පසුගිය සතිය ලංකාවේ දේශපාලනය තුළ සිදුවූ සිදුවීම් අතර රාජපක්ෂලාගේ මෛත්‍රීලාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයේ හැඩතලවලට බලපෑම් සිදුවන දේශපාලන සිදුවීම් දෙකක් සිදුවිය. ඉන් ප්‍රධාන වන්නේ හදිසියේම පසුගිය සති අන්තයේ ජනමාධ්‍යවල විකාශය වු පුවතකි. විශේෂයෙන් බදදා පස්වරුවේ මහනායක හිමිවරුන් පැරණි ව්‍යවස්ථාව හොඳයි කියන බවත්, නව ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියන බවත් ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල විකාශය කෙරිණි. අස්ගිරි, මල්වතු දෙපාර්ශ්වයේ සංඝ කාරක සභාව 78 ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාවට පක්ෂ බවත් නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ප්‍රකාශ කිරීම මෙරට යහපාලනයට ළැදි මේ රටේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබා ඇති විද්වතුන්ගේ ඉහමොළ ගිනිකබල මෙන් රත්වන කාරණයක් විය. ප්‍රධාන ධාරවේ විද්‍යුත් ජනමාධ්‍ය එය වාර්තා කළ ආකාරය අනුව රැවටීමට ලක් වූ බොහෝ විද්වතුන් එදින රාත්‍රියේම තම සමාජ ජාලා පිටු තුළ සංඝ සමාජයට අභියෝග කරමින් මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය විවේචනය කරමින් එම ස්ථාවරය ප්‍රශ්න කරමින් ස්ටේටස් දමන්නට විය. සමහරක් සමාජ ජාලා පිටු තුළ අස්ගිරි මල්වතු දෙපාර්ශ්වය දැඩි ලෙස විවේචනය කළ අතර නාමල් රාජපක්ෂගේ දළදා මාලිගාව වටා රේස් පැදීම, සරත් ෆොන්සේකා සිරගත කිරීම හා මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය විසින් ගන්නා ලද වැරදි ස්ථාවරයන් පිළිබඳව හා ඉන් රටට සිදුවූ හානිය පිළිබඳව විශාල රචනාවන් සමාජ මාධ්‍ය තුළ පළ විය. එසේම හැට දෙලක්ෂයක් ජනවරම අබිබවා සංඝ සමාජයේ කීපදෙනකුට යෑමට ඇති අයිතිය පිළිබඳවද ප්‍රශ්න කෙරිණි. මාගේ තක්සේරුව අනුව එදින රාත්‍රිය තුළ අස්ගිරි මල්වතු දෙපාර්ශ්වයට සිදුවූ මතවාදී හානිය එම දෙපාර්ශ්වයම බිහිවූ දා සිට සිදු වූ සියලුම ආපදාවන්ට වඩා වැඩි බවයි. මන්දයත් මෙම දෙපාර්ශ්වයට අභියෝග පැමිණියේ දේවදත්තයන්ගෙන් වන අතර, ප්‍රථම වතාවට අගසවුවරුන්ගෙන් අභියෝගයක් එල්ල විය. එනම් ශ්‍රී ලාංකික බෞද්ධ බුද්ධිමතුන්ගෙන් දෙපාර්ශ්වය එළඹුණා යැයි කියන ස්ථාවරයට කර්කශක විවේචන එල්ල විය.
එසේම පසුදා සියලුම පත්තරවල මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ මෙම දෙපාර්ශ්වයේ ස්ථාවරයයි. 1977 ජේ.ආර් ජයවර්ධන ව්‍යවස්ථාව තුළින් රටට බොහෝ දේ ලබා දුන්නද විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්රමයේ විකෘතිය හා සංශෝධන 19 ක් සහිත වීම එම සංශෝධන බොහොමයක් රටේ පවතින ප්‍රශ්න විසඳනවා වෙනුවට තව තවත් ප්‍රශ්න උඩුදුවවන තත්ත්වයක් තුළ රටේ ජනතාවගෙන් ලක්ෂ 62 ක් ජනවරමක් වර්තමාන ආණ්ඩුවට ලබා දී තිබියදී නව ව්‍යවස්ථාවට (තවමත් ඉදිරිපත්කොට නැති) විරුද්ධ වීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්රතිගාමී, විනාශකාරී, ස්වංනාශක ස්ථාවරයකි. මෙම ප්රවෘත්ති පළවීමෙන් පසු කලබලයට පත්වූයේ විද්වතුන්, යහපාලන අපේක්ෂාව දරන සිවිල් සමාජය පමණක් නොව ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු හා දෙපාර්ශ්වයේ නායක අනුනායක හිමිවරුන්ද වේ. එදිනම උදෑසන අගමැතිතුමා විසින් දෙපාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේලා අමතා ඇති අතර, උන්වහන්සේලා ශ්‍රී ලංකාවෙන් පිටතට වැඩමකොට තිබිණි. මෙම තත්ත්වය තුළ රැස්වූ කාරක සභාවේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් එකතුව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාකොට එම අවස්ථාවේ ඉදිරිපත් වූ මිත්‍යා කරුණු (දැනට ව්‍යවස්ථාවක් ඉදිරිපත්කොට නොමැති බැවින්) පිළිබඳව සවන් දී ආවේගශීලිත්වයට පත්ව මාධ්‍යයට ජේ.ආර් ජයවර්ධනගේ 78 ව්‍යවස්ථාව හොඳ බවත්, අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ප්‍රකාශකොට තිබිණි. මෙම ප්‍රවෘත්තිය පදනම්කොට ගෙන මාධ්‍ය වැරදි ස්ථාවරයකට එමින් ප්‍රධාන ප්රවෘත්ති ඉදිරිපත් කරමින් රට තුළ මෙම කලබැගෑනිය ඇති කළේය. සංඝ භේදය ආනන්තරීය පාපකර්මයක් බව මෙම කොලමේ කිහිපවිටක්ම කියා තිබේ. රාජපක්ෂවරුන්ගේ මුදල් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය උදෙසා සංඝයා වහන්සේලා යොදා ගැනීමට සංඝ භේදය සිදුකිරීම, සංඝ සමාජයට හානි කිරීම, සංඝයා වහන්සේලා වෙනුවට චාමරලාට සිවුරු ඇන්දවීමට යොදා ගැනීම දැන් ප්රභාකරන් සන්නද්ධ අරගලයක් මෙහෙයවීම තරම්ම දරුණු කටයුත්තක් බවට පත්ව තිබේ.
