පසුගිය සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබට එය ලබාදීමට නොහැකි වීම පිළිබඳ මුලින්ම මා සමාව අයැද සිටීමට මෙම සතියේදී ලිපිය ලිවීමට ආරම්භ වන අවස්ථාව, අවස්ථාවක් ලෙස යොදාගනිමි. කෙසේ වෙතත් එය මාගේ පෞද්ගලික කරුණක් නිසා සිදු නොවීය. රට නියෝජනය කිරීම සඳහා රුසියාවේ පැවැති ලෝක තරුණ සමුළුවට එක්ව සිටි හෙයින් තීරු ලිපිය ලිවීමට අවස්ථාක් නොලැබිණි.
ලෝක තරුණ සමුළුවේදී අප ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ජාත්‍යන්තරයට පැවසීමට අවස්ථාවක් කරගත්තේ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් අවශ්‍ය පෙනී සිටීම සිදු කරමිනි. මෙහිදී ජාතික සම්පත් විකිණීම, ආණ්ඩුව විසින් පොලීසිය යොදවා විරෝධතාකරුවන්ට කරන මර්දනය, ආණ්ඩුවේ ඇතැම් අදූරදර්ශී පිළිවෙත් හේතුවෙන් ජීවන වියදමේ සිදුවන වර්ධනයත්, එය පාලනය කිරීමට කටයුතු නොකිරීමත් පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමට කටයුතු කළෙමි.
මේ අතර ශ්‍රී ලංකාවේ සයිටම් විරෝධය රුසියාවේදීත් ඉස්මතු විය. ඒ එහිදී සයිටම් ආයතනයට, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයටත් විරෝධය දක්වමින් දැවැන්ත පෙත්සමකට අත්සන් ගැනීම හේතුවෙනි.
රුසියාවෙන් පැමිණ ගත වූ කාලසීමාව අතිශය කාර්යබහුල කාලසීමාවක් බවට පත්විණි. එසේම ඊයේ දිනයේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමටද සිදුවිය. ඒ රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කළ විරෝධතාව රාජ්‍ය සම්පත් විනාශ කිරීමක් බවට බොරු චෝදනා ගොනු කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවට පෙනී සිටීම වෙනුවෙනි.
මෙහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් 31 ක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, එක් අයෙකුට සුවිශේෂී හේතු මත ඇප ලැබිණි. පසුගිය නඩු විභාගයේදී අට දෙනෙකුට ඇප ලැබිණි. මේ සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත්තේ මා ඇතුළු පස් දෙනෙකුට පමණි. ආණ්ඩුව රටේ නීති පද්ධතිය කොතරම් දුරකට පාලනය කරනවාද යන වග එයින්ම පෙනෙයි. අනෙක් අතින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පිරිස්වල පවුල් බොහෝමයකට විවිධ ගැටලු පැමිණ තිබේ.
මේ සියල්ලන්ගේම ප්‍රශ්න සඳහා මැදිහත්ව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටියි. ලබන නඩු වාරයේදී හෝ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පිරිස වෙනුවෙන් ඇප ලබාගැනීමට අප හැකි තරම් උත්සාහ ගන්නා බව ජනතාවට ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
අප රගර් ක්‍රීඩාව තුළ නිරතව සිටියද තරුණයෙකු ලෙස සමස්ත ක්‍රීඩා ක්ෂේත්රය පිළිබඳවම කැක්කුමක් තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩාව බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ ඇති වී තිබෙන ඛේදනීය තත්ත්වය පිළිබඳ කතා නොකර සිටීමට නොහැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් විශ්‍රාම ගැනීමෙන් පසු මෑත වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණ කිරීමට නොහැකි වී තිබේ.
යම් රටක් නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් විශ්‍රාම ගියවිට ඔවුන් නිසා නිර්මාණය වූ හිඩැස පිරවීමට කාලයක් ගතවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ශ්‍රී ලංකාවේ තත්ත්වයම ඉන්දියාවට බලපා තිබිණි. නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය එය නිවැරදිව කළමනාකරණය කරමින් ගැටලුව අවසන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු නොවූයේ මෙයයි.
මේ සඳහා ක්‍රිකට් පරිපාලනය වෙත සෘජුව ඇඟිල්ල දිගු කිරීම කිසිවෙකුට වැළැක්විය නොහැකි තත්ත්වයකි. ක්‍රීඩා පරිපාලනය මෙන්ම ක්‍රීඩකයන්ද එයට වගකිව යුතු වෙයි. එකම ආකාරයක වරදක් එකම ලෙසකින් දිගටම සිදු වේ නම්, ක්‍රීඩකයන් අතින්ද යම් වරදක් සිදුව ඇති බව පෙනී යයි. අනෙක් අතින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ඇතැම් පාර්ශ්වයන් කරන විවිධ චෝදනා පිළිබඳවද පරීක්ෂණයක් කළ යුතු වෙයි.
මෙහිදී අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ප්රකාශයන්ය. ඔහු පවසන්නේ යහපාලනය තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ගිය බවයි. මේ අතර ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටින පාකිස්තානයට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ කැපවීම අගය කළ යුතුය. 2009 වසරේදී පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකාව නැවතත් පාකිස්තානයට යන්නේ නම් එය ජාත්‍යන්තරයට දෙන හොඳ ආදර්ශයකි.
කුරහන් සුවඳ තීරු ලිපිය හරහා ඔබ දිගින් දිගටම සම්බන්ධ වී සිටියා නම් එක් අවස්ථාවක මා සඳහන් කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වරින් වර ඒකාබද්ධ විපක්ෂයට එක්වෙනු ඇති බවයි. එය දැන් යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. අරුන්දික ප්‍රනාන්දු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පසුව දැන් ඩුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තිබේ.
තවදුරටත් මෙම පැමිණීම ඉදිරියේදී සිදුවනු ඇත. එක්වරම සියල්ලන්ම පැමිණෙනවාට වඩා ජනතාවට දැනෙන්නේ වරින් වර ආණ්ඩුවෙන් පුද්ගලයන් ඉවත්වීමය. අනෙක් අතින් රට බෙදීම සඳහා ව්‍යවස්ථාවක් සකස් කරන අවස්ථාවේදී ආණඩුවෙන් ඉවත් වී ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට මෙය හොඳම අවස්ථාවක් වෙයි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!