'අපි අගමැතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවා ඒකට අපි එක්ක පසු පෙළ මන්ත්‍රීවරු ඉන්නවා* යනුවෙන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාරය. 'මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කොමඩියක්. ඉස්සරහට හොඳින් හරි නරකින් හරි පක්ෂයේ වෙනස්කම් සිදුවේවි*. මෙසේ පැවසූයේ වසන්ත සේනානායකය. පසුගිය පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුව අන්දොස් වී ඇති වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ සමහර මැති ඇමතිවරු කීවේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවයි. තවත් සමහරු කීවේ රනිල්ම තියාගත යුතු බවත් පක්ෂය තුළ රැඩිකල් වෙනස්කම් ඇතිකළ යුතු බවත්ය. ඒ සඳහා නායකත්වයට සුදුසු දෙවැනි පෙළක් නිර්මාණය කරන ලෙසද ඔවුහු පැවසූහ.
ලංකාවේ සිටි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවේය. නමුත් ඩී.එස්. එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි පෙළක් නිර්මාණය කළේය. එතුමාගේ අභාවයෙන් පසුව එජාපයෙන් ඩඩ්ලි අගමැති විය. ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි පෙළක් නිර්මාණය කර තිබිණි. ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, ජේ.ආර් ඕනෑම වෙලාවක නායකත්වය ගැනීමට සැදී පැහැදී සිටි දෙවැනි පෙළ නායකයෝ වූහ. එදා ඔවුන්ට ඕනෑ තරම් වැඩ කරන්නට අවස්ථාව ලබා දී තිබිණි.
1956දී බණ්ඩාරනායක නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකළේය. නැවතත් බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට බලය අල්ලා ගන්නට හැකි වූයේද ශක්තිමත් දෙවැනි පෙළක් තිබීම නිසාය.
1970දී නැවත සිරිමාවෝ සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවාගෙන අවුරුදු 07කින් පසු එනම් 1977දී එම ආණ්ඩුව පෙරළා දමා 5/6ක බලයක් ලබාගන්නට ජේ.ආර්.ජයවර්ධනට හැකිවන්නේද මේ ශක්තිමත් දෙවෙන පෙළ නිසාය. එදා ආර්. ප්‍රේමදාස ජේ.ආර්ගේ හයියට හිටියේය. ලලිත්ලා ගාමිණීලා මේ ශක්තිය තවත් තිව්ර කළේය. ජේ.ආර්.ගේ ආණ්ඩුව වැටෙන්න යද්දී එය ගැට ගසාගෙන අවුරුදු 17ක් අරගෙන යන්නට හැකි වුණේ මේ ශක්තිමත් දෙවෙන පෙළ නිසාය. 1987 මැතිවරණයට ඉදිරිපත් වීමට ආර්.ප්‍රේමදාසට හැකි වුණේ දෙවෙන පෙළ නායකයෙක් විදිහට රටටම වැඩ පෙන් වූ නිසාවෙනි.
ඒ වගේම ජේ.ආර්. දෙවන පෙළ ශක්තිමත් කළා වගේම විපක්ෂයද අල්ලාගෙන ආණ්ඩුව ඉස්සරහට යන්නට ගේම් ගැසුවේය. පක්ෂ අභ්‍යන්තරයෙන්ම එදා ජේ.ආර්ට විරුද්ධව කැරලි එද්දී ජේ.ආර්. ඒවා නවත්ත ගත්තේ දේශපාලන උප්පරවැට්ටි පාවිච්චි කරලාය. එකල ජේ.ආර්ට විරුද්ධව විශාල බලවේගයක් ගොඩනැගී තිබිණි. නමුත් 1982දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොම්බෑකඩුවගේ කකුලෙන් ඇද ඔහුව පරාද කරන්නට ජේ.ආර්. පාවිච්චි කළේ අනුර බණ්ඩාරනායකවය. එදා ජේ.ආර්ට තර්ජනයක් වූ විජය කුමාරණතුංග හිරේට දැම්මේය.
