ඇප ලබා ගැනීමෙන් පසුව මුලින්ම කළේ කුරහන් සුවඳ තීරු ලිපියේ මේ සතියට අදාළ ලිපිය ලිවීම ආරම්භ කිරීමය. මන්දයත් පුවත්පත මුද්‍රණයට යොමු කිරීම සඳහා කාලසීමා පවතින හෙයින් එය නියමිත වේලාවට ලබාදීම අත්‍යවශ්‍ය බැවිනි.
රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජනතාව සමග විරෝධතා දැක්වූ අප හට අවසානයේදී සිරබත් කෑමට සිදුවූයේ රාජ්‍ය දේපොළ සඳහා හානිකිරීමේ චෝදනා යටතේය. එයින් පෙනී යනුයේ ශ්‍රී ලංකාවේ නීතිය කෙතරම් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේද යන්නය. නමුත් සත්‍ය වශයෙන්ම පොලීසිය කළ යුතු වන්නේ ජාතික සම්පත් විකිණීමට කටයුතු කරමින් සිටින වත්මන් රජයේ නායකයන් ප්රමුඛ අමාත්‍යවරුන් අත්අඩංගුවට ගැනීමය. අපි සිරගෙවල් සියයක දැමුවද, රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව කටයුතු කරන අතර, තවදුරටත් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බව නැවත වරක් පසක් කරන්නෙමි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අපව ඉදිරිපත් කළ අවස්ථාවේදී සුවිශේෂී කාරණා හේතුවෙන් ඇප ලබාගැනීමට හැකිවිය. මා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දකුණු පළාත් මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනෙකුට ඇප ලබාගැනීමට හැකිවිය.
ඒ විශේෂිත කරුණු මත පදනම්වය. රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ සම්මේලනයට අපගේ මතය නියෝජනය කිරීම සඳහා යෑමට තිබෙන බැවින් අපට ඇප ලැබිණි. නමුත් අප පැවැත්වූ විරෝධතාවට එක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහෝදරයා ඇතුළු තවත් 32 දෙනෙකු එළැඹෙන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අප හට ඇප ලැබීමෙන් පමණක් මෙම සටන අවසන් නොවේ. නැවත බන්ධනාගාරගත කළ පිරිස ඇප මත නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතුව තිබේ. ඔවුන්ට ඇප ලබාගැනීම සඳහා අපි උපරිම වශයෙන් ශක්තිය යොදවන්නෙමු. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම නීතිඥවරුන්ගේ උපකාර ලබා ගැනීමට අපි කටයුතු කරන්නෙමු.
මෙහිදී දක්නට ලැබුණු කනගාටුවට කරුණ නම්, සිරගත කර සිටින පුද්ගලයන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රදේශයේ ඇතැම් පිරිස් විරෝධය දැක්වීමය. අප පැවැත්වූ විරෝධතාවට පක්ෂ, පාට ආගම්, ජාති භේදයක් නොතිබිණි. එසේම බෙදීමකින් තොරව ජනතාව අප වටා එක්වූයේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙදෙනෙකු මෙන්ම මුස්ලිම් ජාතිකයන් අට දෙනෙකු විරෝධතාවට එක්ව අත්අඩංගුවට පත්ව තිබීමෙන් මෙය වඩාත් පැහැදිලි වේ. රටේ සම්පත් විකිණීමට විරෝධය දක්වමින් බන්ධනාගාරගත කරන ලද එම පිරිස වරදකරුවන් නොවන බව නුදුරේම ජනතාවට පැහැදිලි වනු ඇත.
මේ අතර ආණ්ඩුව උතුරේ හා දකුණේ විරෝධතාකරුවන් වෙත දෙයාකාරයකින් සලකන බවට ඇප ලබාගැනීමෙන් පසුව ජාතික පුවත්පත් පිළිබඳ අවධානය යොමුකළ සුළු මොහොතේදී මට හැඟීගිය කරුණකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය අතර තුළදී විරෝධතා දැක්වූ කොටි හිතවදී සිවාජිලිංගම් ඇතුළු පිරිස හමුවීමට ඔහු කටයුතු කර තිබූ අතර, ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බවටද පවසා තිබිණි. එම විරෝධතාව සම්බන්ධයෙන්ද අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත් දකුණේ විරෝධතා පවත්වන පිරිසගේ ගැටලු විසඳනවා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරනුයේ ඔවුන්ට කඳුළු ගෑස්, බැටන් පොලු, යකඩ පොලු හා රසායනික ද්‍රව්‍ය ඇතුළත් ජල ප්‍රහාර එල්ල කිරීමය. එසේම ඔවුන්ගේ අතපය කැඩෙන තෙක් පහරදීමය. රණවිරුවන්ගේ ඇස් අන්ධ කිරීමය. තවත් පිරිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමය.
මා හට බන්ධනාගාරයගත වීමට සිදුවූයේ 2901 අංකය යටතේය. අධිකරණය මගින් මා ඇතුළු පිරිස බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසුව බන්ධනාගාරයට රැගෙන ආවේ රාත්‍රී 12.00ට පමණය. රාත්‍රී 12.00ට බන්ධනාගාරගත කළ අපට ඇඳීමට ඇඳුමක් නොතිබිණි. පසුව ජුලම්පිටියේ අමරේ^ නමින් හැඳින්වෙන සිරකරුවෙකුගෙන් අපට ඇඳගෙන සිටීමට සරම් ලැබිණි.
නන්දවත්තේ බාලයා නමින් හැඳින්වෙන සිරකරුවෙකු රඳවා සිටි සිරමැදිරියකට අප යොමුකෙරිණි. වර්ෂාව හේතුවෙන් නොතෙමුණ දවසක් නොමැති තරම්ය. ගින් දිගටම වර්ෂාව තිබීම හේතුවෙන් බන්ධනාගාරගත කර සිටි පිරිසට දින තුන හතරක් රාත්‍රියේ නිදාගැනිමට නොහැකි වූහ.
වැස්ස නොමැති අවස්ථාවලදී මදුරුවන්ගෙන් පීඩා විඳීමට සිදුවිය. අවම වශයෙන් දිනකට මැක්කන් 500-1000ක් සිරමැදිරියෙන් ඉවත් කරනු ලැබීය. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න කියමනක් පැවැතියද තංගල්ල බන්ධනගාරයේ නම් එවැනි තත්ත්වයක් නොමැත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!