අද හොඳ විචාරක සංස්කෘතියක් අපට නැහැ
'සුනිල් සරත් පෙරේරා' සමාශංසා හරසර කමිටුව සංවිධානය කරන ලද 'සුනිල් සරත් පෙරේරා' හරසර ප්රණාම උලෙළ පැවැත්වුණේ පසුගිය මාසයේදීය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති මෙහිදී ඔහුගේ ගී පද රචනා එකතුවද, එම ගී පද පිළිබඳ විවරණ රැගත් කෘතියක්ද දොරට වැඩි අතර, ගී පද රචනා සියල්ල සහිත වෙබ් අඩවියක්ද විවෘත කෙරිණ.
ඒ අනුව එහිදී සුනිල් සරත් පෙරේරා තම නිර්මාණවලදී යොදා ඇති රූපකාලංකාර පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර, ධ්වනි හරහා හෙළිවන අවිචක්ෂිත වාචක්ෂිතාන්යාපරවාච්ය පිළිබඳවද, ගුණ-රීති වාදය පිළිබඳවද, ලාවණ්‍යය පිළිබඳවද, වක්‍රෝක්තිවාදය පිළිබඳව මෙන්ම චමත්කාරවාදය පිළිබඳවද සංකථනයක්, විවරණයක් සිදුකෙරිණ. එබැවින් ඔහු සමග කෙටි කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.
Q කාව්‍ය සංග්‍රහ මෙන්ම ගේය කාව්‍ය සංග්‍රහ නිකුත් කිරීමත් අද රැල්ලක් වෙලා?
ගීතය ශ්‍රවණය කළාට පමණක් මදි. අනික සාහිත්‍යාංගයක් විදිහට අර්ථාන්විත ගීත ලේඛනගතව පැවතීම සමාජ අවශ්‍යතාවක්. එවිටයි පාඨකයා විසින් ගුණාත්මක ගීත තෝරා බේරා ගන්නේ.
Q ඒත් ගේය කාව්‍ය සංග්‍රහයක් කෙසේවුවත් කාව්‍ය සංග්රහයකටවත් වෙළෙඳපොළක් අද නැතිලු?
ඔව්. අද කවිය පිරිහිලා තියෙනවා. එවිට එය ගීත පොත්වලටත් බලපානවා. ඒ නිසා එවැනි වෙළෙඳපොළක් නැත්නම් එයින් වැටහෙන්නේ පාඨකයා මේවා ප්‍රතික්ෂේප කර තියෙනවා යන්නයි. අනික අද හොඳ විචාරක සංස්කෘතියක් අපට නැහැ. කවියන්ම තමයි විචාරකයන් වශයෙන් පෙනී සිටින්නේත්. කල්ලිවාදයක් තමයි තියෙන්නේ.
Q අද සමහරු සම්මානනීය ගී පද රචකයන් කිව්වට බොහෝ රසිකයන් ඒ ගීත අහලා නැහැ. එහෙම තත්ත්වයකුත් තියෙනවා නේද ?
එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක එදත් තිබුණා. ඒත් ඔවුන් හෝ ඔවුන්ගේ නිර්මාණවලට පැවැත්මක් තිබුණේ නැහැ. යම් කාලයකට තමන්ගේ සම්මාන හරහා ඔවුන් යම් සිවිල් බලයක් ගොඩනගා ගත්තා පමණයි. එතැනත් තියෙන්නේ මා කලින් පැවසූ කල්ලිවාදය.
Q වර්තමානයේ ගීතයක් සමාජගත කිරීමට නම් රූප රචනාවක් අවශ්‍යමයි නේද?
ගී පද රචනයක් කියන්නේ සාහිත්‍ය අංගයක්. රූප රචනයක් කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මුසුවක්. එය වෙනම අංගයක්. ඒ නිසා කාරණා පටලවා ගත්තොත් එයින් සිදුවෙන්නේ ගීත සාහිත්‍යයක් නිර්මාණය නොවීමක්. අනික රූප රචනා හරහා ගී පද රචනාවේ රසවින්දනයට බාධා සිදුවන අවස්ථාත් තියෙනවා.
Q හැබැයි ඔබගේ යුගයේ පැවැතුණේ ගුවන්විදුලි මාධ්‍යය පමණයි?
ගීතයට හඬ, සංගීතය වගේම රූප රචනාවත් එකකට එකක් සම්බන්ධ තමයි. නමුත් අද වෙද්දි මෝටර් රථ වලදී පවා හොඳ සංගීත වැඩසටහන්වලට සවන්දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා බුද්ධිමත් ශ්‍රාවකයන් පිරිසක් නිර්මාණය වීමට නම් හොඳ ගුණාත්මක ගීත නිර්මාණය විය යුතුයි.
Q ඒත් එවන් රසවින්දනයක් ඇති නව පරම්පරාවක් වර්තමානයේ නැතැයි කියාත් චෝදනා තියෙනවා?
නැහැ. එවන් තරුණ රසිකත්වයේ පිරිහීමක් නැහැ. ගුණාත්මක නිර්මාණ වටා බැඳෙන බුද්ධිමත් රසික පිරිසක් අදත් ඉන්නවා. ඒ නිසා නැහැ කියන්නම බැහැ. නමුත් එය සංඛ්‍යාත්මකව අඩුවෙන්න පුළුවන්. එය ඕනෑම පරම්පරාවකට පොදු තත්ත්වයක්. අනික හැමෝම කතා කරනවා අද ජාතික ප්‍රතිපත්තියක් ගැන. ඒවා සැලසුම්වලට පමණක් සීමාවෙලා. එහෙම නැතුව නිසි වැඩපිළිවෙළකට යන ස්වරූපයක් තවමත් දකින්න නැහැ. ඒකට ඉතින් දේශපාලනික සහ ආර්ථික කාරණාත් බලපානවා. මොකද ඒ කාරණා දෙකම කලාවට තදින්ම බලපානවා.
Q අද වෙද්දී නව ළමා ගීත සාහිත්‍යයක අඩුවක් පැහැදිලිවම දක්නට ලැබෙනවා?
ඔව්. එදා ගුවන් විදුලිය හරහා ළමා ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමට පසුබිම සකස් කළා. ඒත් අද ළමා ගීත වශයෙන් මුදාහරින ගීත වාක්‍ය ඛණ්ඩ පමණයි. අනික ඒවා ළමා ගීතද යන ප්‍රශ්නයත් ඇතිවී තියෙනවා. ඒ නිසා ඒවායින් ළමයින්ගේ පරිකල්පනය දියුණුවෙන්නේ නැහැ. තාල ඥානයවත් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා ළමයින්ට ඒවා ගෝචර වෙන්නෙ නැහැ.
Q ගීත විචාරකරණය පිළිබඳ ප්‍රාමාණික උගතුන් අද අඩු බවයි අපට පෙනෙන්නේ?
ගීත විචාරකරණයක් නම් ඇත්තෙම නැහැ. ඒත් එය ගීත සංරක්ෂණය තරම්ම වැදගත් කටයුත්තක්. මොකද එහි තියෙන රචනෝපක්රම, භාෂාත්මක උපයෝගීතා ආදිය පිළිබඳ සංකථනයක් සිදුවිය යුතුයි. ඒ නිසා මාගේ ගීත පිළිබඳ වෛද්‍ය රුවන් ඒකනායක කළ විවරණයට වඩා ඒ හරහා ගොඩනැගුණු සංකථනය ගැනයි මම සතුටු වෙන්නේ. අනික නිර්මාණකරුවාට වගේ විචාරකයා තුළත් හොඳ වින්දනයක් තිබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. එවිටයි හොඳින් නිර්මාණය විවරණය කරන්න පුළුවන් වෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

