෙනුවෙන් කරන සේවය නොවෙන්නට මගේ තත්ත්වය හොඳටම නරක් වෙන්න තිබුණා. ඔහුත් කෝටිපතියෙක් නෙවෙයි. මට උදව් කරන්න කියා කාටවත් කරදරයක් වෙන්නත් මට බැහැ. නමුත් මේ අවස්ථාවේ යම් කෙනෙක් මා වෙනුවෙන් තමන්ට හැකි දෙයක් කරනවා නම් එය මට මිල කළ නොහැකි උපකාරයක්. දැන් මට අවුරුදු හැටත් පැනලා. ඒත් මගේ හිතේ හයිය නිසා ජීවිතය මේ තරම්වත් විඳ දරාගන්න හැකිවෙලා තියෙනවා . අපේ ප්‍රවීණ කලාකරුවො හැමදෙනෙකුටම වගේ මම වාදකයෙක් විදිහට ඔවුන්ගේ ගීතවලට දායකවෙලා තියෙනවා.
අමරදේව මහත්තයා මගේ වයලීන වාදන හැකියාව ඉතාමත් අගයකිරීම මට සම්මාන ගොඩක් ලැබුණ වගේ. අද මට ඉතිරි මගේ අතීතය තුළ ගෙවුණු සුන්දර මතකය විතරයි. අනාගතය කුමක් වේවිද දන්නේ නැහැ
තිස්සසිරි පෙරේරා නම් මේ කලාකරුවා වෙනුවෙන්, ඔහුගේ ඇරුණු ඇස වෙනුවෙන් අපට යමක් කරන්නට හැකිද? එසේ නම් ඒ සඳහා නොපමාවෙන්නට ඉදිරිපත් වෙමුද? ඒ යුතුකම අපෙන් ගිලිහී ගියහොත් ඒ දෑස වැසුණු දිනක අප කුමක් කළත් පළක්වේද? ඔහු අද පදිංචිව සිටින්නේ ඩබ්ලිවු පී මල්සිරි පෙරේරා නම්වූ ඔහුගේ බාල සොයුරා සමීපයේය. අංක 310/ ඒ , උයන් කැලේ ගාලුපාර පානදුර ඔහුගේ ලිපිනයයි. 8189001178 යන මල්සිරි නමින් ඇති ගිණුමට තිස්ස සිරි වෙනුවෙන් යම් උපකාරයක් කරන්නට ඉදිරිපත් වෙන්නට කැමති අයෙකුට මුදල් ආධාර ලබා දිය හැකිය. තිස්සසිරි පෙරේරා නම් වු ඔහු අමතන්නට 0777748640 දුරකථන අංකය ද අපි ඔබට ලබාදෙමි.