Teaching Practice සහ ගුරු මාරුව
“කියවන්නට ගණන් හදන්නට මම උඹලට කියා දෙන්නම්, අකුරු හා ඉලක්කම් ලියන හැටි මම පෙන්වා දෙන්නම්. මම දන්නා හැම දෙයක්ම නුඹලාට කියා දෙන්නම්* මේ ගුරු ගීතයේ දුයිෂෙන්ය. නමුත් වර්තමාන ගුරුවර ගුරුවරියන්ගෙන් කී දෙනෙකු මේ ලෙස තම ශිෂ්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් කැපවෙනවාද යන්න අප අභිමුඛව පවතින විශාල ගැටලුවකි.
විශේෂයෙන්ම ගුරුවර ගුරුවරියන්ගේ හා ආදිශිෂ්‍ය කණ්ඩායම්වල මාෆියාවන් ජනප්‍රිය පාසල්වල ක්‍රියාත්මකය. ත්‍යාග, ව්‍යාපාර මෙන්ම විවිධ වරදාන වරප්‍රසාදවලට ගිජු, ජනප්‍රිය පාසල් ගුරුවර ගුරුවරියන් හා ආදිශිෂ්‍ය සංගම් හේතුවෙන් අද වනවිට ගුරු වෘත්තීය හෑල්ලුවට ලක්ව තිබේ. ජනප්‍රිය පාසල්වලට රිංගා අවුරුදු ගණන් ඒවායෙහි රැඳෙමින් තමන්ගේ මඩි තරකර ගනිමින් සිටින ගුරුවරු බොහෝ පිරිසක් වෙති.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජාතික පාසල්වල බොහෝ කලක් රැඳී සිටි ගුරුවරුන් 2400කට පමණ ජාතික ගුරු මාරුවීම් ප්‍රතිපත්තියට අනුව ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ උසස් පෙළ ගුරුවරුන්ටය. සියලු ගුරු සංගම්ද මැදිහත් වී මේ වනවිටත් මාරුවීම් ලැයිස්තුද සකස් කර ඇති අතර, බොහෝ ගුරුවරුන් සිය මාරුවීම්ද බාරගෙන ඇත. නමුත් මෙම මාරුවීම් නිසා ඇතැම් ජනප්‍රිය පාසල් ගුරුවරුන්ගේ හිත රිදී තිබේ.
ඔවුහු සිය මාරුවීම් අවලංගු කරගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටිති. විශේෂයෙන්ම රාජකීය, විශාඛා, ආනන්ද, නාලන්දා, ගම්පහ රත්නාවලී, දේවි බාලිකා ආදී විද්‍යාලවල මාරුවීම් ලැබී ඇති ඇතැම් ගුරුවරු මෙලෙස මාරුවීමට අදිමදි කරති. ඔවුන්ටම ගැළපෙන ආදිශිෂ්‍ය සංගම්ද මෙම ස්ථාන මාරුවීම්වලට විරුද්ධත්වය පළ කරති.
ජනප්‍රිය පාසල්වල ගුරුවරුන්ට මාරු වෙන්න බැරි ඇයි?
ජනප්‍රිය පාසලක සිටින ගුරුවරුන්ට තම පාසල අභිමානයකි. අහවල් පාසලේ යැයි පැවසීම ඔවුන්ට අමතර පන්ති සඳහා වන හොඳ උත්ප්‍රේරකයකි. ඉහළ පැලැන්තියේ සමාජ ඇසුර දේශපාලඥයන්ගේ ඇසුර ඔවුන්ට වාසි සහගතය. සමහරුන්ට පාසල හොඳ ව්‍යාපාරික ස්ථානයකි. ළමයින් පාසලකට ඇතුළත් කරගන්නා අවස්ථාවලදී ඔවුන්ට ලැබෙන වාසි වැඩිය. පන්ති භාර ගුරුවරයෙකු නම් ලැබෙන තෑගි බෝග ප්‍රමාණය ඉහළය.
මෙවැනි කරුණු කාරණා හේතුවෙන් ගුරු භවතුන් ජනප්‍රිය පාසල් අත්හැර යෑමට අතිශය අකමැතිය. මීට අමතරව ආදිශිෂ්‍ය සංගම් සමග සමීපයෙන් ඇසුරු කරමින් වරප්‍රසාද ලබාගැනීමට තවත් පිරිසක් සමත්ව සිටිති. මාරුවීම් ලැබෙන විට ඔවුන් ඉස්සරහට දමාගන්නේ ආදිශිෂ්‍ය සංගම් හා දරුවන්ය.
