විධායක ජනපති ක්‍රමය නැති කරනවා නම් ඉතින් බලයට පත්වෙලා සති තුනකින්වත් අහෝසි කරන්න ඕනේ. නැත්නම් අහෝසි කිරීම බොරුවක්* මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන තම නිවසට පැමිණි මාධ්‍ය‘වේදියෙකුට කියූ කතාවකි.
විධායක බලතල සහිත ජනාධිපති ධුරය අහෝසි කිරීම මෑතකදී නැවත කරළියට ගෙන එන්නේ ජනතා විමුක්ති පෙරමුණය. ඒ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආයුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශයත් සමගය. පැනය වන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සැබෑ වුවමනාවක්ද යන්නයි ?
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කතා කරන ජනතා විමුක්ති පෙරමුණ 1988 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පරාජය කිරීමට කඳවුරු සංවිධානය කළ පක්ෂයකි. විශේෂයෙන්ම කීර්ති විජේබාහු යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි සමන් පියසිරි ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු වූ දේශ විමුක්ති ජනතා ව්‍යාපාරය (DJV) සිරිමාවෝ බණ්ඩාරනායක 1988 ජනාධිපතිවරණයේදී පොදු ආපේක්ෂිකාව බවට පත්කිරීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය. ඒ වගේම 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට සහාය පළකළේද ජනතා විමුක්ති පෙරමුණය. විධායක ජනාධිපති ධුරය අතහරින බවට චන්ද්‍රිකා ජනතා විමුක්ති පෙරමුණට එදා ශපථ කළේය. නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක එම පොරොන්දුව ඉටුකළේ නැත. ඉන් අනතුරුව 1999දී චන්ද්‍රිකා නැවත ජනාධිපතිවරණයට තරග කර ජය ගත්තාය. 1994දී විධායක ජනපති ධුරය අතහරින බවට පැවසූ චන්ද්‍රිකා සමග 2004 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත විය. නැවත 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇප කැප වී වැඩ කළේය. 2010දී පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාටත්, 2015දී මෛත්‍රීපාල සිරිසේනටත් උදව් කළේ මේ විධායක ජනාධිපති ධුරය එපා කියන ජනතා විමුක්ති පෙරමුණය.
විශේෂයෙන්ම 2010දී සරත් ෆොන්සේකාට පක්ෂයක් හෝ තිබුණේ නැත. බැරි වෙලාවත් ෆොන්සේකා ජනාධිපති වූවා නම් ඔහු ජනාධිපති ධුරය කිසි විටෙකත් දමා යන්නේ නැත. පක්ෂයක් පවා නොමැතිව සිටි සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහාය දැක්වීම අතිශය හාස්‍ය‘යෝත්පාදකය. මන්ද විධායක ජනාධිපති ධුරය එපා කියන ගමන්ම කවදාවත් ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන හීනෙකින්වත් නොහිතන, නොපතන මිලිටරි නිලධාරියෙකු ජනාධිපතිවරයා බවට පත්කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.
20 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කරන ප්‍රකාශය හුදෙක් දේශපාලනික සටන් පාඨයක් පමණි. මේ වන විට මහින්ද හොරා කීමට බැරිය. ඒ වගේම රනිල්ටද පහර ගසන්නට නොහැකිය. ඒ නිසා මේ වෙලාවේ දේශපාලන වේදිකාව තුළ හඬක් නැගිය හැකි හොඳම සටන් පාඨය මෙයයි.
විධායක ජනාධිපති ධුරය හිතන තරම් කළු නැත. ඇත්ත වශයෙන්ම 1978 ව්‍යවස්ථාව ගෙන ඒමට පෙර තිබූ පාර්ලිමේන්තු බෙහෙවින් අස්ථාවරය. ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව රාජාසන කතාවෙන් බිඳ වැටුණි. සිරිමාවෝගේ කාලයේ පත්තර පනත නිසා ආණ්ඩුව වැටුණේය. මන්ත්‍රීවරු හංගාගෙන පාර්ලිමේන්තු පනත් පරාජය කළේය. ජේ.ආර්. ජයවර්ධන මේ සියල්ලම දෙස බලා විධායක ජනපති ධුරය ඇති කළේය. විධායක බලය යොදා ගෙන ජේ.ආර්. ජයවර්ධන රටේ ආර්ථිකය දියුණු කළේය. කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රම ගෙන ආවේය. ඒ වගේම අවුරුදු ගණනාවක් පල්වෙමින් තිබූ යූ.එන්.පී. ආණ්ඩුව ගෙදර යැවූ චන්ද්‍රිකා විධායක ජනාධිපතිවරිය වූයේ 1994දීය. කවුරුන් මොනවා කීවත් චන්ද්‍රිකා විධායක බලය රටට අහිතකර ලෙස යොදා ගත්තේ නැත. 2003 එල්.ටී.ටී.ඊ.ය ශක්තිමත් වෙමින් තිබූ අවස්ථාවක, සාම ගිවිසුම් ගැසූ වෙලාවක චන්ද්‍රිකා තම විධායක බලය පාවිච්චි කළේය. ඒ එවකට ආණ්ඩු කළ යූ.එන්.පී.යෙන් අමාත්‍ය ධුර 03ක් පවරා ගැනීමෙනි. එදා චන්ද්‍රිකා කළේ ඇත්තෙන්ම හොඳ වැඩකි. එල්.ටී.ටී.ඊය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා වූ හැරවුම් ලක්ෂය වූයේ එයයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ විධායක බලය පාවිච්චි කළේ යුද්ධය ජයග්‍රහණය කිරීමටය. ත්‍රස්තවාදය පරාජය නොකළා නම් අදත් තැන තැන බෝම්බ පිපිරීමට ඉඩ තිබිණි. අපේ දේශයේ ජනතාවට භය බිරාන්ත වී සිටීමට ඉඩ තිබිණි.
