චිත්‍රපට සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේත් නිරත වන ඔහු සිය ප්‍රථම ටෙලිනාට්‍ය අධ්යක්ෂණයට පිවිස තිබේ. ඔහුගේ ප්‍රථම නිර්මාණය 'කූඹියෝ' ටෙලි නාට්‍යයයි.
ලක්මාල් ධර්මරත්න නම් වූ ඔහු එහි තිරපිටපත් රචනයටද දමිත චන්ද්‍රසිරි හා දායක වී තිබේ. මෙම ටෙලි නාට්‍යය මෙම මස 26 වනදා සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 8ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතය. මේ ඒ පිළිබඳ ඔහු හා කළ සංවාද සටහනකි.
Q චිත්‍රපට වල සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ඔබ ඔබේ ප්රකාශනය ඉදිරිපත් කරන මාධ්‍ය ලෙස ටෙලි නාට්‍ය තෝරාගන්නේ ඇයි?
ටෙලිවිෂන්ද, ඇඩ්වටයිසින්ද, සිනමාවද, වේදිකාවද කියල හිතනවට වඩා කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියන එක තමයි මම පෞද්ගලිකව සිතා බලන්නේ. මම ටෙලි නාට්‍යවලට කැමතියි. ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වැනි අයගේ චිත්‍රපටවල සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනකොට මම දැක්කා එක දෙයක්.
ඒ ඔවුන් හැමවිටම මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා. එය හොඳද නරකද, එයට එකඟද නැද්ද කියන එක පෞද්ගලික කාරණයක්. නමුත් හැමවිටම කියන්න දෙයක් තියනවා. එය ඇඩ්වටයිසින්ද, ටෙලිවිෂන්ද කියලා වෙන් වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ භාවිත කරන උපාංග අනුව. ඔබට කියන්න කතාවක් තියෙනවා. අවසානයේ නිෂ්පාදනයක් තියෙනවා.
දැන් චිත්‍රපටයක් ගත්තොත් චිත්‍රපට නිර්මාණකරුවාට පැය එකහමාරක් වැනි කාලයක් තුළ තමන්ගේ ප්රකාශනය කියන්න සිද්ධ වෙනවා. නමුත් ටෙලිනාට්‍යයක කාලය වැඩියි. චිත්‍රපටයක් ගත්තොත් ප්‍රේක්ෂකයා චිත්‍රපටය සොයාගෙන පැමිණිය යුතුයි. ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාව හොයාගෙනයි යන්නේ.
මේ රටේ චිත්‍රපටයක් තිරගත කරගන්න සිදුකරන අරගල එක්ක අපි හිතුවා ටෙලිවිෂනය කියන්නේ තරුණයෙක්ට වැඩක් පටන්ගන්න තියෙන ඉතා හොඳ මාධ්‍යයක් කියලා. හැමවිටම රූපවාහිනිය නරඹන නිශ්චිත ප්‍රේක්ෂක පිරිසක් ඉන්වා. මේ ඕඩියන්ස් එක එක එක රසවින්දනවලට ගිහින් තියෙනවා. 'දඬුබස්නාමානය', 'දුන්හිද අද්දර' වැනි ටෙලිනාට්‍ය වෙනස් වෙලා මෙගා ටෙලිනාට්‍යවලට එනවා. මෙගා කියන්නේ නරක දෙයක් නෙමෙයි.
ඒක මිනිසුන්ගේ එක රසයක්. හැබැයි ඒක සමස්ත රසය වුණොත් තමයි අර්බුදය. අපි ටෙලිවිෂන් මාධ්‍ය තුළ නිර්මාණයක් කරන්න හේතුව ප්‍රේක්ෂකාගාරය. අපේ රටේ පොඩි අර්බුදයක් තියෙනවා. ඒ නිර්මාණකරුවන් බොහෝවිට ප්‍රේක්ෂකයා එක්ක තරහයි. ඔවුන් හැමවිටම හිතන්නේ ප්‍රේක්ෂකයා නිර්මාණය එක්ක යායුතුයි කියලා. ලෝකේ ගොඩක් රටවල නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා එක්ක ගිහින් ඔහුගේ කතාව කියනවා.
අපේ නිර්මාණකරුවා වෙන තැනක ඉඳගෙන ප්‍රේක්ෂකයාට එතැනට එන්න කතා කරනවා. අපි පිටපත රචනා කරද්දිම හිතුව දේ තමයි අපි ප්‍රේක්ෂකයා එක්ක යනවා. ගිහින් ප්‍රේක්ෂකයාට වෙනත් මාර්ගයක් පෙන්වනවා. අවම වශයෙන් ටෙලිවිෂන් නරඹන විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා.
ඒ පිරිසට අලුත් අදහසක්, අලුත් විදිහක්, අලුත් රසයක් ගෙන එන්න අපි හිතුවා. ඒක සාර්ථක වෙයිද නැද්ද දන්නෙ නැහැ. මෙය අත්හදා බැලීමක්. ටෙලිවිෂනයේ පවුලේ කතාවකට පරිබාහිර කතාවක් ගෙන ඒමේ අවදානමක් තිබෙනවා. එහිදී මටත් වඩා මා සමග සිටින නිෂ්පාදකවරයා විශාල මුදලක් වැය කළා. ඔහුටත් අවශ්‍ය වුණේ මේ පවතින මට්ටමෙන් වෙනස් දෙයක් කරන්න. ඒ දේ කරන්න අපිට පුළුවන් වුණා කියලා හිතනවා.
