කොවිඩ්-19 කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂක පියවරයන් දැඩිව අනුගමනය කරමින් සියලුම අපනයන අංශ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයයි.
පළාත් අතර සංචරණය මැයි 12දා සිට 31දා දක්වා සීමා කර ඇතත්, මෙම කාල සීමාව තුළ අපනයන භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සාක්ෂි තහවුරුකිරීමකට යටත්ව අවසර ඇත. අපනයන නැඹුරු කර්මාන්තවලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි සමීප අධීක්ෂණය යටතේ ජෛව ආරක්ෂිත බුබුලක් තුළ (කම්කරුවන්ට ආරක්ෂිත ප්‍රවාහන හා නවාතැන් සහතික කිරීම මගින්) ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දී ඇත.
තවද, අගුළු දමා ඇති ප්‍රදේශවල අපනයන ව්‍යාපාරවලට පවතින සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව ක්‍රියාත්මක වීමට හැකි අතර, එකී අගුලු දැමූ ප්‍රදේශවල සේවකයින් සේවයේ යෙදවීමට කිසිසේත් අවසර නොලැබෙනු ඇත. නිෂ්පාදන/ඇඟලුම් කර්මාන්තය සඳහා අදාළ සංශෝධිත මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන වෙනත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදීමට ව්‍යවසායකන්ට උපදෙස් දෙනු ලැබේ.
මෙම කාල සීමාව තුළ ව්‍යවසායන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හා උපදෙස් EDB වෙබ් අඩවිය වන www.srilankabusiness.com වෙතින් ලබා ගත හැකි අතර, 011 2300710 දුරකථන අංකය හරහා අපනයන උපකාරක කවුළුව සම්බන්ධ කර ගැනීමෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලෙන් ලබා ගත හැකිය. අදාළ අපනයන නිෂ්පාදන / සේවා අංශ සඳහා මෙම දුෂ්කර කාල සීමාව තුළ අපනයනකරුවන්ට සහාය වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සිය උපකාරක අංශය විෂය සම්බන්ධ නිලධාරීන් 14ක් සමග ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගේ දුරකථන අංක EDB වෙබ් අඩවියෙන් (www.srilankabusiness.com) ලබාගත හැකිය.
පොලිස්දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් සියලුම අදාළ රාජ්‍ය ආයතන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇත.