චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (15දා) එළැඹෙන නව වසරට පෙර තමන්ගේ නවතම සටන වන දුප්පත්කමට එරෙහි සටන ඇරඹුවේය. චීනයේ වඩාත් දුෂ්කර සහ අතිදුගී පිරිසක් ජීවත් වන ප්‍රදේශ වන සන්හෙ සහ හුඕපු යන කඳුකර ප්‍රදේශවල සංචාරයක යෙදුණේ චීන වැසියන් මවිත කරමිනි. සිචුආන් පළාතේ දකුණට වන්නට පිහිටි කඳුකර පෙදෙස් වන මේ ප්‍රදේශවලට ළඟා වීම පවා අතිශය අසීරුය.
&මේ සටන අතිශය අසීරුයි. එහෙත් එය කොතරම් අසීරු වුවත් කමක් නැහැ. අපට මේ සටන දිනන්න වෙනවා. මේ සටනේදී එකම පවුලක්වත් අපි අත්හැරලා ඉදිරියට යන්නේ නැහැ* ජනාධිපති ෂී එසේ පැවසූ බව දිනපතා පුවත්පතක් වන %පීපල්ස් ඩේලි^ පුවත්පත වාර්තා කර තිබිණි. සිචුආන් පළාතේ අගනගරය වන චෙන්ඩු සිට කිලෝමීටර් 440ක් පමණ දකුණුදිගින් පිහිටි මෙම ප්‍රදේශය මීට වසර දෙකකට පමණ පෙර ලෝකයේම අවධානය දිනා ගත්තේ මෙහි ජීවත් වන එක් ජන කොටසක කුඩා දරුවන් පාසල් යෑම සඳහා මීටර 800ක් කන්දක් නැග ගමන් කිරීම සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමගය. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට පෙර චීන නායකයන් රටේ දුගී ප්‍රදේශයක සංචාරය කිරීම සිදු වුවද, මෙවර සංචාරය වඩාත් අවධානයට යොමු වූයේ 2018 වසරේ ජනාධිපති ෂිගේ බලාපොරොත්තුව දුප්පත්කමට එරෙහිව සටන් කිරීම බව ප්‍රකාශ කිරීම නිසාය.
2020 වන විට නිල වශයෙන් දුප්පත් මට්ටමේ සිටින මිලියන 30ක ජනතාව ඉහළට ඔසවා තැබීම ජනාධිපති ෂීගේ වැඩපිළිවෙළේ අරමුණයි. 1980 දශකයෙන් පසු චීන ජනතාව දුගී බවින් මුදා ගැනීමේ සටහන වඩාත් සාර්ථකව ඉදිරියට ගියද, තවමත් නිල වශයෙන් දුප්පත් මට්ටමින් සිටින මිලියන ගණනක් චීනයේ ජීවත් වෙති.
ජනාධිපති ෂීගේ සංචාරය ගැන චීනයේ දැඩි අවධානයක් යොමුව තිබෙන බව චීන මාධ්‍යය දෙස බැලූ විට පෙනී යයි. එය දේශපාලනික වුවමනාවට සිදුවන දෙයක් නොව ජනාධිපති ෂීගේ දැඩි කැමැත්ත මත සිදුවන්නක් බවද බොහෝ දෙනා විශ්වාස කරති. මේ සංචාරයේදී අපූරු දෙයක් සිදුව තිබිණි. එක් වයෝවෘද්ධ පුද්ගලයෙකු මෙහිදී ජනාධිපති ෂීට කියා තිබුණේ &ඔබ අපේ උතුම් නායකයා. චීන ජනතාවගේ පැතුම් ඉටු කරන තරුව ඔබයි* කියාය. මෙයට ජනාධිපති ෂීගේ පිළිතුර වී ඇත්තේ &ඔබට ස්තුතියි. එහෙත් මම ජනතාවගේ සේවකයායි* කියාය. මේ සම්බන්ධයෙන් චීන මාධ්‍යය දැඩි ප්‍රචාරයක් ලබාදී තිබිණි. මෙහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ මේ පළාතේ ජීවත් වන යී ජන කොටස සම්බන්ධයෙන් තමන්ගේ දැඩි ළෙන්ගතුකමක් ඇති බවයි.
චීන ජනාධිපතිවරයා මේ මිනිසුන්ගේ නිවාසවලට ගොස් ඔවුන් සමග කතාබහ කරමින් වැඩි කාලයක් වැය කර ඇත්තේ තමන්ගේ සංග්‍රාමයේ ආරම්භය වඩාත් සාර්ථකව ලබා ගැනීමටය. මෙවැනි සංචාර ලෝකයේ නොයෙක් නායකයන් කරනු අපි දැක ඇත්තෙමු. දුප්පතුන් සමග ගොස් ඔවුන්ගේ පත බෙදාගෙන කන නායකයන් පවා අපි දැක ඇත්තෙමු. එහෙත් බොහෝ විට අපේ රටේ දී සිදුවන්නේ එය මාධ්‍යය සන්දර්ශනයක් වී පසුව අමතකව යෑමය.
චීනය සහ අප අතර ඇති වෙනස වන්නේ මෙවැනි වැඩි පිළිවෙළ ඇරඹූ පසුව චීනය එහි අවසානයක් දක්වා ගමන් කිරීමය. අද දිනයේ ජීවත් වන පරපුර වෙනුවෙන් නොව හෙට දිනයේ උපත ලබන පරපුර වෙනුවෙන් වැඩ කිරීම චීනයේ සම්ප්රදායයි. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ අලුතින් බිහිවන පරම්පරා සෑම විටම පෙර පරම්පරාවට වඩා සැප පහසුකම් විඳියි. එය අතිශය වැදගත් ආදර්ශයකි. ශ්‍රී ලංකාව වැනි රටවල් සිදු කරන්නේ අද දිනයේ ජීවත් වීම උදෙසා අනාගත පරම්පරාව උකස් කිරීමය. එයින් සිදුවන්නේ දුප්පත්කම නැති කිරීම නොව වර්ධනය කිරීමය. අනාගතය උදෙසා ජීවත් වන ජාතියක් වීමේ ප්‍රතිඵලය චීනය භුක්ති විඳින්නේ දැවැන්ත ජනගහනයක් සමග වුවද, උපරිම සංවර්ධනයක් කරා ගමන් කිරීම මගිනි. එහෙත් ශ්‍රී ලංකාවේ අපි සුළු ජනගහනයක් සමග ආපස්සට ගමන් කරමින් සිටිමු. ප්‍රාදේශීය සභාවට නියෝජිතයෙකු පත්කර ගැනීම වෙනුවෙන් රටේ කටයුතු මාස දෙකක් අඩපණ වන රටක් ලෝකයේත් නැතුවා වන්නට ඇත. එහෙයින් කොමියුනිටික් යැයිද, ප්රජාතන්ත්රවාදය නැතුවා යැයිද කියමින් චීනය වැනි රටවලට ගැරහුම් නොකර ඔවුන් දෙස බලා යම් උත්සාහයක් හෝ ගැනීම වැදගත් වෙයි.