චාමරගේ පාට් හා බෞද්ධ ඡන්ද පදනම
'යනවා යන්න මෙතැනින්. එළවලා දානවා මේකව' මේ චාමර සම්පත් මහ ඇමතිය. ඌව මහ ඇමති නැවතත් හොට පටලවාගෙන ඇත්තේ පළාත් පාලන ඡන්දය කිට්ටු කරගෙනය. මේ පාර පුංචි ඡන්දය එච්චර ලෙහෙසි පහසු එක්ක නොවේ. යහපාලන රජය පත්ව පවත්වන පළමු වැනි මැතිවරණයයි. මෙය ආණ්ඩුව ගැන ගන්න වාර්තාවක් වැනිය. විපක්ෂය පවසනුයේ මෙය ජනමත විචාරණයක් කියාය. වෙනදා පළාත් පාලන ඡන්දය මෙතරම් උණුසුම් වූයේ නැත. නමුත් මෙවර ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. පක්ෂවල අනාගතය, ඇතැම් දේශපාලඥයන්ගේ රඳාපැවැත්ම හා බලය පිළිබඳ තක්සේරුවක් ගත හැක්කේද මෙම මැතිවරණයෙන් බැවින් බොහෝ දෙනෙක් වැඩි බරක් යොදා වැඩ කරති.
එදා මහින්ද ආණ්ඩුව ගෙදර යවන පළමු වැනි වෙඩිමුරය තැබුවේ ඌව පළාතෙනි. එදා මහින්දගේ ඡන්දවල සෙලවී ගියේ ඌව පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලයෙනි. එදා වැටුණු වැටිල්ල නතර වූයේ මහින්ද ගෙදර යෑවීමෙන්ය. යහපාලනය ගැන කතා කරන වත්මන් ආණ්ඩුවේ සමහර ඇමතිවරුද කොළේ ඉරාගෙන ඇඟේ හළා ගනිති. සමහරු ලීක්කර ගනිති. අතේ පැළවෙන බොරු කියා අහුවෙති. බොරුවට රණ්ඩු කරති. එමෙන්ම මාධ්‍යයට පාට් දමති. හාමුදුරුවන්ට, වෘත්තිකයන්ට බැණවදිති. ජනතාව අසනුයේ 'කෝ මේවාට ඇක්ෂන්?' යනුවෙනි. මේවා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, එක්සත් ජාතික පක්ෂයද යන්න පිළිබඳ ජනතාවට වැඩක් නැත. මේවා බැර වනුයේ ආණ්ඩුවේ ගිණුමටය. විශේෂයෙන්ම ඌව ප්‍රධාන ඇමති චාමර හාමුදුරුවන්ට පහර දීම ගැන ජනතාව තුළ ඇත්තේ දැඩි කලකිරීමකි.
ලංකාව යනු බෞද්ධ සංස්කෘතියකින් පැවැත එන රටක් බව අමතක නොකළ යුතුය. හාමුදුරුවන්ට අත තැබුවොත් මොන දේ වුණ්ද ලාංකිකයෝ පෙරට එති. ලංකාවේ ඕනෑම ඡන්දයක තීරණාත්මක සාධකය වනුයේද බෞද්ධ ඡන්ද ටිකය. ඉතිහාසය ගතහොත් මුලින්ම පංචමහා බලවේගය එනම් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු එකතු කරගෙන සංඝයා වහන්සේලාව දේශපාලනයට ගෙනාවේ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය.
1956 මහ මැතිවරණයේදී බණ්ඩාරනායක සඟරුවන ඉන්නේ තමන් එක්ක බව පෙන්නුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ නියම දේශප්‍රේමීන් බවත්, යූ.එන්.පී. එකේ ඉන්නේ අන්‍යාගමික කළුසුද්දන් බවත් ඔහු පැවසීය. සර් ජෝන් කොතලාවලද බණ්ඩාරනායක සඟරුවන දේශපාලනයට ගැනීම ගැන විවේචනය කළේය. එ.ජා.ප.ය එදා ඡන්දයෙන් පැරදුණේය.
