ඇමති අකිල පාස්ද?
ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනයට ඇති ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ ඉන්දියාවෙන් සංස්කෘතියද ඒහා සැබැඳුණු බෞද්ධ අධ්‍යාපන ක්රමයක්ද සහිතවය. මෙම අධ්‍යාපනය යුගයෙන් යුගය පැවැතෙමින් 1505 පෘතුග්‍රීසීන් ශ්‍රී ලංකාවට පැමිණීම දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෘතුග්රීසීන්ගේ ආගමනයත් සමග යුරෝපීය අධිරාජ්‍යවාදීන් ලෝකය පුරා ප්‍රචලිත කරමින් තිබූ ක්‍රිස්තියානි දර්ශනය පදනම් කරගත් අධ්‍යාපනයක් අපට උරුම විය. වසර 400කට වඩා අධික කාලයක් තිබූ යුරෝපීය පාලනය තුළ ශ්‍රී ලංකාවේ පන්සල කේන්ද්‍ර කරගත් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්රමයද, ප්‍රධාන යුරෝපීය ජාතීන් තුනක් විසින් විටින්විට හඳුන්වා දෙන ලද මිෂනාරී හා නවීන අධ්‍යාපනයද, ඉන්දියානු හින්දු සම්ප්‍රදායන් පැවැත එන ද්‍රවිඩ ජනතාවට ආවේණික ඉගැන්වීම්ද ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව තිබිණි. දේශීය අධ්‍යාපනයේ ශක්තිමත් බව කොතෙක්ද යත් වසර 400ක යුරෝපීය පාලනයකින් පසුවද එයින් වසර 100කට වඩා කාලයක් මුළුමනින්ම බ්‍රිතාන්‍යයට යටත්ව තිබියදීත් දේශීය වෙදකම, ස්වදේශීය භාෂා, ස්වදේශීය ආගම් හා කුල ක්‍රමය නිරුපද්‍රිතව පවතිනුයේ සමාජය තුළ මුල් බැසගෙන තිබූ මෙම දේශීය අධ්‍යාපනය ප්‍රබල බව නිසාවෙනි. මේ අනුව කිව යුත්තේ කෙතරම් අවශ්‍යතාව තිබුණද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශීඝ්‍ර පරිවර්තනයකට ලක්කළ හැකි හෝ එය ප්‍රතිසංස්කරණය කිරීම ජනතාව ඉවසන එතරම් පහසු කටයුත්තක් නොවන බවයි. මේ නිසාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව ජනතාව කුපිත කිරීම පෙළගැස්වීම ඉතා පහසු කටයුත්තක් බව මාගේ හැඟීමය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව යෑම ජාන ලක්ෂණයක් වන තරමට සංකීර්ණ සංසිද්ධියක් බවට පත්ව තිබේ. ඒ මතම යැපෙමින් දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් ඇතුළු සංවිධාන චිරාත් කාලයක් වැජඹෙමින් තිබේ.
මෙවැනි සන්දර්භයක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්තමාන ආණ්ඩුව යෝජනා කරමින් සිටියි. වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මුළුමනින්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාව ලබාගන්නා අධ්‍යාපනයෙන්ම බිහිවූ ඇමතිවරයෙකි. එතුමාගේ පියා වයඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම ලේඛකාධිකාරීවරයාය. එසේම ඔහු විශ්‍රාම යෑමෙන් පසු පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ වෙළෙඳ ව්‍යාපාරයක හිමිකරුවෙකි. අධ්‍යාපන ඇමතිවරයාගේ පවුලේ සියල්ලන්ම රට පුරා ඇති විශ්වවිද්‍යාල ගණනාවක කථිකාචාර්යවරුන් ලෙස කටයුතු කරන අතර, එක් සහෝදරියක ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියකි. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු එක් සහෝදරියක හා විවාහ වී සිටියි. මේ අනුව ගත්කල වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ජීවිතය පිරී ඇත්තේ, ඔහුගේ ලේ නහරවල ගමන් කරනුයේ ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ රිද්මයයි. කොළඹ විශ්වවිද්‍යාලයේත්, විවෘත විශ්වවිද්‍යාලයේත්, ශ්‍රී ලංකා නීතී විද්‍යාලයේත් ආදි විද්‍යාර්ථියෙකු වන එතුමා උපත ලබා ඇත්තේ හා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ වන්නි හත්පත්තුවේ කුලියාපිටියේය. එබැවින් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දිග පළල අමුතුවෙන් කියාදිය යුතු නැත. ඔහු තද ස්ථාවරයක සිටිනුයේ මෙම අධ්‍යාපන ක්රමයේ ඇති විපරිත තත්ත්වය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බවටය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී ප්‍රථම දින 100 තුළ රජය විසින් විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කළද, එම මුදල් නිර්මාණශීලී ලෙස වැය කිරීමට කිසිදු හැකියාවක් එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි නිලධාරී පැලැන්තියට නොතිබිණි. තරුණ අධ්‍යාපන ඇමතිවරයා කෙරෙහි නිවැරදි තක්සේරුවක් නොතිබූ එම නිලධාරීහු අතිවිශාල ප්‍රතිශතයක් කිසිදු නිර්මාණශීලී කටයුත්තකට ඉඩකඩ නොතියා වහාම එම මුදල් භාණ්ඩාගාරයට නැවත හරවා යැවීමට කටයුතු කළහ. අලුත් ඇමතිවරයාට අමාත්‍යාංශයේ කටයුතු එකලාසයක් කරගැනීමට දින 100කට වඩා ගිය බව මාගේ හැඟීමය. එසේ තිබියදීත් රට පුරා පාසල්වලට තට්ටු තුනේ නව ගොඩනැගිලි ලබා දෙමින් ඉඩකඩ සැලැකිය යුතු ප්‍රමාණයකින් විසඳීමට හැකිවිය. එසේම නිලඇඳුම් ලබාදීම මගින් රජය විසින් වසරකට රුපියල් බිලියන 07ක් පමණ වියදම් කරන අතර, එම මුදලින් විශාල මුදලක් කොමිස් ලෙස කාගේ හෝ සාක්කුවකට ගිය බවත්, බාලවර්ගයේ රෙදිපිළි දරුවන්ට ලබාදුන් බවත් මුළු ලංකාවම දන්නා රහසකි. මෙම දූෂිත ක්‍රමය වෙනස් කොට දරුවන්ට වවුචර් ලබාදීම මගින් රුපියල් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් රජයට ඉතිරි වූ අතර, වවුචර් ක්‍රමයට විරුද්ධව ආ විරෝධයට මුදල් සම්පාදනය කරන ලද්දේ එම දූෂිත කල්ලිය විසිනි. එම කුමන්ත්‍රණයට මුහුණදී පරාජය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකිවිය. දැන් දරුවන්ට තමන් කැමැති නිල ඇඳුමක් ලබාගැනීමේ හැකියාව ලැබිණි. එමගින් රජයේ විශාල මුදලක් ග්‍රාමීය රෙදිපිළි ව්‍යාපාරිකයන් අතර බෙදී යෑම මගින් රටේ ආර්ථිකයටද විශාල වාසිදායක බලපෑමක් සිදුවේ. විශේෂයෙන් කාගේ හෝ සාක්කුවකට ගිය මුදල නැවත රටට ඉතිරි විය.
අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පත්වූ දා සිට ධනවතුන්, බලවතුන් හා දූෂිතයන් විසින් පාසල්වලට ළමුන් ඇතුළත් කර තිබීමට තිබූ ඉඩකඩ අහෝසි කර දැම්මේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද රට පුරා සියලුම මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාලවලට දෙමාපියන් තුළ විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ. %ළඟම පාසල හොඳම පාසල^ සංකල්පය යටතේ තරග විභාගවලින් තෝරාගත් නව විදුහල්පතිවරු 5000ක්, අධ්‍යාපන පරිපාලන විභාගය සමත් විදුහල්පතිවරුන් 800ක් හා ක්‍රීඩා ගුරුවරු 3600ක් පාසල්වලට ලැබී තිබේ. එසේම අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් ඉහළ දමමින් පාසල් තුළ යටිතල පහසුකම් නගාසිටුවීමේ විශාල වැඩසටහනක් ක්‍රියාත්මක වේ. එමෙන්ම ලංකාවේ ඇති සියලුම පාසල්වලට පාසලකට රුපියල් මිලියන 02ක බැගින් වියදම් කර නව වැසිකිළි පද්ධති ලබාදෙනු ලැබීය.
ළමයින්ගෙන් පිරිසුදු කිරීම් කටයුතු කළ යුගය අවසන් කොට සෑම පාසලකටම කම්කරුවන් ලබාදුනි. අද මුරකරුවන්ගේ හා කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට ළමුන්ගෙන් මුදල් ඉල්ලා පාසලෙන් පණිවිඩ ගෙදරට එන්නේ නැත. %ළඟම පාසල හොඳම පාසල^ සංකල්පය යටතේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හොඳම ප්‍රතිඵලවලින් 80%කට වඩා ඇත්තේ ඈත ගම්දනව්වල කුඩා පාසල්වලය. එය කෙසේ වුවත් ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීම හා දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම පිළිබඳ අමාත්‍යාංශය සලකා බලමින් සිටියි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන ලද බොහෝ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මේ වසරේ සිට මේ රටේ ජනතාවට ලැබෙනු ඇත. විශේෂයෙන් විෂයය මාලා සංවර්ධනයෙන් සිදුකරන ලද වෙනස්කම් ලංකාවේ ශ්‍රම හමුදාවේ සංයුතියට විශාල බලපෑමක් කරනු ඇත. අනාගතයේ ත්‍රිරෝද රථ නවත්වන ස්ථානවල රස්තියාදු ගහන තරුණයන් වෙනුවට වෘත්තීය හැකියාවකින් යුත් තරුණයන් පාසල්වලින් බිහිවනු ඇත. ආකල්පවල විශාල වෙනසක් සිදුවේ.
එසේම අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකරන ලද ඓතිහාසික කර්තව්‍ය නම් සියලුම පාසල් සිසුසිසුවියන්ට නොමිලේ රක්ෂණය ලබාදීමය. එමගින් රටේ සියලුම දරුදැරියෝ සෞඛ්‍යය අවදානමක් නැති සමානයෝ බවට පත්වෙති. මගේ පෞද්ගලික තක්සේරුව නම් ශ්‍රී ලාංකික ජනතාවට නිවැරදි අධ්‍යාපන අමාත්‍යවරයා ලැබී ඇත. බොරු වළවල නොවැටී ඔහුගෙන් වැඩ ගෙන රටේ අධ්‍යාපනය නගාසිටුවීමට එම ඓතිහාසික අවස්ථාව ලැබී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


