ශ්‍රී ලංකාව සැබෑම නිදහසක් ලබා ගැනීමෙන් වසර නමයක් ගත වන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. එදා නන්දිකඩාල් කලපුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡ නායක වේලුපිල්ලේ ප්රභාකරන් මරා දැමීමෙන් ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රටක් බවට පත් කළේය. මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් සියලු පිරිස් වෙත එය අවසන් කිරීමේ ගෞරවය හිමි වෙයි.
ඔවුන් සිය ජීවිත පරිත්‍යාග කරමින්, අවයව දන් දෙමින්, සදාකාලික ආබාධ තත්ත්වයන්ට පත්වෙමින් මවුබිම ඒකීය රාජ්‍යයක් බවට පත්කිරීමට ගත් කැපකිරීම අප කිසිවෙකුටත් අමතක නොවිය යුතුය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව සංහිඳියාවේ නාමයෙන් මේ වන විට ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු පිටියේ පවතින රණවිරු ස්මාරකය අසලට සීමා කර තිබේ. ආණ්ඩුව පැය කිහිපයකට පමණක් රණවිරු සැමරුම ලඝුකොට පවත්වද්දී උතුරේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් ජන සංහාර සතියක් ප්‍රකාශයට පත්කරමින් ත්රස්තවාදීන් සමරමින් සිටියි.
මේ හරහා සිදුවන්නේ සංහිඳියාව ශක්තිමත් වීමක් නොවන අතර, දකුණේ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති වීමය.
පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය මෙහිදී අමතක නොකළ යුතුය. ඔහුට අනුව
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් දරුවන්ය. එම දරුවන් දළදා මාලිගාවට බෝම්ම දැම්මේය. ජය ශ්‍රී මහා බෝධියට ඉදිරිපිටදී සැදැහැවතුන් ඝාතනය කළේය. අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළේය. කාන්තණ්කුඩි පල්ලියක දේව මෙහෙයක සිටි මුස්ලිම් ආගමිකයන් මරා දැම්මේය. එසේම අමාත්‍යවරයා පවසන ආකාරයෙන් එය ‘ප්රභාකරන් %මහත්තයාගේ’ මහත්මා ක්රියාවන්ය.
මේ අතරම ඔහු ප්රභාකරන් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා හා සමාන කිරීමටත් කටයුතු කළේය. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේද යන්න පිළිබඳව ජනතාවට හෙළි කළ යුතුය. ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා කරන ප්‍රකාශ රජයේ නිල ප්‍රකාශ බවට පත්වෙන බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. ඒ අනුව සලකා බැලීමේදී වත්මන් ආණ්ඩුව ත්රස්තවාදීන් සම්බන්ධයෙන් දරන්නේ මෙම මතය දැයි ජනතාව තුළ සැකයක් මතුව තිබේ.
ශ්‍රී ලංකාවට පිලිලයක් වූ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට අනුබල දුන් කොටි සමාජිකයන් සැමරීම හරියට ඇමෙරිකාව විසින් බිල් ලාඩන් සැමරීමක් වැනිය. එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල්
අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් සැමරීමක් වැනිය. ශ්‍රී ලංකාවේ මෙවැනි සැමරීමක් සිදුවුවත්, ඇමෙරිකාවේත් ඉහත කී අනෙක් රටවල්වලත් එවැනි සැමරීමක් සිදුනොවෙයි.
අනෙක් අතට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශය එදා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ සුදු කොඩි කතාවට සමාන ප්‍රකාශයකි. මෙම ප්‍රකාශ දෙකෙන්ම සිදුවූයේ රණවිරුවන් පාවාදීමය. මෙම ප්‍රකාශ පදනම් කරගනිමින් ඉදිරියේදී ජීනීවා මානම හිමිකම් සැසිවාරවලදී තවදුරටත් ශ්‍රී ලංකාවට පීඩනය එල්ල වනු ඇත.
අනෙක් අතින් අමාත්‍යවරයා එම ප්‍රකාශය කරන අවස්ථාවේදී යුද හමුදා මාධ්‍ය ප්රකාශකවරයාද එම ස්ථානයේ සිටියේය. ඔහු දැඩි අපහසුතාවකින් එම ස්ථානයේ සිටින බව පෙනිණ. කෙසේවෙතත් ඔහු අමාත්‍යවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා නම් යුද හමුදාවට එල්ල වූ චෝදනා ඒ අවස්ථාවේදී අසත්‍යයක් බවට පත්කිරීමට අවස්ථාව තිබුණි.