ලංකාව වගේ රටකට ඇත්තෙන්ම මෙවැනි ප්‍රබල බලයක් සහිත විධායක ධුරයක් අත්‍යවශ්‍යය. අපට මෙවැනි ප්‍රබල තනතුරකින් හරිහැටි ප්‍ර‘යෝජනයක් ගැනීමට නොහැකි වුවද මෙම විධායක බලතල පාවිච්චි කර දියුණු වූ රටකට ආසන්නතම උදාහරණය වන්නේ රුසියාවය. ව්ලැද්මීර් පූටින් විධායක බලතල පාවිච්චි කර රුසියාව ලෝකයේ හිනිපෙත්තටම සංවර්ධනය කළේය. සමතලා වෙලා, හතරගාතෙන් වැටිලා සිටි රුසියාව ඔහු කෙළින් කළේය.
ප්රශ්නය ඇත්තේ බලතල පිළිබඳ නොව බලතල හරි හැටි පාවිච්චියට ගැනීම හා එම බලතල පාවිච්චියට ගන්නා පුද්ගලයා පිළිබඳවය. පුද්ගලයා තීරණය කිරීම ජනතාව සතු බලයකි. හරි පුද්ගලයෙකු තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමකි. නැතිනම් හැමදාම ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත් කරන කෙනෙකුම ජයග්‍රහණය කරවන ක්‍රමය වෙනස් කළ යුතුය. එය තීරණය කිරීමට හැක්කේද ජනතාවටය.
සාමානුපාතික ඡන්ද ක්‍රමය හේතුවෙන් දැන් කෙදිනකවත් බලවත් ආණ්ඩු බිහි වන්නේ නැත. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇදගෙන ගියේ තනි ඡන්දයෙනි. කොයි වෙලාවේ ආණ්ඩුව වැටෙයිද යන්න පිළිබඳ බයෙන් සියල්ලෝම සිටියහ. 2001 රනිල්ගේ ආණ්ඩුවට හකීම්ලා වගේ සුළු ජාතික පක්ෂ නැති වන්නට ආණ්ඩු පිහිටුවා ගන්නට බැරි විය. 2004 දී 2010දී වගේම 2015දීත් කිසිවෙකුට 2/3 බලයක් හිමි වූයේ නැත. එදා යුද්ධය කරගෙන යන විටත් මහින්දට යූ.එන්.පී. එකෙන් පැමිණි 16 නොවන්නට පාර්ලිමේන්තු බලයද අහිමි වීමට අවදානමක්ද තිබිණි. ව්‍යවස්ථාදායකයක් පත්කර ගැනීමට මෙම සමානුපාතික ක්‍රමයෙන් බැරිය. කළ යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමය. අවුරුදු ගාණක් තිස්සේ කයිය ගසා, විදෙස් සංචාර ගොස්, කමිටු පත්කරගෙන ගෙනා ඡන්ද ක්‍රමය මෙවර පළාත් පාලන මැතිවරණයේදී අත්හදා බැලීය. නමුත් ආණ්ඩුව ඉන් හත්පොෙළ් ගාගත්තේය. මැතිවරණය පවත්වා මාසයකට විතර පසුව ඔවුන් කියන්නේ පළාත් සභා ඡන්ද පරණ විදිහටම තියමු කියාය.
ඇත්තෙන්ම ව්‍යවස්ථාදායකට බලය ලැබෙන්නට නම් කළ යුත්තේ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමය. 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාදායකයට බලයක් ලැබී තිබේ. එමෙන්ම ජනාධිපති ධුරයේ බලතලද සීමා වී තිබේ. ඇත්තෙන්ම 19 වැනි සංශෝධනය හරහා සිදුවූයේ විධායකය විකෘති වීමකි. මේ වෙලාවේ රට අස්ථාවරව ඇති මොහොතක කළ යුත්තේ වැල යන අතට මැස්ස ගැසීම පමණි. මුලින් බලතල විකෘති කරපු විධායකය යළි ප්‍රකෘති කළ යුතුය. ඒ වගේම විධායකය අහෝසි කරනවා නම් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන, ශක්තිමත් ආණ්ඩු බිහිවන මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම සිදුකළ යුතුය.
මැතිවරණ ක්‍රමයක් ගේනවා නම් සෝඩා බෝතල් කැඩුවා සේ සංශෝධන ඉදිරිපත් නොකරන, හොඳ අධ්‍යයනයකින් පසුව සිදුකරන රටට හිතදායී ඉදිරි සැලසුම් සහිතව ඉදිරිපත් කරන ජනතා හිතවාදී මැතිවරණ ක්‍රමයක් විය යුතුය. නැතිනම් සිදුවන්නේ එක එක එන්.ජී.ඕ කාරයන්ට ඕන විදිහට නටන, බංගලාදේශයේ වගේ ඉක්මනින් වැටෙන අස්ථාවර ආණ්ඩු බිහිවී රට විනාශයට පත්වීමය.
නිපුන් ඒකනායක