රනිල් වික්රමසිංහලාගේ පුර්වගාමී පරපුර තම දේපොළ විශාල ප්‍රමාණයක්, එසේම තම ධනයෙන් විශාල කොටසක් සඟ සතුකොට ඇති බව කැලණි මිටියාවත දන්නා ඕනෑම කෙනෙක් පිළිගනී. එසේම කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ විහාරස්ථානවල සංවර්ධනයට එම පවුල විසින් සිදුකරන ලද දායකත්වය අතිවිශාලය. අදටත් එම විහාරස්ථානවල පැවැත්මට විශාලම දායකත්වය සපයන්නේ එම පවුල්වල උදවියයි. ඔවුන්ගේ පෞද්ගලික මුදලුයි. රාජපක්ෂලා තම පෞද්ගලික මුදලින් හාල් සේරුවක්, වී බුසලක්, පොල් ගෙඩියක්, දාන වේලක් පන්සලකට හාමුදුරුනමකට ඉතිහාසයේ කවදාවත් ලබා දී නොමැත. බීම් අඟලක් හෝ වෙනත් යමක් පිළිබඳ ඉතින් කවර කතාද? තිබෙනවානම් පෙන්වන ලෙස අභියෝග කරමි. තම දෙමවුපියන්ගේ සොහොනද රජයේ මුදලින් ඉදිකළ රාජපක්ෂවරු ආගමට, දහමට, පන්සලට, පල්ලියට, හාමුදුරුවරුන්ට, පූසාරීන්ට තමන්ගේ සාක්කුවෙන් තමන්ගේ ධනය රුපියලක්වත් වියදම් කරන්නේ නැත. මෙවැනි තත්ත්වයක් තුළ අපූර්වත්වය වන්නේ චාමරට සිවුරු ඇන්දවූ රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව සංඝ සමාජය උසිගැන්වීමයි. එසේ කරන ගමන්ම තමන් මහා බෞද්ධයකු බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ආණ්ඩුවේ මුදල් යොදවා බුද්ධාගම දේශපාලන ව්‍යාපෘතියට යෙදවූ රාජපක්ෂවරු එම මුදලින්ද කොටසක් හොරකම් කිරීමට අමතක නොකළේය. සයිටම් අර්බුදය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධය වැනි මෙම සියලුම කාරණා පසුපස සිවුරු ඇන්ද වූ චාමරලාගෙන් පිරී තිබේ. ඒ පසුපස තිබෙන්නේ රාජපක්ෂලාගේ කළු සල්ලිය.
චාමරගේ කතාවස්තුව යනු පසුගිය කාලයේ සිදුවූ බොහෝ ඊනියා බෞද්ධ නැගීටීම්වල සිටි (රෝහින්යා විරෝධය, හලාල් විරෝධය, සයිටම් විරෝධය) එක් චීවරධාරී නමක් වරෙන්තු ගණනාවකට පසු කොළඹ නුවර බස් රථයකින් ගමන් කරමින් සිටියදී නිට්ටඹුවේදී අත්අඩංගුවට ගැනුණි. එම අවස්ථාවේ එම චීවරධාරියා සතුව ගිහි හැඳුනුම්පතක්ද පැවිදි හැඳුනුම්පතක්ද විය. ගිහි හැඳුනුම්පතට අනුව එම චීවරධාරියා චාමර නම් මහින්දලාගේ වහල් දේශපාලන ක්රියාධරයාය. ඔහු සිවුරක් ඇඳ රට ගිනිතබන වැඩකටයුතුවල යෙදී තිබේ. රාජපක්ෂවරු ඔවුන්ගේ කළු සල්ලි යොදවා බෞද්ධ පුනරුදයට මේ සියවසයේ විශාලම සේවය කළ පරපුරකින් පැවතෙන රනිල් වික්‍රමසිංහට විරුද්ධව උසිගන්වා ඇත්තේ පන්සලේද නැතිව ලුම්පන්වරයකු වූ චාමරය.