පක්ෂය තුළ බලය හදාගන්නට ජේ.ආර්. අමුතුම සෙල්ලම් දැම්මේය. ගිලිහී ගිය බලය ඔහු නැවත රඳවා ගත්තේ එසේය. ජේ.ආර්ගෙන් පසුව ජනාධිපති වූ ප්‍රේමදාසට පක්ෂය එකට තියාගන්නට හැකි වූයේ නැත. ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍රලා එළියට බැස්සේය. නැවත එක්සත් ජාතික පක්ෂය දියාරු වෙන්නට විය. ප්‍රේමදාස අභාවප්‍රාප්ත වූවාත් සමගම නැවතත් එක්සත් ජාතික පක්ෂය එකට එකතු කරන්නට ගාමිණී දිසානායකට හැකිවිය. අද යන්නේ නෑ කියන රනිල් වික්‍රමසිංහ එදා ගාමිණීට පක්ෂ නායකත්වය ලබාදුන් බව කාටත් අමතකය. 1994දී ගාමිණී ඝාතනය කළ පසු එ.ජා.පය නැවත සීසීකඩ විය. මෙසේ කැඩුණු එක්සත් ජාතික පක්ෂය ආපහු සංවිධානය කරල නැගිට්ටෙව්වේ රනිල්ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයට එළව එළවා පහර දෙනකොට පක්ෂය ගොඩගත්තේ රනිල්ය. 2001දී නැවත එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නේ රනිල් වික්‍රමසිංහය. නමුත් මේ සියලු දේ කළ රනිල් එක තැනකින් අනාගත්තේය. ඒ පක්ෂයේ දෙවෙනි පෙළක් හදන්නට වුවමනාවක් නොතිබිමෙනි. නමුත් රනිල් ආපහු මෛත්‍රීව ජනාධිපති බවට පත්කරන්නට කටයුතු කළේය. පොදු අපේක්ෂකයා විදිහට පැමිණි මෛත්‍රීට උදව් කළේ රනිල්ය. නමුත් ඔහු මෙවරද පක්ෂය තුළ දෙවෙනි පෙළක් නිර්මාණය කළේ නැත. 'ඇතුළත් ගිනි පිටත් ගිනි^ තත්ත්වයට පැමිණීමට සිදුවූයේ මේ හේතුවෙනි.
මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ රනිල් එළවන්නට කටයුතු කිරීම නොවේය. මන්දයත් මේ වනවිට මහින්ද රාජපක්ෂ වටේ රැල්ලක් සෑදී ඉවරය. සමාන්‍යයෙන් රැල්ලක් (Trend) හැදුණාම එය වෙනස් කිරීම එතරම් ලෙහෙසි පහසු නැත. මේ වෙලාවේ කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය රැකගැනීමේ සටනකට උරදීමයි. පක්ෂ නායකයා එළවීමට කටයුතු කරනවාට වඩා කළ යුත්තේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමයි. නවක මැති ඇමතිවරුන්ට අවස්ථාව ලබා දී ශක්තිමත් දෙවෙන පෙළක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන්ම ගමේ ඡන්ද ටික තියෙන සජිත් ප්‍රේමදාසලාට වැඩක් කරන්නට දීම සිදුකළ යුතුය. ඒ වගේම රාජිතලා, රංජිත් මද්දුම බණ්ඩාරලා වගේ ෙජ්යෂ්ඨයන් පාවිච්චි කර පක්ෂය හරියට සංවිධානය කිරීම සිදුකළ යුතුය.
ඒ වගේම පසුපෙළ මන්ත්‍රීවරුන්ට වැඩක් කරන්නට අවශ්‍ය වටපිටාව හදා දීම සිදුකළ යුතුය. නැත්නම් මේ වෙලාවේ නායකත්වය අයින් කරන්නට යෑමෙන් සිදුවන්නේ අතීසාරයට අමුඩ ගැසීම වගේ දෙයකි. දෙවැනි පෙළ නායකත්වයක් හදන්නට සුදුසුම කාලය එළඹී ඇත. සුදුස්සාට සුදුසු තැන ලබාදී පසුපෙළ මන්ත්‍රීවරුන්ටත්, යූ.එන්.පී ජ්‍යෙෂ්ඨයන්ටත් හරියට සලකාගෙන ඉදිරියට නොගියොත් යූ.එන්.පී. එකට ගොඩඒමක් නැත. අපලවලට කොච්චර පුහුල් කැපුවත් වැඩක් නැත. හරි ඇදුරෙකුගෙන් හරි විදිහට වතාවත් පිළිවෙත් කිරීමෙන් අපල මගහරවා ගැනීමට පුළුවන. ඒ නිසා කළ යුත්තේ පක්ෂය තුළ සිටින හැමෝටම එක හා සමානව සැලකීමය.
තවමත් එජාපය පරක්කු නැත. අඩුම තරමේ මේ ඉතිරි කාලයේදීවත් රටට වැඩක් කළ හැකි නම් ජනතාවට හොඳය. නායකයා මාරු කරන්නේ කෙසේද. පක්ෂ ඇතුළේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද. ආණ්ඩු පවත්වාගෙන යන්නේ කෙසේද යන්න හිත හිතා ඉන්නවාට වඩා ජනතාවට වැඩක් කරන්නේ නම් ඔය කාගෙ කාගේත් අපල දුරුවනු ඇත.
නිපුන් ඒකනායක