මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) ජයග්‍රහණය වෙනුවෙන් සිය වටිනා ඡන්දය භාවිත කළ සියලු දෙනා වෙනුවෙන් මෙන්ම වත්මන් ආණ්ඩුවට එරෙහිව වෙනත් පක්ෂවට ලත් ඡන්දය භාවිත කළ සියලු දෙනාට ස්තුතිවන්ත වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මෙවර මැතිවරණයට කෙටි කාලයක් තුළ නව පක්ෂයක් සමගින් අපට තරග කිරීමට සිදු වූයේ ඉතිහාසයේ කිසිදු ආකාරයකින් විපක්ෂයකට මැතිවරණයකදී කටයුතු කිරීමට සිදු නොවූ අයුරින් විවිධ බාධා එල්ල වන තත්ත්වයක් තුළය.
ආණ්ඩුව ජනතාව සිය පැත්තට නම්මවා ගැනීම වෙනුවෙන් මැතිවරණ දිනයේදී පවා ජනතාවට ඡන්ද අල්ලස් ලබාදෙන අයුරු දක්නට ලැබිණි. භාණ්ඩ වෙනුවට මෙවර මුදල් පවා ඡන්ද අල්ලස් වශයෙන් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. ඉන් නොනැවතී රාජ්‍ය සේවයකයන් පවා හම්බන්තොටට ගෙනැවිත් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට මේ නිර්ලජ්ජිත ආණ්ඩුව කටයුතු කළේය.
මැතිවරණයේ අවසන් පැය 48 එකදිගට භාණ්ඩ බෙදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය හම්බන්තොටදී තමන්ට එක් ඡන්දයක් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 10,000ක පමණ මුදලක් වෙන් කළේය. නමුත් මෙරට මවුකිරි බී හැදීවැඩුණු, බත් කා හැදුණු ජනතාව කිසිවකටත් යටත් නොවී සිය මතය සාමකාමීව ප්‍රකාශ කළේය. මේ සියල්ලට ඔවුන් පිළිතුර දුන්නේ ඉතිහාසගත ජයග්‍රහණයක් පොදුජන පෙරමුණට ලබාදෙමිනි. ඒ බලයේ සිටින ආණ්ඩුවකට පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ පළමු අවස්ථාව ලෙස මෙම මැතිවරණය වාර්තා අතරට එක්වෙන හෙයිනි.
මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් කියැවෙන්නේ යහපාලන ආණ්ඩුව දැන් රටේ බහුතරක් ජනතාවට වහපාලනයක් වී ඇති බවයි. මේ මැතිවරණයෙන් කියැවෙන්නේ රාජ්‍ය සම්පත් විදේශයන්ට විකුණා දැමීමට ජනතාව අකැමැති බවයි. මේ මැතිවරණ ප්‍රකාශයෙන් කියැවෙන්නේ රට බෙදෙන නව ව්‍යවස්ථාවකට ජනතාව එකඟ නොවන බවයි. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් කියැවෙන්නේ රණවිරු දඩයමට ජනතාව විරුද්ධ බවයි. මේ මැතිවණ ප්‍රකාශයෙන් කියැවෙන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩුව විසින් හසුරු වන ආකාරය වැරදි බවයි. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් කියැවෙන්නේ නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ආණ්ඩුවට එරෙහි බවයි. මෙහි අවසන් ප්‍රතිඵලයෙන් සමස්තයක් ලෙස ගත් විට කියැවෙන්නේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ රටේ ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුවට පැවැති ජනවරම දැන් අහිමි වී තිබේ. ජනවරමක් අහිමි වූ ආණ්ඩුවකට දැන් බලයේ සිටිය නොහැකිය. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායටද විරුද්ධය. ජනාධිපතිවරයා තුනෙන් දෙකක බලයක් ලබාගෙන දැන්වත් ජනතා මතයට හිස නමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. ජනතාවට තමන් කැමැති ආකාරයේ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. එය නොවන්නේ නම් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ඒකාධිපති නායකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසයට එක්වෙනු ඇත. ඒ ජනතා මතයට හිස නමමින් මැතිවරණයක් පැවැත්වීමට ඔහු කටයුතු නොකරන නිසාවෙනි. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ පිට මැතිවරණ පවත්වමින් ජනතා මතය උරගා බැලීමට කටයුතු කළේය. ඒ කාලයේ ප්රජාතන්ත්රවාදයක් නොතිබුණු බවට සඳහන් කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නේ නම්, කළ යුතු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමය.
මේ වන විට රට දේශපාලනික වශයෙන් අස්ථාවර වී තිබේ. මෙවැනි අස්ථාවරත්වයක් යටතේ රටක් පවත්වාගෙන යෑම අපහසුය. ප්‍රධාන වශයෙන්ම රටක ආර්ථිකයක් කඩාවැටීම සඳහා දේශපාලන අස්ථාවරත්වයට බලපානු ලබයි. මේ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුය. ජනතා ඡන්දයෙන් ආණ්ඩුවක් නිර්මාණය කිරීම අවස්ථාව ලබාදිය යුතුය. යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවොත් ඒ සඳහා සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්ය.
මෙහිදී ජනතාවගේ දැනුවත් වීම සඳහා ප්‍රධාන වශයෙන්ම කරුණක් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක්‘ කර ගනිමි. ඒ හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එකඟතාවකට පත්වූ බවට වාර්තා වන තොරතුරු පිළිබඳවය. හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැත. ඒ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුද අසත්‍ය වෙයි.
මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ අන්ත පරාජය පිළිබඳ වචනයක් කතා නොකරම බැරිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සම්පූර්ණ බලය යොදා මැතිවරණ ප්‍රතිඵලය මෙහෙයවීය. ජනාධිපතිවරයා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගත හැකි වූයේ ඡන්ද මිලියන 1.47ක් පමණි. මේ අනුව පැහැදිලි වන්නේ 2015 ජනාධිපතිවරණයේදී ඔහු බලයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.
මෙම 'කුරහන් සුවඳ' තීරු ලිපිය ඊයේ (12දා) ලියන විට මාධ්‍ය හරහා වාර්තා වූයේ, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා තවදුරටත් ජනතා මතයට පයින් ගසමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා කළ යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහාය දැක්වීම නොව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අවශ්‍ය කටයුතු කර මැතිවරණයක් පැවැත්වීමය. ජනාධිපතිවරයා අපට සඳහන් කළේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය අප විසින් සිදුකරනු ලබන බවයි. නමුත් දෙවැනි බණ්ඩාරනායක ඝාතනය සිදු වූයේ ජනාධිපතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයට ගිය විටය. දැන් ඔහු තෙවැනි බණ්ඩාරනායක ඝාතනය සිදු කිරීමට කටයුතු කරන්නේ ජනතා මතයට පිටුපාමින් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහාය දෙමිනි.
කුමන කරුණක් යටතේ වුවද ආණ්ඩුවට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය ලබා දුන් ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් වගකීම් විරහිතව අපි පෙනී සිටින්නෙමු. මෙම ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යන දවස වැඩි ඈතක නොවන බවද මෙහිදී මතක් කරන්නෙමු.
ඔබට සුබ අනාගතයක්! ලබන සතියේදී යළිත් හමුවෙමු!