ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැළඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැළඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල අතර පැවැති සාම සාකච්ඡා හේතුවෙන් එම දෙපක්ෂය තුළත්, එක්සත් ජාතික පක්ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබිණි.
එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්ෂය තුළ විචිකිච්චාවක් ඇති විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට උත්සාහ කළ අතර, සුජීව සේනසිංහ අමාත්‍යවරයා ඍජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණාවලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්ෂ නායකයාට එකඟවෙමින් ඔවුහු ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමූහ.
එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයන් විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මඩගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමේ කටයුතු ගම්මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්ථරයකම සිදුකර ගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර, ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.
සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යෑමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටුකිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද, ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද, දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණතභාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනී යයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේදී ජනතාව අතර සාපේක්ෂව ශක්තිමත් බවකින් පවතින අතර, පළාත් පාලන මැතිවරණය දිනාගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි.
එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙළීමෙන් වළකින ලෙසද එක්සත් ජාතික පක්ෂයට නියෝග කර තිබේ.
මන්දයත් වත්මන් ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව පැවැතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.
සැබැවින්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නොහොත් පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණදීමේ විශාල අපහසුකම් අත්විඳිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුව ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණදී තිබේ.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටය. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාගේ පිලට මෙම තත්ත්වයට මුහුණදීමේ කිසිදු තාක්ෂණික අපහසුතාවක් නැත.
එසේම එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්ත්වයන් අදාළම නොවේ. මේ මොහොත වනවිටත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතුවල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර, අපේක්ෂකයෝ ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටිති.
මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදුනොකරන ලෙස පක්ෂයේ සියලුම ස්ථරවල ක්‍රියාකාරීන්ට හා නායකයන්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.
මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය එක්තරා ආකාරයකට උභතෝකෝටිකයකට මුහුණදී තිබුණද, රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබඳ කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි.
එසේම චිරාත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවෙන් පිළුණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභාවල බලය අත්පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරයි.