ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින කාරණා පිළිබඳවය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින්ම උරණව සිටී. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම හා ඔහු විසින් මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන ප්‍රකාශයන් නිසාවෙන් උකටලීව සිටි එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නැවතත් ක්‍රියාත්මක තත්ත්වයට පත්වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති. ඒ කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම හැසිරීමට හේතු වූ කාරණා මොනවාදැයි එක්සත් ජාතික පාක්ෂිකයන් තදින් අවධාරණය කරගත යුතු බව මාගේ හැඟීමයි.
ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් ජයග්‍රහණය ලැබූ ජනාධිපතිවරයා සැබවින්ම හදවතින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගය. ඒ මන්දයත් ජනාධිපතිවරයාගේ දශක ගණනාවක දේශපාලනය තුළ ඔහු ගනුදෙනු කොට ඇත්තේ, ඇසුරු කර ඇත්තේ හා ක්‍රියාත්මකව ඇත්තේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සමගය. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා සමග ඇති වූ සංවේදී කාරණා හා ගැටුම් කිහිපයක් නිසාවෙන් සිත්තැවුලට හා වේදනාවට පත් වූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වුවද ඔහුට එතරම් තදින් එකල පැවැති දේශපාලන තත්ත්වයේ ගැඹුර හෝ දිග පළල පිළිබඳ අවබෝධයක් නොතිබූ බව මාගේ තක්සේරුවයි. සැබැවින්ම 2015 ජනවාරි 08 වැනිදාට පෙර රට මුහුණදී තිබූ දුර්දාන්ත පාලනය තුළ ජනාධිපතිවරයා එහි පාර්ශ්වකරුවෙකු වූවා සේම 2014 නොවැම්බර් 21 වැනිදා දක්වාම එය ආරක්ෂා කරන්නෙකුද විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වන තුරුම ඔහු එම දුර්දාන්ත පාලනය ආරක්ෂා කළ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාද විය.
ජනාධිපතිවරයා හා රාජපක්ෂ රෙජීමය අතර තීරණාත්මක අර්බුදය ඇතිවීමට බලපෑ ආසන්නතම සිදුවීම වන්නේ ලංකා දුම්කොළ සමාගම සමග ඇතිකරගත් ආරවුලයි. එය පිළිබඳව තවදුරටත් ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කියන්නේ නම් ලංකා දුම්කොළ සමාගම, එහි අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන් හා වාඩිවී සිටියදී හිටපු ජනාධිපතිවරයා විසින් එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපතිවරයාට වාඩිවීමට ආසනයක් පවා නොදී සිටුවාම ප්‍රශ්න කර තිබේ. මෙම අකාරුණික සැලකීම තමන්ට සිදුකළ බරපතළ සතුරුකමක් ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපතිවරයා සංවේදීව සලකනු ලැබුවේය. එම අර්බුධකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යසාර හා දුම්වැටි නිවාරණ ක්ෂේත්රයේ කටයුතු කළ ශක්තිමත් සංවිධානවල ශක්තිය හා සහයෝගය ජනාධිපතිවරයාට ලැබුණි. එය පදනම් කරගෙන ලංකා දුම්කොළ සමාගමට එරෙහිව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා තදින් ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා දුම්කොළ සමාගම එවකට සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව නීති මගින් ක්‍රියාකරමින් ඔහු උසාවි ගානේ රස්තියාදු කෙරෙව්වේය. මෙම ගැටුම රාජපක්ෂවරුන් හා වත්මන් ජනාධිපතිතුමන් අතර තීරණාත්මක බෙදීමක් සනිටුහන් කළේය. මෙම බෙදීම හොඳින් හඳුනාගත් හිටපු ජනාධිපතිනියත්, එක්සත් ජාතික පක්ෂයත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ආවේය. පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමට ප්‍රථම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකඟවී සිටියේ රාජපක්ෂවරු පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට සහායදීමටය. නමුත් මැති ඇමතිවරුන් විසිදෙදෙනෙකු සමග පැමිණෙනවා යැයි තිබූ පොරොන්දුවත්, එම මොහොතේ රටේ දේශපාලනයේ තිබූ තත්ත්වයත්, සිවිල් සමාජවලට රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට තිබූ දැඩි වුවමනාවත් නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කොන්දේසිය මත පොදු අපේක්ෂකත්වය ඔහුට ලබාදුන්නේය. එය නිර්පාක්ෂික අපේක්ෂකත්වයයි.
එහි අවසාන තීන්දුව ගනු ලැබූවේ 2014 නොවැම්බර් 20 වැනිදා එක්සත් ජාතික පක්ෂය පත්කළ විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසිනි. නමුත් 2014 නොවැම්බර් 21 වැනිදා ඔහු නොසිතූ පරිදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක, මංගල සමරවීර මෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඔහුට පොදු අපේක්ෂකයා වීමට අවස්ථාව හිමිවිය. විශේෂයෙන්ම නොවැම්බර් 21 වැනිදා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එනවිට ඔහු සමග පැමිණියේ රාජිත සේනාරත්න, රජීව් විජේසිංහ, එම්.ඩී.කේ.එස්. ගුණවර්ධන හා දුමින්ද දිසානායක යන ඇමැතිවරු පමණි. වසන්ත සේනානායක, නවීන් දිසානායක යන මැති ඇමැතිවරු සහ අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ හා පැවැති වෙනත් සම්බන්ධතාවක් නිසා පැමිණි අයය.
මෙහිදී ප්‍රධානතම කොන්දේසිය වූයේ ප්‍රථම දින සීයේදී විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා එවකට මැතිවරණ මෙහෙයුම් කමිටුවත්, සිවිල් සංවිධානවල සියලුම දෙනා සමගත් එකඟ වූ බව පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළවිය. එකල ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ තත්ත්වයේ සිටි හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ජාතික තලයේ ආකර්ෂණීය නායකයෙකු බවට පත්වීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කළ අතර, ඒ සඳහා අවශ්‍ය ධනය, හැකියාව හා පිරිස් බලය එක්සත් ජාතික පක්ෂය සතුව තිබුණු බව මාගේ හැඟීමයි. ජනවාරි 8 වැනිදා ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා ඔහුට මේ රටේ ඉරණම හා දෛවය විසින් පටවන ලද තීරණයට පිටු පාමින් කිසිදු න්‍යාය පත්‍රයක් හෝ වැඩ පිළිවෙළක් නැතිව තමන්ට ලැබුණු හා ගිවිසුම්ගත ජනමතය පිළිබඳවද අවබෝධයක්ද නැතිව එදිනෙදා තම කුඩා මනසට කවුරුන් හෝ ප්‍රකාශ කරන කරුණු කාරණාවලට අදාළව කටයුතු කරන ජනනායකයෙකු බවට පත්විය.
මාගේ පෞද්ගලික තක්සේරුව නම් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්වීම මේ රටේ අනාගතයට ඉතාම හොඳ තත්ත්වයකි. නමුත් ජනාධිපතිවරයා එම වාසිය රටට දිනාදීමට හැකියාවක් දැක්වූවාද යන්න ප්රශ්නයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හා පාක්ෂිකයන් විසින් ජනාධිපතිතුමා අසරණ තත්ත්වයට පත්කර ඇති බව සත්‍ය කතාවයි. ජනාධිපතිතුමා විසින් පසුගිය කාලයේ ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළ කරුණු උඩ බලාගෙන කෙළ ගසාගන්නවා වැනි තත්ත්වයකි. තමන් නායකත්වය දුන් ආණ්ඩුව මගින් සිදු වූවායැයි කියන අකටයුතුකම් පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරද්දී එය එක්සත් ජාතික පක්ෂයට හානිදායක වනවා සේම ජනාධිපතිතුමාගේ පෞද්ගලික ප්‍රතිරූපයටද එයින් විශාල හානියක් සිදුවේ. සැබැවින්ම රාජපක්ෂවරුන්ටත්, එක්සත් ජාතික පක්ෂයටත් හොරා හොරා කියා ප්‍රකාශ කරද්දී එම වේදිකාවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනෙකුටද දූෂණ චෝදනා තිබේ.
ජනාධිපතිතුමා රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ සිට විහිළුකාරයෙකු බවට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් විසින් පත්කොට තිබේ. එතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අපිරිසුදු, අණක් ගුණක් නැති, කිසිවෙකුටත් පාලනයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ. පෙබරවාරි 10 වැනිදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග ජනාධිපතිවරයාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය හා එතුමා පසුගිය වසර තුන තුළ ජනවරමට අදාළව කටයුතු කළ ආකාරය පිළිබඳව තාර්කික අවසානයකට පැමිණෙනු ඇත. දැනට ලැබෙමින් පවතින ආරංචි අනුව ජනාධිපතිවරයාගේ ඉදිරි වසර දෙකක කාලය අර්බුදවලින් ගහන කාලයක් වන අතර, එතුමාට එතුමා දිනාගත් ජනවරමෙන් ව්‍යුක්ත පුද්ගලයෙකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ අනුව අවසාන වශයෙන් කිවයුත්තේ ජනාධිපතිතුමා වපුරා ගත් දේ නෙළා ගනිමින් තිබෙන බවයි. එයට කිසිවෙකුත් වගකිව යුතු නොවේ.