එදා ඡන්දයෙන් පරාජය වූ යූ.එන්.පී.ය බෞද්ධ ඡන්ද ටික හදාගන්න කටයුතු කළේය. ඉන් පසු එක්සත් ජාතික පක්ෂයට හොඳ සිංහල බෞද්ධ පදනමක් හැදුණේය. යූ.එන්.පී.ය තුළ පසුකාලීනව වඩාත් ජනප්‍රිය වූයේද භික්ෂූන් වහන්සේලාය. 1965 මැතිවරණයේ තල්පාවිල ශීලවංශ, දැවමොට්ටාවේ අමරවංශ යන හිමිවරු එදා වේදිකාවල ප්‍රධාන කථිකයෝ වූහ. 1977 දී මැතිවරණ වේදිකාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කථිකයෝ වූයේ පූජ්‍ය දැවමොට්ටාවේ අමරවංශ හා පූජ්‍ය මීටියාගොඩ ගුණරතන හිමිවරුය. එදා දැවමොට්ටාවේ අමරවංශ හිමියන් පැමිණෙන්නේ නම් එ.ජා. පාක්ෂිකයන් ඡන්ද රැස්වීමට ගියේ දැඩි උද්යෝගයකිනි.
එසේ තිබුණු යූ.එන්.පී.යේ බෞද්ධ පදනම ජේ.ආර්. ජයවර්ධනගේ ක්‍රියාකලාපවලින් ගැලවී යන්නට පටන් ගත්තේය. යූ.එන්.පී.යේ දේශපාලන ගමනට ස්වාමීන් වහන්සේලා එකතු කරගත් ජේ.ආර්. ජයවර්ධන විසින්ම යූ.එන්.පී.යට තිබූ පදනම පළුඳු කළේය. එදා ජේ.ආර්. ජයවර්ධන මඬිහේ පඤ්ඥාසීහ හාමුදුරුවන්ට විෙටක පැවසුවේ, 'ඔබ ඔබේ පන්සල බලාගන්න. මම ආණ්ඩුව බලාගන්නම්' යනුවෙනි.
ජේ.ආර්. හාමුදුරුවන්ව ගණන් ගත්තේද නැත. එදා මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන්ට පහර දුන්නේද ජේ.ආර්. පාලන සමයේදීය. 'හාමුදුරුවරු කරන්නේ පන්සල්වලට වෙලා පඩික්කම් පුරව පුරව ඉන්නවා' මේ යූ.එන්.පී. ජේ.ආර්.ගේ තවත් කතාවකි. එදා බෞද්ධ බලයට පහර ගැසූ ජේ.ආර්. කපටිකමින් ජනමත විචාරණයකට ගොස් බලය රඳවාගෙන නොතිබුණේ නම්, ජේ.ආර්.ට 82 දීම ගෙදර යෑමට සිදුවනු ඇත. එකල විජයලා, රාජිතලා, විජේවීරලා ජේ.ආර්.ට පහරපිට පහර දුන්හ.
රණසිංහ ප්‍රේමදාස හා ඩී.බී. නැවත සඟරුවන සමග යහපත් ගමනක යන්නට වූහ. ඒත් ප්‍රේමදාසගේ ඝාතනයත් සමග යූ.එන්.පී.ය 1994 දී පරාජයට පත්විය. 1994 දී චන්ද්‍රිකාට විශාල සහායක් වුණේද මේ බෞද්ධ පදනමය. බණ්ඩාරනායක පවුලේ හා විජයගේ බිරිඳ වීමත් මහින්දලාගේ උදව් නිසාත් චන්ද්‍රිකා ගොඩ ගියාය. නමුත් 2000 වර්ෂය වන විට චන්ද්‍රිකාගේ බෞද්ධ ඡන්ද පදනම දෙදරා ගියේය. එදා 'P-TOM' වලට විරුද්ධව පෙළපාළි එද්දී කිව්වේ 'හාමුදුරුවෝ නෙවෙයි බුදු හාමුදුරුවෝ ආවත් ගහන්න' යනුවෙනි.
