1921 ජූලි මාසයේ දවසක ෂැන්ග්හයි හි පිහිටි ගඩොලින් සහ දැවයෙන් තැනුණු ප්‍රංශ යුගයේ ගොඩනැගිල්ලකට රැස් වූ 13 දෙනෙක් චීන කොමියුනිස්ට් පක්ෂය බිහි කළහ. එදා 13 දෙනෙකුගේ පක්ෂය ඉන් වසර 97 ක් ගත වනවිට චීන වැසියන් බිලියන ගණනකට අලුත් මාවතක් නිර්මාණය කර, චීනය දෙසට මුළු මහත් ලෝකයේම ඇස් යොමු කරගැනීමට සමත් විය. මේ ගමනේ දී ෂී ජින්පින් ජනාධිපතිවරයට සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ඔහුගේ නම පමණක් නොව ඔහු ඉදිරිපත් කළ One Belt One Road සංකල්පයද චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට එක්කර තිබීම හේතුවෙනි. මේ සියල්ල අතරේ ජනාධිපති ෂී 2020 දී චීනයෙන් දුප්පත්කම තුරන් කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයට එක් වී සිටියි.
චීනයේ දුප්පත් පුද්ගලයෙකු යැයි තීරණය වන්නේ එම පුද්ගලයා දිනකට ඩොලර් 0.95කට වඩා උපයන්නේ නැති අයෙකු වීමෙනි. මේ වනවිට මෙම ප්‍රමාණය මිලියන 43 කි. මීට වසර 05කට පෙර එය මිලියන 100 කි. ඒ අනුව ජනාධිපති ෂී ගේ දුප්පතුන් නැති චීනය දැකගැනීමේ සිහිනය ඉලක්කගතව සාර්ථක වෙමින් පවතින බව පෙනේ. එහෙත් බටහිර මාධ්‍ය චෝදනා කරන්නේ චීනයේ අන්ත ධනවතුන් බිහිවෙමින් තිබීම හරහා දුප්පතුන් සොයන මිනුම් දණ්ඩ නිවැරදි කර ගත නොහැකි බවයි. චීනය සහ අනෙක් රටවල් අතර වෙනස ඇති වෙන්නේ මෙතැනදීය. වෙනත් රටවල් මෙවැනි අවස්ථාවක බටහිර මතයට ඇහුම්කන් දෙන්නට ගොස් තමන්ගේ වැඩපිළිවෙළ විනාශ කර ගනියි. එහෙත් චීනය බටහිර රටවල් කුමක් කීවද තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සිටී.
චීනයේ මිලියන 500 ක ජනතාව මේ වනවිට දිනකට ඩොලර් 5.50 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් උපයන මට්ටමක සිටින බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. එය ධනවතුන්ට සහ ධනවත් මධ්‍යම පන්තියට සාපේක්ෂව වැඩි අගයකි. එහෙත් මේ සියලු දෙනා තමන් සිටි ස්ථානයට වඩා ඉහළට පැමිණ තිබේ. සමාජවාදයේ අපේක්ෂාව සෑම දෙනෙකුටම සමාන අවස්ථාව ලබාදීමයි. මේ වනවිට බිහිවෙමින් සිටින ඉහළ මධ්‍යම පන්තිය සහ පහළ ස්ථරය අතර හිඩැසක් පෙනේ. එහෙත් චීනය ඵල නෙළීම ආරම්භ කළ වකවානුවයි. මේ කාලයේ දී ඉහළ මධ්‍යම පන්තිය සහ පහළ ස්ථරය අතර පරතරය වැඩි විය හැකිය. එහෙත් එය ක්‍රමයෙන් අඩු වෙයි.
දුප්පත්කමට එරෙහි වීම ජතියේ මන්ත්‍රය බවට පත් කිරීමට ජනාධිපති ෂී කටයුතු කළේය. දුප්පත් ගම්මානවලට ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම ජනාධිපති ෂී පසුගිය සමයේ නිරන්තයෙන් සිදු කළේය. ගම්වැසියන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා දැවැන්ත නිවාස වැඩපිළිවෙළ දියත් වී තිබේ. එසේම නව ණය ආධාර ක්‍රමද හඳුන්වා දී තිබේ. 'සෞභාග්‍යය කරා යන ගමනේ දී කිසිවෙකු අමතක නොකරමු' යන්න ජනාධිපති ෂීගේ ආදර්ශ පාඨය වී තිබේ. මෙය චීන ජනතාව තුළ බලාපොරොත්තු රැසක් ඇති කිරීමට හේතු වී තිබේ. වෙනත් කිසිදු චීන නායකයෙකු සම්බන්ධයෙන් නොතිබූ තරම් බලාපොරොත්තු රැසක් චීන වැසියෝ ජනාධිපති ෂී සම්බන්ධයෙන් තබාගෙන සිටිති. මේ බලාපොරොත්තු ඉටු කිරීම ජනාධිපති ෂී ගේ අනාගත කාර්යයන්ගේ මුඛ්‍ය වගකීම බවට පත්වීම වැළැක්විය නොහැකිය.
චීනයේ ඇති භූ විෂමතාව අනුව රටේ සෑම ප්‍රදේශයකම ගොවිතැන් කිරීම අපහසුය. මීට පෙර බොහෝ වැසියන් උත්සාහ කළේ ගොවිතැන් කිරීමටය. එහෙත් වර්තමානයේදී ගොවිතැන් කළ හැකි ප්‍රදේශ සහ කර්මාන්ත කළ හැකි ප්‍රදේශ හඳුනාගනිමින් සංවර්ධන කාර්යය දියත් කිරීමට චීන රජය කටයුතු කරමින් සිටියි. මේ වනවිට ඩොලර් බිලියන 370කට වැඩි ප්‍රමාණයක් ණය ලෙස ලබාදෙමින් දුප්පත් ජනතාවගේ තත්ත්වය උසස් කිරීමේ කාර්යය වේගවත් කරමින් සිටියි. මෙහිදී අතරමැද සිදුවන දූෂණය අවම කිරීමද සිදු වෙයි. දූෂිතයන්ට, එනම් දුප්පත් මිනිසුන්ගේ මුදල් ගසාකන්නන්ට ලැබෙන දඬුවම් බරපතළ වී තිබේ.
බොහෝ ගම්මානවල සමූපකාර ක්‍රමය ආරම්භ කර තිබේ. මීට මාස 04කට පෙර චීනයේ හාබින් ප්‍රදේශයේ කළ සංචාරයකදී සමූපකාර ක්‍රමය හරහා දියුණු වෙමින් සිටින චීන ගොවි පවුල් රැසක් දැකගැනීමට අපට හැකි විය. එහි විශේෂත්වය නම් ගොවීන්ට නිවසක් මෙන්ම ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය සහ මෙන්ම ආහාර සහ එදිනෙදා අවශ්‍යතා සඳහාද රජයෙන් මුදල් ලබා දීමයි. එයින් පසුව ගොවීන් නෙළා ගන්නා ඵලදාව මධ්‍යම රජය විසින් බාර ගනු ලබන අතර ඒ සඳහා ගොවීන්ට වෙනම මුදල් ගෙවීමක්ද සිදු කරයි.
මේ හරහා වසර කිහිපයකින් ගොවීන් සැලකිය යුතු ප්‍රමාණයේ තැන්පත් ධනයක් ඇති පිරිසක් බවට පත්වෙති. එයින් පසු ඔවුන්ට තනිව ව්‍යාපාර හෝ ගොවිතැන් කරගෙන යෑමට ඉඩ සලසන අතර එහිදීද නිශ්චිත කාලයක් ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට රජයෙන් සහාය ලැබේ. චීනයේ වැඩිම භූමි ප්‍රමාණයක් වගා කෙරෙන හාබින් ප්‍රදේශයේ නව ගොවි ජනපද අතිසාර්ථකව කෙරීගෙන යයි. සමූපකාර ක්‍රමය, ජනසවිය, සමෘද්ධිය වැනි නොයෙක් ආකාරයෙන් දුප්පත්කම මැඬීමේ ක්‍රම ශ්‍රී ලංකාවද අත්හදා බැලුවේය.
ශ්‍රී ලංකාවට චීනයට තරම් ජනගහන ප්‍රශ්නයක් නැත. එසේ තිබියදීත් අපට එම ක්‍රම එකක්වත් සාර්ථක කරගත නොහැකි විය. එයට ප්‍රධානම හේතුව ඉහළ සහ පහළ යා කරන නිලධාරී පන්තියයි. දූෂණයට එරෙහිව දැඩි පියවර ගන්නේ නම් චීනය දැවැන්ත ලෙස සිදු කරන දුප්පත්කම තුරන් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සාර්ථකව කිරීමට ශ්‍රී ලංකාවටද හැකියාවක් තිබෙන බවද මතක් කළ යුතුය.