වර්තමාන රජය ඒ ආකාරයට ත්රස්තවාදීන් සමරද්දී, දරුණු ගණයේ ත්රස්තවාදීන් නිදහස් කරන විටදී, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ත්රස්තවාදීන් ලෙස දකිමින් ඔවුන්ව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. මේ හා සම්බන්ධ ආසන්නතම සිදුවීම වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා පැය 12ක් ප්‍රශ්න කිරීමට කටයුතු කිරීමයි.
ජාත්‍යන්තරයට දුන් පොරොන්දු අනුව අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරමින් නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
එම ඒකකය වසා දමනවා යැයි පැවසුවද මේ වන විට සිදුව ඇත්තේ අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එයට කැඳවා ඔවුන් ජනතාව වෙනුවෙන් කරන සටන ආපස්සට හැරවීමට උත්සාහ කිරීමයි.
නුවර සිදුවීම පිළිබඳව ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් කරනවා නම්, නුවර ඇතිවූ සිදුවීම් පසුපස ත්‍රස්තවාදී සංවිධානයක් සිටිය යුතුය. ඒ අනුව මට ආණ්ඩුවෙන් ඇසීමට ඇත්තේ මේ පසුපස සිටින ත්‍රස්තවාදී සංවිධානය කුමක්දැයි යන්න ජනතාවට හෙළිකරන්න යනුවෙනුයි.
ජීවන වියදම් වැඩි වීම
ජීවන වියදම් අඩුකරන බවට රූපවාහිනියේ දැන්වීම් පළකර පැමිණි ආණ්ඩුව මේ වන විට ජනතාවගේ සාක්කුවෙන් අන්තිම ශතයද ලබාගන්නා තත්ත්වයට පත්ව තිබේ. අප ඔබට සඳහන් කළ පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ අතර, එහිදී වැඩිම මිලකින් ඉහළ දැම්මේ භූමිතෙල් මිලයි. ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත සිදුවූවක් බව ජනතාවට ‘%අමු අමුවේම’ හෙළි වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය හේතුවෙනි.
ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ එම ආයතනය විසින් ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ සිවුවැනි අදියර ලබාදීමට අදාළ වන සාකච්ඡා ජුනි මස මුල් සතියේදී අවසන් කිරීමට හැකි වෙනු ඇති බවයි. ඒ අනුව එම ණය පහසුකම ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. එම ණය මුදල වෙනුවෙන් ජනතාව පීඩාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ඉන්ධන මිල ඉහළ දැමීම මගිනි.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගින් ඒ හා සම්බන්ධ අනෙකුත් ගාස්තුද ඉහළ යනු ඇත. එහිදී මූලිකවම එය ප්‍රවාහන ක්ෂේත්රයට බලපාන අතර, මේ වන විට බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තුද, කන්ටේනර් ප්‍රවාහන ගාස්තුද වැඩිවීමට යෝජනා සම්මත වී තිබේ. ඇතැම් පාර්ශ්ව මේ වන විටත් ගාස්තු ඉහළ නංවා ඇත.
මේ ආකාරයට සෑම අතින්ම ජනතාවට පීඩාවට පත්කරන ආණ්ඩුවට තවමත් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට අදාළ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට නොහැකි වී තිබේ.
නැවතත් රට තුළ ආපදා තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් හැකි සෑම සහනයක්ම ලබාදීමට අප ඉදිරිපත් වන බව පැවසීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එය පක්ෂ පාට භේදයකින් තොරව අපි සිදුකරන්නෙමු. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා එක් අවස්ථාවකදී ප්‍රකාශ කළේ තමාට ලැබුණේ වැඩක් කිරීමට නොහැකි අමාත්‍යාංශයක් බවයි. නමුත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තරම් ජනතාවට සේවය කළ හැකි තවත් අමාත්‍යාංශයක් නොමැති තරම්ය. එම ප්‍රකාශයෙන් පෙන්නුම් කළේ අමාත්‍යවරයාගේ අදක්ෂතාවයි.
මේ අතර වර්තමානයේ එම අමාත්‍යාංශයේ කටයුතු කරන දුමින්ද දිසානායක අමාත්‍යවරයාද එම ධුරයේ කටයුතු කාර්යක්ෂම අයුරින් සිදුකරන බවක් පෙනෙන්නට නොමැත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!