චන්ද්‍රිකාගේ මේ හැසිරීම් නිසා චන්ද්‍රිකා 2001 දී ආණ්ඩුව අහිමි කර ගත්තාය. මහින්ද, හෙළ උරුමයත් සමග එක්ව බෞද්ධ පදනමක් යළි ගොඩනැගීය. එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහෙන බෞද්ධ ජන බලය මහින්ද තමන් වටා එක්කාසු කර ගත්තේය.ඔහු දකුණේ බෞද්ධ නායකයන් හා ස්වාමීන් වහන්සේලා සමග ඉතා සමීප සබඳතාවක් ගොඩනගාගෙන තිබිණි. ඒ හරහා මල්වතු මහ නාහිමියෝ මහින්දට 'ශ්‍රී රෝහණ ජනරංජන' යන ගෞරව නාමය පිරිනැමූහ. මහින්ද ජනාධිපති වීමට පාර කැපුවේද මෙම බෞද්ධ ඡන්දය.
බෞද්ධ ඡන්ද පදනම ගැන නොසිතා සුළු ඡන්ද ගැන විශ්වාසය තැබීම මේ මොහොතේ නුවණට හුරු නැත. 1994 හා ඊට පසු යූ.එන්.පී.ය නන්නත්තාර වුණේද සුළු ජාතික ඡන්ද පිළිබඳ විශ්වාසය තබන්නට යෑමෙනි. අද වන විට ආණ්ඩුවේ බෞද්ධ ඡන්දවල ගැලවීමක් දැකගත හැකිය. ඇතැම් පිරිස් සිතනුයේ සුළු ජාතිකයන්ට සලකා එම ඡන්ද ගෙන ගොඩ ඒමටය. පසුගිය යහපාලන රජය පත්වූයේද, මෛත්‍රී ජනාධිපති වූයේද සුළු ඡන්දවලින් නොව, සිංහල බෞද්ධ පනදනම දෙකට බෙදුණු නිසාය.
චාමර සම්පත්ලා වැන්නවුන් කරන අමනෝඥ ක්‍රියා, භික්ෂූන් වහන්සේලාට පහර දීමට තැත්කරන වීඩියෝ දර්ශන සමාජගත වීම ආණ්ඩුවට සුබදායක නොමැත. එදා කැප්ලෙටිපොළ, බූටෑවේ රටේරාළ, කිවුලෙගෙදර මොහොට්ටාලට 1818 කැරැල්ල කරගෙන යෑමට උදව් කළේද ඉහගම රතනපාල වැනි ස්වාමීන් වහන්සේලාය. ඌවේ මිනිසුන් හාමුදුරුවන්ට සලකන්නේ ඒ නිසාය. හාමුදුරුවන්ට මේ වගේ සැලකුවොත් වෙන්නේ ආණ්ඩුවේ බෞද්ධ පදනම නැත්තට නැතිවී යෑමය. එදා මහින්දව ගෙදර යවන්න ඌවෙන් තැබූ වෙඩිමුරය මෙන්ම මේ ආණ්ඩුවට රතු එළියක් දල්වන්නට මේ පාරත් ඌව පළාතම සමත් වෙයිද යන්න පැවසීමට ඇත්තේ එක් රැයක් පමණි. ඡන්දයට ඇත්තේ දින 02කි. හිතාමතා ඡන්දය භාවිත කළ යුතුය. ගයා රම්‍ය අල්විස්ෙ 'වෙල්ලස්සේ කැරැල්ල' ගැන ලියූ ගීතයේ අග කොටස අවසන මෙලෙස සටහන් කරනුයේ එහි කාලීන අර්ථයක් ඇති බැවිනි.
'..ගියපු නුවණ ආයෙත් බෑ
ඇතුන් ලවා අද්දවන්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න...'
නිපුන් ඒකනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

