’ආර්ථික හා ආයෝජන සමුළුව 2026’ ගැන තානාපතිවරුන් දැනුවත් කෙරේ
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඉදිරි 'ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026' (SLEIS) පිළිබඳව ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කිරීමේ හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් පවත්වා තිබේ.
මෙමගින් සමුළුවේ මූලික අවධානය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික න්‍යාය පත්‍රය සමග ජාත්‍යන්තර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව සැලසිණි.
"වෙනස් වන ගෝලීය ආර්ථිකයක් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම: ප්‍රත්‍යස්ථතාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය" යන්න තේමා කරගනිමින් 2026 ඔක්තෝබර් 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිත SLEIS 2026 පිළිබඳ පුළුල් සමාලෝචනයක් මෙම හමුවේදී තානාපති නියෝජිතයින් වෙත ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා මතුවන නව අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින්, ආයෝජකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් මෙහිදී එකට එක්වනු ඇත.
මෙම වැඩසටහන මගින් ක්ෂණික ආර්ථික ස්ථාවරත්වයට එහා යමින් ශ්‍රී ලංකාවේ ඊළඟ වර්ධන අදියර හැඩගස්වන ආයෝජන, වෙළෙඳාම, තරගකාරීත්වය, ආර්ථික ප්‍රතිපත්ති සහ වෙනස් වන ගෝලීය ආර්ථිකය තුළ රටේ ස්ථානගතවීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කෙරේ.
තානාපති නියෝජිතයන් ඇමතූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, මෙම සමුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික ගමනේ වැදගත් සංධිස්ථානයකදී පැවැත්වෙන බවයි. SLEIS හරහා මතුවන අවස්ථා සහ පණිවුඩය තම තමන්ගේ ව්‍යාපාරික ප්‍රජාවන්, ආයෝජන ප්‍රවර්ධන ආයතන, ආයෝජකයින් සහ වාණිජ මණ්ඩල වෙත ගෙන යන ලෙසත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රමුඛතාවන් විදේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ කිරීමට උපකාරී වන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා තානාපති දූත මණ්ඩලවලින් ඉල්ලා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය මෙහිදී අදහස් දක්වමින් ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා පෞද්ගලික අංශයේ කාර්යභාරය පෙන්වා දුන්නාය. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සාර්ථක වාණිජ සහ ආයෝජන ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යුහගත පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යවශ්‍ය වන බවත්, රජය, ව්‍යාපාරික අංශය සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් වන බවත් ඇය අවධාරණය කළාය.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේ, SLEIS 2026 පැවැත්වෙන්නේ සැලකිය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවන පසුබිමක බවයි. සිදුවී ඇති ප්‍රගතිය සන්නිවේදනය කිරීමටත්, මෙම ප්‍රතිසංස්කරණ මගින් නිර්මාණය කළ හැකි ඉදිරි අවස්ථා දෙස බැලීමටත් මෙමගින් විශිෂ්ට වේදිකාවක් සපයන බවත් ඔහු පැවසීය. පැහැදිලි වර්ධන කතාවක් සහ ආයෝජන අවස්ථා සහිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැවත ස්ථානගත කිරීමේ ප්රයත්නයන්ට මෙම සමුළුව අත්වැලක් වන අතරම, රටේ ආර්ථික දිශානතිය පිළිබඳව සෘජුවම සම්බන්ධ වීමට දෙස් විදෙස් පාර්ශ්වකරුවන්ට අවස්ථාව සලසා දෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරන වේදිකාවක් ලෙස SLEIS හි කාර්යභාරය ද මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර ආයෝජකයින්, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනෙකුත් ආර්ථික පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මගින් අදහස් හුවමාරු කරගැනීමට, නව සබඳතා ගොඩනගා ගැනීමට සහ ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවට වඩාත් තරගකාරී ලෙස ඉදිරියට යා හැකි ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවේ.
26 වන වරටත් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 ඔක්තෝබර් 12 සහ 13 යන දිනවල කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ලියාපදිංචිය https://sleis.chamber.lk/ වෙබ් අඩවිය මගින් සිදුකළ හැකි අතර, වැඩිදුර තොරතුරු [email protected] ඔස්සේ ඇලිකී මහත්මිය හෝ [email protected] ඔස්සේ ශානුක මහතා සම්බන්ධ කර ගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