රාජ්‍ය සේවයට බැඳෙන ඕනෑම අයෙකු තමන්ට ලැබෙන ඕනෑම තැනක සේවය කිරීමට බැඳී සිටියි. ගුරුවරුන්ද මේ රටේ එක් වෘත්තිකයන් පිරිසක් පමණක් බව මොවුන්ට අමතක වී තිබේ. ගුරුවරුන්ට රජයෙන් ලබාදෙන හිමි නිවාඩු 45 ම හිමිවන අතර, වසරකට තවත් දින 90 ක් පමණ වාර අවසන් නිවාඩුද ලැබේ. මෙසේ තිබියදීත් ජනප්‍රිය පාසල් ගුරුවරු තම මාරුවීම් ලබාගැනීමට මැළි වෙති.
ජනප්‍රිය පාසල්වලට ගුරුවන් තෝරාගැනීමේදී අමුතු ක්‍රම‘වේදයක්ද එම පාසල්වල ක්‍රියාත්මක කරති. එනම් එම ජනප්‍රිය පාසලේ ගුරුවරුන් විසින් අලුතින් පැමිණෙන ගුරුවරයා පරීක්ෂා කරනු ලැබීමයි. (Teaching Practice) මෙසේ පරීක්ෂා කොට එම ගුරුවරුන්ට ගැළපෙන්නේ නම් පමණක් ඔහු හෝ ඇය එම පාසලට බඳවාගනියි. මෙය ඇත්තෙන්ම ගුරු මාෆියාවකි.
නුගේගොඩ පාසලක සේවය කරමින් සිටි චාමික හත්ලහවත්ත නමැති ගුරුවරයා කොළඹ ජනප්‍රිය පාසලකට සේවය කිරීම සඳහා පැමිණ ඇති අතර, එහිදී උක්ත පරීක්ෂණයට ඔහු භාජනය වී තිබේ. එහිදී මොහු පරීක්ෂාවට ලක්කළ ගුරුවරුන් විසින් ඔහු පරීක්ෂණයෙන් අසමත් බවට තීරණය කළ අතර, ඔහුට එම විද්‍යාලයට පැමිණීමට ඉන් හැකි වූයේ නැත. නමුත් හාස්‍යයට කරුණ නම් චාමික කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට අයදුම් කර එහි කථිකාචාර්යවරයෙකු බවට තේරී පත්වීමයි.
චාමික හත්ලහවත්ත %රජා මං වහලා^ නම් නාට්‍ය‘යෙහි අධ්‍යක්ෂවරයාය. එම නාට්‍ය ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සඳහාද තේරී පත් වූ නාට්‍යයක් වන අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත පාසල් දර්ශන සඳහාද අනුමත වූ නාට්‍යයකි.
මෙසේ දක්ෂතාවෙන් හා ප්‍රා‘යෝගිකව තම දැනුම යොදාගන්නා අයෙකු තම විද්‍යාලයට බඳවානොගන්නේ ඔහුට තරම් දක්ෂතාවක් නොමැති ගුරුවරුන් පිරිසක් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. මෙයින් කියවෙන්නේ ජනප්‍රිය පාසල්වල ක්‍රියාත්මක ගුරු මාෆියාව ගැන නොවේද?
ජනප්‍රිය පාසල් ගුරු මාෆියාවේ තවත් කරුණක් නම් එම ජනප්‍රිය පාසල් ගුරුවරුන්ට මාරුවීම් ලැබුණු විට එය නතර කරගැනීම සඳහා ආදිශිෂ්‍ය සංගම් හා පාසල් දරුවන් ඒ සඳහා උසිගැන්වීමයි. මෙවැනි උසිගැන්වීම් පසුගිය කාලයේද අසන්නට, දකින්නට ලැබිණි. මෑතකදීම සිදු වූ එවැන උසිගැන්වීමකදී නම් එකී ගුරුවරුන්ට මතක හිටින උපදෙසක් ලැබී තිබිණි. ඒ කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ශිෂ්‍යයන් පිරිසකගෙනි. ඔවුන් සිසුන් උසිගැන්වීම සඳහා පැමිණි ගුරුවරුන් පිරිසකට කියා තිබුණේ, &ඔබතුමන්ලා යන්න. ඔබලා මේ පාසලේ ඉන්නේ ඔබතුමන්ලාගේ සුඛ විහරණයට හා ටියුෂන්වලට. අපට බෑ ඕවට විරුද්ධ වෙන්න* යනුවෙනි.
මෙම ගුරු මාරුවීම් පිළිබඳ පසුගියදා ගම්පහ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරිය ජනපති මෛත්‍රී හමු විය. මෙහිදී මෛත්‍රී දුන් පිළිතුර පිළිබඳ අප ඔහුට කෘතඥ විය යුතුය.
'මාරුවීම් නවත්වන්න බෑ. මම දැකලා තියෙනවා පොළොන්නරුවේ දරුවන් කොහොමද ගුරුවරුන් නැතිව දුක් විඳින්නේ කියලා. දුෂ්කර පාසල්වල දරුවන්ට ඉගෙනගන්න අවශ්‍ය කටයුතු සලස්වන්න ඕනි* යන්න ජනපති මෛත්‍රී දුන් පිළිතුරයි. එය ජනප්‍රිය පාසල් ගුරු මාෆියාවට ලබාදුන් හොඳම උත්තරයකි.
ළඟම පාසල හොඳම පාසල කිරීම මේ රජයේ අරමුණ නම් සෑම පාසලකටම සම්පත් බෙදී යා යුතුය. දුෂ්කර පාසල්වල දරුවන්ට ගුරුවරුන් නොමැති වීමෙන් ඔවුහු මහත් දුෂ්කරතාවකට පත්ව සිටිති.
ඔවුන්ද අපේම ශ්‍රී ලාංකේය දරුවන් බව අප අමතක නොකළ යුතුය. දුෂ්කර පාසල්වල ඇත්තේ දැඩි ගුරු හිඟයකි. ඒවාට යන්නට ගුරුවරු කැමති නැත. නමුත් ජනප්‍රිය පාසලක් නම් එක පයින් කැමතිය. රාජකීය විද්‍යාලයේ ගුරු අතිරික්තය 60 කි. විශාඛාවේ 38 කි. දේවිබාලිකා 41, ආනන්ද 42, ගම්පහ රත්නාවලී 56 ක් ලෙස එම අගයන් සටහන් වෙයි. මෙසේ අතිරික්ත ගුරුවරුන් සිටියදී දුෂ්කර පළාත්වල දුවා දරුවෝ ගුරුවරුන් නොමැතිව දුක් විඳිති. එනිසා ස්ථාන මාරුවීම් ලැබූ පසුත් ඒවා බාර නොගන්නා ජනප්‍රිය පාසල් ගුරුවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවිය යුතුය. මේ නිසා අවසානයේ ගුරු ගෞරවයට හානි වන ක්‍රමවේදයකින් ඉවත් කිරීමට පෙර එම ගුරුවරුන් කළ යුත්තේ අදාළ ස්ථාන මාරුවීම් ලබාගෙන අදාළ රාජකාරි ස්ථාන වෙත ගොස් ඒවායෙහි දරුවන්ට උගැන්වීමය.
අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා පසුගිය ආණ්ඩුවලට කරගැනීමට නොහැකි වූ ගුරුමාරු කිරීම් සිදුකර ඇත. ඇත්තෙන්ම එය ප්‍රශංසනීයය. මන්ද රටේ සම්පත් වන ගුරුවරුන් නගරයට, ජනප්‍රිය පාසල්වලට පමණක් සීමා විය යුතු නොවන හෙයිනි. රාජ්‍ය සේවකයන් ලෙස ඔවුන් රටේ ඕනෑම තැනක සේවය කළ යුතුමය. මෙම ගුරුවරුන් 2400 ම මාරුකර යැවීම අකිලගේ වගකීමකි. එමෙන්ම මෙකී 2400 න් 2399ක්ම ස්ථාන මාරුවීම් ලබා ගියද, එක් අයෙකු හෝ දේශපාලන බලය භාවිත කරමින් මාරුවීම් ලබා නොගත්තේ නම් අකිල මේ දොවාගත් කිරි කළයට ගොම බින්දුවක් එකතු වෙනවා නොඅනුමානය.
විශේෂයෙන්ම මේ උද්ධච්ච ජනප්‍රිය පාසල් ගුරුවරුන්ගේ මාෆියාව බිඳ හෙළිය යුතුමය. අවසානයේදී අප බලාපොරොත්තු විය යුත්තේ ගුරු ගීතයේ දුයිෂෙන් පන්නයේ ගුරුවරුන්ය.
“පුදුම සහගත ඉවසිලිමත් බවක් පෙන්වමින්, ඇත්ත වශයෙන්ම ඔහු දන්නා සෑම දෙයක්ම අපට ඉගැන්වූයේය. හැම ළමයෙකු වෙතම ඇවිත් පැන්සල අල්ලාගත යුතු ආකාරය කියා දුන්නේය. නොතේරෙන වචන සිත් ඇදගන්නාසුලු ක්‍රමයකින් විස්තර කළේය.*
අපට අවශ්‍යද මේ පන්නයේ ගුරුවරුන්ය. නැතහොත් ගුරු මාෆියාව හදාගෙන සිටින ගුරු මුදලාලිලා නොවේය.
එබැවින් රටේ දූ දරුවන්ගේ යහපත උදෙසා කැපවීමට ගුරු සංගම්ද මීට මැදිහත් විය යුතුමය. පන්දම්වලට, දේශපාලන හයියට, වරදාන වරප්‍රසාදවලට ආදිශිෂ්‍ය හා ගුරු මාෆියාවලට බියෙන් මෙවැනි ගුරු මාරු කිරීම් නතර නොකළ යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


