‘ComBank අක්ෂර’ 400 වන IT විද්‍යාගාරයත් දියත් කරයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින් බැංකුව සිය 400 වන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් සමගම අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ‘ComBank අක්ෂර’ වැඩසටහන ද එළිදැක්වීය.
බැංකුව විසින් තාක්ෂණය මූලික කරගත් ලෝකයක ඉගෙනීම සඳහා සිසුන් හට අත්‍යවශ්‍ය ඩිජිටල් පහසුකම් සඳහා අවස්ථාව නොලැබෙන පාසල් වෙත ලබාදෙන මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාර සකසා දීමේ 400 වැනි ව්‍යාපෘතිය විවෘත කිරිම අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ දී පසුගියදා කොමර්ෂල් බැංකුවේ ඉහල කළමනාකාරිත්වයේ සහභාගීත්වයෙන් සිදු කළේය.
දිවයින පුරා පාසල් රැසක් මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරවලින් ප්රතිලාභ ලබන අතර මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් මෙහෙයවනු ලබන විශාලතම ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් අතරින් එකක් වෙයි. කොමර්ෂල් බැංකුව විසින් පරිත්‍යාග කරන සෑම පරිගණක විද්‍යාගාරයක්ම පරිගණක, උපාංග සහ ගෘහ භාණ්ඩවලින් අංග සම්පූර්ණ වන අතර මෙම විද්‍යාගාර මඟින් දිවයින පුරා සිසුන් 500,000 කට වැඩි පිරිසක් ප්රතිලාභ ලබා ඇත.
බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම සහ දිගුකාලීන සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීම යන ජාතික අරමුණු හා සමගාමීව ක්‍රියාත්මක වේ.
සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන හා ඉගෙනීමේ අවස්ථා ලබාදීම රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වන බවත් බැංකුව සිය සමාජ වගකීම් භාරය මඟින් සමාජ බලපෑමක් ඇති කරන වැඩසටහන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරන බවත් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා පැවසීය. 400 වැනි තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය පරිත්‍යාග කිරීම එම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බවද ඔහු අවධාරණය කළේය.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, “400 වන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම කොමර්ෂල් බැංකුවට මහත් ආඩම්බරයක්. තාක්ෂණික ප්‍රවේශය ලබාදීම තුළින් සිසුන් බලගැන්වීමට අප දීර්ඝකාලීනව කැපවී සිටින අතර ‘ComBank අක්ෂර’ හඳුන්වාදීමත් සමඟ අපගේ අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් සියල්ලම දැනුම, ඉගෙනීම සහ අවස්ථා එකම නාමයක් යටතට ගෙන එයි. මෙම සන්ධිස්ථානය සංඛ්‍යාත්මක අගයන් පමණක් නොව අප බලගන්වන ජිවිතද නියෝජනය කරනවා” යැයි ප්‍රකාශ කළේය.
මෙම පරිත්‍යාගය පිළිබඳ අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයරත්න මහතා සඳහන් කළේ, මෙම විද්‍යාගාරය ඩිජිටල් සම්පත් සඳහා සීමිත ප්‍රවේශයක් තිබූ සිසුන්ට නව අවස්ථා රැසක් විවර කරදෙනු ඇති බවයි. “අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට දිගුකාලීන වෙනසක් ඇති කරමින් අප පාසල සහ ප්‍රජාව වෙනුවෙන් කළ මෙම අගනා ආයෝජනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට අපගේ කෘතඥතාව පිරිනමන්නෙමු,” යැයි ඔහු ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