Q මෙවැනි තේමාවක් සහිත කතාවක් ටෙලිවිෂනය තුළින් ප්‍රේක්ෂකාගාරයට ගෙන ඒම අභියෝගයක් යැයි ඔබ සඳහන් කළා. ඒ අභියෝගයට කොයි විදිහටද මුහුණ දුන්නේ?
අභියෝගයක් තියෙනවා කියන කාරණය අපි මුලදිම හඳුනාගත්තා. ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියලා හිතුවා. අපි ඒකට සැලසුම් හැදුවා. මුලින්ම අපි කළණගේ චරිතය නිර්මාණය කළේ එහෙම. කළණ නියෝජනය කරන්නේ ගම. ගමේ බොහොම අහිංසක ගැමියෙක් ලෙස කළණ කොළඹ එන්නේ.
කොළඹ තුළ ගමේ කෙනෙක්ගේ ජීවිතේ අධිනිශ්චය වෙන්නේ කොහොමද කියලා හිතුවා. මේ කොළඹ කාෂ්ටක වේගය ඇතුළේ ඉතා හෙමින් ගමන් කරන ගැමි තරුණයෙක්ගේ ජීවිතය නරක එකක් බවට පත්වෙන්නේ කොහොමද කියලා අපි කතා කළා. හැමවිටම කළු කතාවක් තුළ යම් යම් සුදු දෙවල් තිබිය යුතුයි. කළු පරිසරයක් තුළ අනාථ මනෝභාවයක් තමයි තියෙන්නේ.
ටෙලිවිෂනය තුළ ඒ බය වීම අඩුයි. තමන්ගේම නිවසේ තමන්ගේ පුටුවේ වාඩිවෙලා කෑම කන ගමන් බලන්නේ. ඒ වගේම අපි මේ නාට්‍යය තුළට රොමෑන්ස් ගෙනාවා. ප්‍රේක්ෂකයා එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න තියාගෙන තමයි නාට්‍ය බලන්නෙත්. අපිට අවශ්‍ය වුණේ ඔහුව අපහසුතාවට පත් නොකර නාට්‍යය ගෙන එන්න.
Q ටෙලිනාට්‍ය සඳහා වැඩි වශයෙන් ජනප්‍රිය චරිත භාවිත කරන්න අදහස් කෙළ් ඇයි?
ජනප්‍රිය චරිත පාවිච්චි කරනවා කියන එක නැවත තාක්ෂණිකයි. යම්කිසි චරිතයක් ජනප්‍රිය වෙනවා කියන එකේ තේරුම ප්‍රේක්ෂකයෝ ඔහුව හෝ ඇයව අඳුනනවා කියන එක. එයා ගෙදර කෙනෙක් තරම් සමීප වෙනවා කියන එක. ජනප්‍රිය චරිත කියන එකට දෙන්න ඕන අදහස ප්‍රේක්ෂකයා ඒ චරිත එක්ක වඩා සුව පහසුවෙන් ඒ නාට්‍යය වැලඳ ගන්නවා.
අපි ටෙලි නාට්‍යය තුළට ගෙනෙන බොහෝ අය පැමිණියේ සුළු චරිත ලෙස. ප්‍රධාන චරිත විදිහට නෙමෙයි. ටෙලි නාට්‍යයේ හැම කොටසකම හිත නිදහස් කරගත හැකි ජනප්‍රිය චරිත ඉන්නවා. කෙනෙක් ජනප්‍රිය වෙන්නේ ඔවුන්ගේ දක්ෂතාවත් එක්ක. ජනප්‍රියයි නම් කිසියම් කෙනෙක් බොහෝවිට ඔහු දක්ෂයෙක්. අධ්‍යක්ෂකට තේ හදන කෙනාගේ පටන් සම්පූර්ණ දර්ශනතලය පුරාම අධ්‍යක්ෂණය කළ යුතුයි. ජනප්‍රිය පුද්ගලයා දක්ෂයා බවට තමන්ගේ නිර්මාණය තුළින් පත් කරගන්න ඔහුට හැකිවිය යුතුයි.
Q අවසාන වශයෙන් මේ ටෙලි නාට්‍යය නරඹන්න බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයන්ට සඳහන් කරන්නේ කුමක්ද?
ලෝකේ තියරියක් තියනවා, අපි ආසයි වීදුරු කාමරයක සිට වැස්ස දිහා බලන්න. කාර් එකක සිට වැස්ස දිහා බලන්න. නමුත් ඒ වැස්සෙන් පීඩාවට පත්වෙන කෙනා ගැන දන්නෙ නැහැ. තමන් අතිශය සුවපහසු වෙලා අනුන්ගේ ප්‍රශ්න දිහා බලන්න අපි ආසයි. ප්‍රේක්ෂකයාට මේ අවස්ථාව තියෙනවා.
තමන්ගේ නොවන අත්දැකීමක් තමන්ගේ නොවන අනතුරක් අත්දකින්න පුළුවන්. මේ අවස්ථාව අත්හරින්න එපා. ඔබට ජීවිතේ නැවතත් මේ අත්දැකීම් අත්විඳින්න නොලැබෙන්න පුළුවන්. නමුත් එදිනෙදා ජීවිතේ හඳුනාගත නොහැකි චරිතයක්, ලංකාවේ මෙතෙක් කල් නොදැකපු පැත්තක්, රූප මාධ්‍යයෙන් අත්දැකීමක් ලෙස බලන්න හැකියාව තිබෙනවා 'කුඹියෝ' හරහා. තමන් අපහසුතාවට පත්නොවී, විහිළුවට පත්නොවී ඒ අත්දැකීම ලබාගන්න.