පසුගිය සතියේ ලියැවුණු සම්භාව්‍ය ඉස්ලාම් දර්ශනය හා සැබැඳිව මෙම ලිපිය ලියැවේ. ඉතා ගැඹුරු දාර්ශනික සම්ප්රදායක් පොහොණි කරන ලද අරාබි ශිෂ්ටාචාරය තුළ ඉස්ලාම් මූලධර්මවාදය ඉස්මතු වූයේ කෙසේද යන්න පසුගිය සතියේදී මා ඇසූ පැනයකි.
ඉස්ලාම් මූලධර්මවාදය යන්න ඉස්ලාම්වාදයෙන්ද (Islamism) හෝ ඉස්ලාම් පුනරුදවාදයෙන් (Islamic revivalism) යන්නෙන් වෙනස් වන්නකි. ඉස්ලාම් මූලධර්මවාදය යනු ඉස්ලාම් දර්ශනයේ ඇති ප්‍රධාන මූලාශ්‍රයන්හි ඇති මුල් අර්ථයන් සොයා ගැනීමට (originality interpretation) දැරෙන උත්සාහයකි.
එනයින් ඉස්ලාම් මූලධර්මවාදීහු නූතනත්වය හෝ වෙනස් වීම් පිළිගැනීමට නොකැමැත්තෝ වෙති. ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම ඉස්ලාම් මූලධර්මවාදයේ මූලික ඉලක්කයකි. නූතන ඉස්ලාම් මූලධර්මවාදය ගොඩනැගෙන්නේ 19 වැනි සියවසේ අගභාගයේදීය. විශේෂයෙන් අරාබිකරයේ වහාබ් ව්‍යාපාරය ඇතිවීම නූතන ඉස්ලාම් මූලධර්මවාදය කෙරෙහි මග හෙළිපෙහෙළි කළේය. වහාබ්වාදය යනු උග්‍ර තත්ත්වාරක්ෂවාදයක් (ultraconservative) ලෙස හඳුනා ගැනේ. මෙය 18 වැනි සියවසේ විසූ මුහම්මද් ඉබ්න් අල්-වහබ් විසින් ආරම්භ කරන ලද්දක් යැයි සැලකේ.
පසු කාලයක 19 වැනි සහ 20 වැනි සියවස්වලදී මෙම ව්‍යාපාරය වඩාත් වර්ධනය වූ අතර, නවතම ස්වරූපයක් ගන්නා ලද්දේ 20 වැනි සියවසේ දෙවැනි භාගයෙන් පසුය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ සිසිල් යුද්ධය සමයේදී බටහිර රටවල් රැසක් මෙම වහාබ්වාදය සඳහා රුකුල් දුන් බවට සාක්ෂි පවතී. විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යය ආදී වූ නේටෝ රටවල් ප්‍රබල භූමිකාවක් එම කාර්යයේදී හිමිකර ගෙන ඇත. අරාබිකරයේ සහ ඇෆ්ගනිස්ථානය ආදී වූ දකුණු ආසියාකරයේ සිටි මෙම ඉස්ලාම් මූලධර්මවාදීන් ශක්තිමත් කිරීම බටහිර ලෝකය දුටුවේ සෝවියට් ව්‍යාප්තවාදයට එරෙහිව ගත හැකි උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙසය. බටහිර බලයට එරෙහිව ගොඩනැගෙන ජාතිකවාදී බලවේගවලට එරෙහිවද ඉස්ලාම් මූලධර්මවාදය භාවිත කළ හැකි බව ඔවුහු දුටූහ.
1970 දශකයේ අගභාගය වන ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් අවිආයුධ අතට ගන්නා තත්ත්වයට පත් විය. මෙම කණ්ඩායම්වලට අවශ්‍ය අවිආයුධ මෙන්ම පුහුණුවද බටහිර ලෝකය විසින් සපයන ලදී. මෙම ඉස්ලාම් මූලධර්මවාදී ව්‍යාපාරය, විශේෂයෙන් වහාබ්වාදය මත ඇති වූ ව්‍යාපාරය, 07 වැනි සියවසේදී ඇති වූ ඛවාරිජ් ඉස්ලාම් ව්‍යාපාරයට ඇතැමෙක් සමාන කරති. ඛවාරිජ් ව්‍යාපාරයද තමන් වඩා නිවැරදි බවද, සෙසු මුස්ලිම්වරුන් වැරදි බවද, දකිමින් ඔවුන් ඝාතනය කිරීමට කටයුතු කෙරිණි. එසේම මුස්ලිම් මූලධර්මවාදීන්ද ඉස්ලාම් විවිධ වූ ඉස්ලාම් කුලකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වන බව පෙනේ. ඉස්ලාම් අන්තවාදීන් ප්‍රධාන වශයෙන්ම විරුද්ධ වන ක්ෂේත්රයන් වන්නේ ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, පුද්ගල නිදහස (individual liberty), වෙනත් විශ්වාසයන් ඉවසීම (tolerance of different faiths and beliefs) වැනි දේය. උදාහරණයක් ලෙස නයිජීරියාවේ ක්‍රියාත්මක බොකො හරාම් නම් සංවිධානයෙහි නමෙහි අර්ථය වන්නේ බටහිර අධ්‍යාපනය පාපකාරීය යන්නය. තලිබාන් වැනි සංවිධානද ක්‍රියාත්මක වන්නේ එවැනි ආන්තික මතවාද මතය. මෙනයින්, වර්තමාන ඉස්ලාම් මූලධර්මවාදය පැහැදිලි කර ගැනීමට නම් දේශපාලනික, ආර්ථික සහ ආගමික අංශ රැසක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
දර්ශන අශෝක කුමාර